Pages

Friday, November 30, 2012

ගීතයක් කියවීම

“නිල් කටරොළු මල් ගොමුවේ

පැණි උරනා සමනලයෙක්

මිදුලේ දුව පැන නටනා

පුතුගේ අතේ ගල් අහුරක්

කුරුමානම වැරදුණාට කමක් නෑ පුතේ

සතුනට හිංසා වද දී නොවෙන් පුතේ දඟ ළමයෙක්”

ඒ මීට වසර කීපයකට පෙර ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වුණ ඉතා ම සුන්දරම ගීතයකි. ලියැවී ඇත්තේ සුනිල් ආර් ගමගේ රචකයා අතිනි. සුනිල් එදිරිසිංහයන්ගේ හඬින් ගැයෙන ඒ මියුරු ගීතය ඒ දිනවල දිනපතා නොකඩවා ගුවන්විදුලියේ වාදනය වෙද්දී එවකට අවුරුදු දහයක් පමණ දැරියක් වූ මා ඉක්මනින් එහි වචන උගෙන නිතර ගායනා කරන්නට වීමි. ටික දිනක් එලෙස මට ගයන්නට ඉඩ දුන් මගේ පියා එක හවසක මගෙන් මෙසේ අසා සිටියේ ය.

“ඇයි පුතා ඔය සින්දුවම කියන්නේ?”

“මම ඒකට කමැතියි?” මගේ ක්ෂණික පිළිතුර විය. කවරාකාරයේ පැනයක් ද එය? ගීතයක් නොනවත්වා වාදනය වෙද්දී එය මනසේ රැව්දීම ස්වභාවිකයි.

“ඇයි ඒකට කැමැති?” තාත්තා යන්තමින් ලිස්සා යෑමට අපට කිසි විටෙක ඉඩ දී නැත. තාත්තා අසන ප්‍රශ්නයකට නිකරුණේ පිළිතුරු දීම මගේ පුරුද්ද ද නොවී ය. බොහෝ වෙලාවට ඔහු ප්‍රශ්න කරන්නේ අපෙන් නිවැරැදි පිළිතුරු අපේක්ෂාවෙන් ම නොව නමුත් යම් දෙයක් කියා දීමට ප්‍රවේශයක් සොයමින් බව කුඩා කල සිට ම ඉවෙන් මෙන් දැන් සිටි නිසා මම ඔහුට ඇහුම් කන් දීමට සැරසී සිටියෙමි.

“සිංදුවක් කෙනෙකුට ප්‍රිය වෙන්නේ සරලම කාරණා දෙකක් නිසා” ඔහු කුඩා මට කියා දුන්නේ ය.

“එක්කො ඔයා බීට් එකට කැමතියි. නැත්නම් ඒකෙන් දෙන මෙසෙජ් එකට කැමතියි.” ඔහු කීවේ ගීතයක ශබ්ද රසය හෝ අර්ථ රසයට හෝ ඒ දෙකටම කෙනෙකුගේ මනස කැමැති වීමෙන් එය ප්‍රියතම ගීයක් බවට පත් වෙන බව ය. කිසියම් මාධ්‍යයක එය නොකඩවා වාදනය වීම කිසිම ගීතයකට ප්‍රිය වීමට හේතුවක් කර නොගන්නා ලෙස ඔහු කියා දුන්නේ ය. මම තනිව ම කල්පනා කළෙමි. නිල් කටරොළු ගීතයෙන් මට විඳ ගත හැකි ඉමහත් සංගීතමය රසයත් එයින් ලද පණිවුඩයක් කුඩා මට තේරුම් යද්දී වසා සිටි ඇස් ඇරුණා වගේ මහත් සතුටක් ලද බව මට අදටත් මතකයේ ඇත. ඉන් පසු ගීතවල තේරුම කුමක් දැයි සිතීම මම පුරුද්දක් කර ගතිමි. නිතර ගුවන්විදුලියේ වාදනය වන අමෙරිකානු ගීත ගැන පවා එවන් විමසීමක් මම කරමි.

මම මෑත කාලයේ ගීත රචනයට පිවිසුණු කෙනෙක්මි. මා අතින් ලියැවී ඇත්තේ ගී අල්පයකි. නව යොවුන් නිර්මාණකරුවෝ තනු නිමවා ඒවාට වචන ලියා දෙන්නැයි ඉල්ලා සිටිති. සමහරු කියන්නේ ජනප්‍රිය කරවිය හැකි දේ ලියන්නටයි. ඒ ඉල්ලීම මට තේරුම් ගනු නොහැකි කාරණාවකි. ගැඹුරු පණිවුඩ නොලියන ලෙස තවත් අය කියයි. “ඒවා මාර්කට් වෙන්නෑ. ඒ වගේ ඒවාට කැමැති පොඩි කොටසක් පමණයි.” එහෙන් මෙහෙන් තනුවට ගැළපෙන්නට ලියනා පද ‘සක්ක පද’ යැයි ගී ලිවිමේ හා භාෂාව ගැන දැනුමක් ඇති මිතුරියක් කියා දී ඇත. ගීතයක් නිමැවීමට කාලයත් මුදලත් වැයවේ. ගීතය ප්‍රබල මධ්‍යයකි. එය පලක් නොවන ලෙස අපතේ නොයැවිය යුතු ය. ඒ නිසා ඉතා ම සරල ලෙස ලියැවිය යුතු ගීයක පවා නිකන් ම වචන ගොඩක් නොවිය යුතු බව මට සිතේ.

නමුත් ගැටලුව ලිවීම නොවේ. ගැටලුව වන්නේ , වර්තමාන රසිකයා කොතරම් දුරකට ගීතයේ වචන තේරුම් ගන්නේ ද යන්න ය. ලෝකය වෙනස් වී, නව පරපුරක් වැඩී එද්දී ඔවුන්ට රුචි ලෙස සංගීත කලාව වෙනස් වේ. ගෝලීයකරණය වැලැඳ ගන්නා කාලයක ලොව පුරා සංගීතයට නිරාවරණය වීමේ ඉඩකඩ වැඩි නිසා අපේ රසිකත්වය පුළුල් වී, වෙනස් වී ඇත. පැරැණි රසාංග පමණක් මිහිරි යැයි කියන කුහක කෙනෙකු වීම යුතු නැත. සෑම පරපුරකට ම අයත් ඉතා දක්ෂ නිර්මාණකරුවන් ලෝකය පුරා බිහි වේ. අප වැඩෙද්දී ඇසූ ගී අපට රසවත් ය. ඒ කාලයේ ද තේරුමක් නැති නිර්මාණ ඕනෑ තරම් බිහි වී ඇත. අද ද තේරුමක් ඇති නිර්මාණ සමඟ වටිනාකමක් නැති දේ බිහිවේ. රසිකයෝ තමන්ගේ රසයට රුචි දේ වැලැඳ ගනිති.

මා විසින් රචිත ඉන්ද්‍රචාප ලියනගේ විසින් ගායන කරන ‘ඉරුණු අත්තටු’ සිංහල රොක් ගීතය ගැන විමසා පණිවුඩ එවන පිරිස ඒ ගීතයෙන් කියන්නේ කුමක් දැයි අසයි. නොතේරෙන්නේ නම් විමසිය යුතුම ය. මම සතුටින් එහි ලියා ඇති සරල වචන එකතුවේ තේරුම ඔවුන්ට ලියා යවමි.

“ ඉරුණු අත්තටු නියම සින්දුව. බොක්කටම වැදුණා. ඒ සිංදුවෙන් කියන්නේ මොකක් ද?” සමහරුන් අසයි. බොක්කටම වැදී ඇත්තේ ශබ්ද රස විය යුතු ය. අර්ථ රස විමසීමට තරම් ඔවුන් උනන්දු වන්නේ ඒ නිසා විය යුතුයි. ඒ සතුටට කාරණයකි. ඉතාම සරල වචනවල පවා තේරුම තමන් විසින් විමසා නොගැනීමක යෙදෙන අලස පිරිසක් අතර පැරැණි සහ නව ගීවල අර්ථය තේරුම් ගැනීමට වෙහෙසෙන, නොතේරෙන ඒවා ගැන අසා දැන ගැනීමට තරම් උනන්දු වන පිරිසක් ද සිටිති.

ඉතා ගැඹුරු අර්ථාන්විත පණිවිඩ කියැවෙන ගී පවා සරල වචනවලින් ලියැ වී ඇත. සිහියෙන් ඇසූ විට ඒවා පසක් වේ. භාෂා විශාරදයන් ලවා විමසා ගත යුතු ගීත නැතුවා නොවේ.

නමුත් බොහේ ගීත සරල ය. සුන්දර අදහස්වලින් යුක්ත ය. ඒ වචන මියුරු තාලවලට මුසු වී අපට ලබා දෙන්නට උත්සහ කරන රසය නොවිඳ අපතේ නොගිය යුතු ය. ගීතයේ උපරිම රසය විඳිමත් කලාවකි. ඒ කලාව නිර්මාණකරුවාට නොව අසන්නාට හිමි භාග්‍යකි. නිල් කටරොළු ගීතය මගේ තාත්තාගේත් ප්‍රියත ම ගීයකි. “නුඹ හොඳ මිනිහෙක් වනදා මල් පිපියන් මගේ සිහිනේ” ඒ ගීතයේ අවසාන පැදි පෙළයි. පියවරුන්, මවුවරුන්ගේ පුද්ගලික පැතුමක් නොවේ. සාමාන්‍යයෙන් රටක වැඩිහිටි පරපුර නව පරපුර වෙනුවෙන් පතන්නේ ඔවුන් හොඳ මිනිසුන් වනු දැකීම ය. ඇහුම්කන් දෙන ගීයක් පවා අර්ථයක් රසයක් ඇති දෙයක් දැයි විමසා බලා තෝරා ගන්නා ලෙස ඔවුන් කියන්නේ ඒ නිසා විය යුතු ය.

හිමාලි එන්. ලියනගේ - Dinamina