Pages

Monday, July 02, 2012

ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්

දිවුරාලා පවසන්න මට ආදරේ නම් 
මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවා නම්
එය සත්තකයි සොඳුරෙ මා මියෙන තාක්‌කල්
ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්

හිරුමල් දැතේ සඟවා වලා රොදක නැඟිලා
සත් සමුදුරම කළඹාලා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
මුදුමල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ

සියුමැලි ඇඟිලි තුඩු හදට තදකොට තබාලා
ඔබ සතපන්න තරු අහසෙ වියනක්‌ සදාලා
සුසුමක්‌ හෙළන හැම වරෙක ඔබමයි සිතාලා
නිදියන්න මගෙ මැණික මට තුරුලු වීලා

පද රචනය - සජිත් දිල්පහන්
තනුව/සංගීතය - තුසිත් නිරෝෂන
ගායනය - සෙන්ටිග්‍රේඩ්

ආදරේ කරද්දි සමහර පෙම්වතුන්ට පෙම්වතිය ගැනත්, පෙම්වතියට පෙම්වතා ගැනත් පුංචි සැකයක්‌ උපදිනවා. ඒක ආදරවන්තයන්ගේ පුරුද්දක්‌ වරදක්‌ කියන්නත් බෑ... ආදරේ වැඩිකමටම තමයි සැකයකුත් උපදින්නේ... පුංචි සැකයක්‌ නම් කමක්‌ නැහැ... ඒත් මහා විශාල සැකයක්‌ උපදිනවනම්... පෙම්වතුන්ට එකිනෙකා ගැන... ඒක තරමක්‌ භයානකයි... ආදරය කැඩිලා බිඳිලා ඉරිතලා යන්නත් පුළුවන්.

දිවුරාලා පවසන්න මට ආදරේ නම් 
මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවා නම්
එය සත්තකයි සොඳුරෙ මා මියෙන තාක්‌කල්
ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්

ඔයා මට ආදරෙයිද... එහෙම නම් දිව්රන්න... ඔයා හිතනවා නම් ඔයාගේ ලෝකෙ ඉන්නේ මං විතරයි කියලා... මගේ ලෝකේ ඉන්නේ ඔයා විතරමයි කියලා... එහෙම නම් දිවුරලා කියන්න... සත්තයි... මට නම් ඉන්නේ ඔයා විතරමයි... මගේ නෙත් සදහටම පියෙනතුරා... මගේ ආදරය ඔයා විතරමයි... ඒ ආදරේ... වෙන කාටවත්ම දෙන්නෙ නැහැ මම...

මේ ගීතය ලියුවේ සජිත් දිල්පහන් සෙන්ටිග්‍රේඩ් සාමාජිකයෙක්‌. මෙලඩි එක තුසිත් නිරෝෂනගේ... සජිත්ව සම්බන්ධ කර ගන්න බැරි වුණා... ඒ නිසයි තුසිත්ගෙන් ගීයෙ පදමාලාව ගැන විමසුවේ.

මේ ගීයේ සංකල්පය සජිත්ට දුන්නේ මම... සජිත් ලස්‌සනට පද පෙළ ලියුවා... මේ පෙම්වතෙක්‌.... පෙම්වතියට කරන ආයාචනයක්‌... ආදරෙයි කියලා දිව්රලම කියන්න කියලයි ඔහු ඇයට කියන්නෙ....

හිරුමල් දැතේ සඟවා වලා රොදක නැඟිලා
සත් සමුදුරම කළඹාලා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැළි ඉන්න සසරේ
මුදුමල් සහන මගෙ වේද හැමදාක සොඳුරේ

තරුණයෙක්‌ තරුණියකගේ ආදරය ලබාගන්න... ලබාගත් ආදරය සදාකල් රැකගන්න ඕනෑම දෙයක්‌ කරයි... මහමෙර වුණත් හොලවන්න පුළුවන් කියල පෙම්වතියට පෙන්නාවි... ඒa වගේ තමයි මේ පෙම්වතාත්.... ඉර හඳ වුණත් ගෙනල්ල දෙන්නයි කතාව...

මම වලාකුළක නැඟලා හිරු කුමරිය දැත්වල සඟවාගෙන ඔයාට ගෙනැත් දෙන්නම්... චණ්‌ඩ මාරුතය එක්‌ක සටන් කරලා සත් සමුදුරම කළත්තලා එය තරණය කරලා ඔයා ළඟට එන්නම් මම ඒ තරමටම ඔයාට ආදරෙයි එහෙම බාධක මැඬගෙන ඇවිත් ඔයාගේ ඔය ලස්‌සන මෘදු සිනාවත් එක්‌ක සංසාරය පුරාම ඉන්නම්... ඒ සෑදු මල් යහනාව හැමදාකම මගේම වේවි නේද.... සොඳුරියේ....

යළිත් තුසිත් ගීය ගැන කතා කළා... මේ තරුණයා පෙම්වතියට කියනවා... මගේ ඔළුවේ වෙන කවුරුත් නැහැ... ඔයා නැති වුණොත් මගේ ජීවතේම නන්නත්තාර වේවි කියලා මේක අද අපි දකින දෙයක්‌ ඉතින් ඒ අත්දැකීම් තමයි සජිත්ගේ අතින් ලියෑවුණේ... අපි මේ සිංදුව කරලා අවුරුදු දෙකකට වැඩියි... අපේ දෙවැනි ඇල්බම් එක "රූ සිරි" වෙනුවෙන් තමයි මේ සිංදුව කළේ...

සියුමැලි ඇඟිලි තුඩු හදට තදකොට තබාලා
ඔබ සතපන්න තරු අහසෙ වියනක්‌ සදාලා
සුසුමක්‌ හෙළන හැම වරෙක ඔබමයි සිතාලා
නිදියන්න මගෙ මැණික මට තුරුලු වීලා

ඔයාගේ සියුමැලි ඇඟිලි තුඩු මගේ හදවතට තද කරලා තියාගන්නම්... එතකොට මගේ හද ගැහෙන රාවය ඔයාට දැනේවි... ඔයාට මම හැම සැපක්‌ම දෙන්නම්.... තරු පිරුණු අහසේ වියනක්‌ හදලා මම ඒ වියනේ ඔයාව සතපවන්නම්... මගේ මුවින් පිටවන හැම සුසුමකදීම ඔයා ගැනම හිතන්නම්... අනේ මගේ මිහිරියාවිය.... මට තුරුලු වෙලා නිදාගන්න....

මේ පෙම්වතා ප්‍රේමයේ අන්තයටම ගිහින්... පෙම්වතියත් සමග ඔහු මනසින් ජීවත්වෙනවා....

මේ සිංදුව නාලිකාවල යද්දී... ස්‌වාධීන රූපවාහිනියේ සුළඟ ටෙලි ඩ්‍රාමා එකේ තේමා ගීය විදිහට තෝරා ගත්තා.... මේ සිංදුව තනි පුද්ගලයෙක්‌ නෙවෙයි කියන්නේ... අමිල නිරෝෂාන්, ඉෂාන් ලක්‌මාල්, ඉසුරු දසුන්, යූ. වී. එරංග සහ මම තමයි ගායනා කරන්නෙ අපි එකනෙකා එක එක කොටස්‌ බෙදාගෙන ගයන්නේ.... කණ්‌ඩායමක්‌ ලෙස ගයන නිසා තමයි සිංදුව හිට්‌ වුණේ...

අජිත් අලහකෝන්