Pages

Sunday, July 29, 2012

නෙළන්න තහනම් මල්

''නෙළන්න බැරි මල් අතු අග 
කුමට පිපෙන්නේ”
ලැබෙන්නෙ නැති වස්තුවකට 
කිම හිතයන්නේ''

මිල්ටන් පෙරේරා මල් ගැන වරක් එසේ ගායනා කළේ ය. තවත් වරක් ඔහු ඒ ගැන කියන්නට ද අමතක කළේ නැත.

''දෙපිය නගා යන්නට බැරි
කටු අකුල් කැළේ
සසර වසන තුරු නුඹ
නොපිපියන් සුදු මලේ”


මල් තරම් සිංහල ගීතයට පසුබිම් වුණු තවත් වස්්තුවක් වේ නම් ඒ “සඳ” පමණයි. කාලයක් මල් වසංගතයක් ද සිංහල ගීතය පුරන් කළේ ය. එහෙත් මල් ගැන ලියවුණු නිර්මාණ අතර සදා සුවඳ දෙන නිර්මාණ ද නැතිවා නොවේ. සුනිල් ආරියරත්නයන් ගේ මේ පදමාලාව ඒ සඳහා එක් උදාහරණයක් පමණකි.

මේ මල වැටෙන් එහා පිපුණු මලකි. එසේ නම් එය අනුන්ගේ මල් වත්තකි. එහෙත් මේ මල අත පොවන මානයේ ය. ගන අඳුරින් වැසී නොපෙනී යන තුªරු ම එය දෑසට දිස්වෙයි. එහෙත් ඒ මල නෙළන්නට තහනම් ය. ඒ තහනම පැනවෙන්නේ සමාජ සංස්කෘතික නීති පද්ධතියකිනි. තමා ළඟින් ම සිටින එහෙත් තමන්ට සතු කරගන්නට නොහැකි තරුණියක පිළිබඳ රචකයා තම පරිකල්පනය මුදා හරිනුයේ ඒ ආකාරයෙනි. එහි සංකේතාත්මක වූ චිත්ත රූපයක් ද පවතී.

''වැටෙන් එහා මල් පඳුරේ
ඔබ පිපී වැනෙයි අත නුදුරේ
මිලින උණත් ගන අඳුරේ
මල් නෙළන්න නම් තහනම්”

අප ආදරය කරන ආසා කරන සියල්ල අපට ලබාගත නොහැකි ය. ඇතැම්විට ඒ ආසාවල් අවසන් වන්නේ සුසුම් ලෑමෙනි.

ඒ අපගේ ජීවිත උරුමයයි. කරුමයයි. මේ ගීතයේ කථකයා ද මුහුණ දෙන්නේ එබඳු අවාසනාවන්ත අත්දැකීමකටයි.

මුළු ලෝකයට හොරෙන් ඔහු මේ තහනම් හැඟීම අත්විඳියි. ඔහු සිතින් ඒ මල් සුවඳ වින්දනය කරයි. ඔහුගේ සිතුවිලි බාහිර ලෝකයට විවෘත බව නොවසා ඇති දොර කවුළුවෙන් සංකේතවත් වෙයි. එහෙත් මේ සුවඳ මල නෙළන්නට නොහැකිය. දිගු කරන අත ආපසු ඇදගන්නට ඔහුට සිදුවෙයි.

සුවඳ ඇදෙයි මුළු ලොවට හොරෙන්
නොවසා ඇති දොර කවුළු තුළින්
සුවඳ දිදී තිබුණත් මිදුලේ
මල් නෙළන්න නම් තහනම්
”පේමතී ජායතෝ සෝකෝ”

ප්‍රේමය ශෝකයම උපදවයි. දයාන් විතාරණයන් ද මෙය අත්විඳ ඇතුවාට කිසිදු සැකයක් නැත. ඔහු ගීය ගායනා කරන භාව ලීලාවෙන් එය මැනවින් දැනෙයි. දෑස ළඟ පිපී ඇති නිසාම ශෝකය තව තවත් වැඩි වෙයි. උණු කඳුළින් දෙකොපුල් පෙඟී යන්නේ එබැවිනි.

මුවඟින් නික්මෙන සුසුමෙන් නැඟෙන්නේ සිහින් කෙඳිරියකි. එහෙත් අන් සතු උයන්වල මල් නෙළන්න තහනම් ය. එය දඬුවම් ලැබිය හැකි වරදකි. සැබැවින් ම මේ නම් පරසතු මලක් ම ය. මේ නිසා සුනිල් ආරියරත්නයන් ගේ පදමාලාවට පිළිතුරු දිය යුත්තේ හඩ්සන් සමරසිංහයන් ගේ පදමාලාවකිනි. එනම් ගුණදාස කපුගේ ගයන ගීයකිනි.

''සීතල සඳ එළියේ
පීදුනු සුවඳ මලේ
නෑඹුල් සුවඳ පැතූ
බඹරෝ නුඹ නාඩන්”

තහනම් මල් ළඟ වැලපෙන බඹරුන් සමාජයේ බහුල ය. ඒ නිසාම මෙබඳූ ගීතයකට රසිකයන් ද බහුල ය. ඔවුහු මෙබඳු පදමාලාවක් අසා හිත හදාගනිති. එය ද ගීත රචකයකු විසින් සිදුකරගන්නා කුසල කර්මයකි. ශෝකය වුවද විටෙක ආනන්දනීය රසයකි.

මා මේ ගීතය රසවිඳින්නේ ද මගේ ජීවන අත්දැකීම් සිහිකරමිනි. අතීතයේ පටන් නෙළන්න තහනම් මල් මා ඉදිරියේ පිපී තිබිණි. ඒ සෑම මලක් ළඟ ම ඇද වැටුණු කඳුළක් මේ පද මාලාවේ ගැබ්ව පවතී. මා ද වරෙක අමරසිරි පීරිසුන්ට ලියූ පද මාලාවක ඒ කඳුළ මෙසේ සටහන් තැබුවෙමි.

''දෑස ළඟ මල් පිපී සැලුනත්
කොයි තරම්
එක මලක්වත් සුවඳ නැති විය
ඔබ තරම්
ඔබ දුරින් සිටි ඒ කාලයේ
නෙත කඳුළු මැකුනා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

(අමරසිරි පීරිස්)

දයාන් විතාරණ වූ කලී සිංහල ගීතයට නැවුම් හඬක් එක් කළ ගායකයෙකි. ඒ ගීයට සමීප හඬක් පැවතියේ දයාන්ට වඩා ජ්‍යෙෂ්ඨයකු වන බණ්ඩාර අතාවුදයන්ට පමණි. දයාන් ගේ හඬ තුළ පවතින ශෝකී රසය සමඟ මේ තනුව හා පදමාලාව මනාව බද්ධ වේ.

කථකයා තුළ යම් චිත්තවේගයක් පවතින නිසා සංගීතඥයා තරමක වේග රිද්මයක් තනුව සඳහා යොදාගෙන තිබේ.

මල් තිබෙන්නේ නෙළන්නටම නොවේ. නෙළන්නට සිතෙන හැම මලක් ම නෙළන්නටද නොහැකිය. ඒ නිසාම පරසතු උයන්වල පිපි පරසතුමල් ළඟ බඹරුන්ට බොහෝ විට හඬා වැටෙන්නට සිදුවේ. ගීයකින් පටන් ගත් මේ ලියවිල්ල මම ගීයකින් ම අවසන් කරමි. ඒ සුනිල් ආරියරත්නයන්ගේ ම කඳුළින් ලියැවුණු පද පෙළකි.

”සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
ඔරුව මොටද වතුරේ පැදයන්න බැරී
දෑස මොටද සිතුසේ දැක ගන්ට බැරී
කුසුම මොටද ළංවී රොන් ගන්න බැරී

ධම්මික බණ්ඩාර- Silumina