Pages

Sunday, July 22, 2012

පොරොන්දු වූ පරිදි මා බලා හිඳිමි මුණගැහෙන්න ආදරෙන්...

වසන්තය... හරිම සුන්දරයි... ගස්‌ වැල්වල මල් පිපිලා... මල්වල සුවඳ විඳින්න... රොන් උරා බොන්න... ලස්‌සන පාට පාට සමනළයින්... රෑන් රෑන් ඇදී එනවා... ජීවිතයත් හරියට ඒවගේ... අපේ ජීවිතවලටත් වසන්තයක්‌ උදාවෙනවා... ඒ කාලෙට... ආදර හැඟුම්... සුන්දර සිහින.... පිරිලා ඉතිරිලා යනවා... ඒ හීන අතරට... ආදර හැඟුම් අතර... ලස්‌සනම ලස්‌සන රුවක්‌... ඇඳිලා... ඒක සිතේ සිත්තම් වූ රුවක්‌... කාලාන්තරයක්‌ තිස්‌සේ... සංසාරෙන් සංසාරෙට... හිත පතුලේ ඇඳි රුවක්‌...

සුරංගනාවකට නොදෙවෙනි

හැඟුම් බරම රැඟුම් උල්පතී

සිහින වලදී හමුනොවී

මඟ නොහැරෙන තැනකදී

පොරොන්දු වූ පරිදි මා

බලා හිඳිමි මුණ ගැහෙන්න... ආදරෙන්...

සුරංගනාවන්... කොතරම් ලස්‌සනද.... සුරලෝකයේ අංගනාවන්ට සම කළ හැකි රුවක්‌... මේ මනු ලෝකයේ තියෙනවද... හිතන්නත් බෑ.... ඒත්... එත් ඇය නම් දෙවැනි වන්නේ සුරංගනාවකට විතරමයි. ඒ තරම්ම ලස්‌සනයි.... සුරංගනන් රඟන දසුනක්‌ දකින්න ඇත්නම්... ඒ නම් අපූරු රංගනයක්‌ බව ගුත්තිලයේත් තියනවා.... ගුත්තිලයන් මූසිල පරදවන්න වෙණ වයද්දී... සුරංගනාවනුත් රැඟුම් පෑවලු.... ඒ රංගනයන් දෙස නෙත් අයාගෙන සිටි අය... කොතරම් වශීකෘත වුණාද..... සමහර අම්මලාගේ ඇකයේ සිටි දරුවන් පවා බිමට වැටුණලු..... අන්න ඒ වගේ තමයි... සුරඟනකට දෙවැනි නොවන මේ ළඳත්.... හැඟීම්බරව රඟන්න උපන් හපනියක්‌... ඇගේ රුව... මගේ හිත පතුලේ සටහන් වෙලා.... නින්දෙත්... නොනින්දෙත්... මගේ නෙත් මානයේ හිඳින්නේ ඈ විතරමයි... අපිට හමුවෙන්න ඇත්නම්... ඒත් ඒ සිහිනෙන් නොවේ හැබැයින්... අපි හමුවෙමු... ඒත් එදාට මට ඔයා මඟ හැරුණොත්... නෑ.... නෑ.... මඟ හැරෙන්නෙ නැති තැනකදී හමුවෙමු..... මම ඔයාට පොරොන්දු වෙනවා.... මම බලා ඉන්නවා ඔයා එනතුරු... මගේ හිත ආදරෙන් පිරිලා.....

මේ ගීය... තරමක්‌ වෙනස්‌ ශෛලියක තනුවකට... ගැයෙන්නේ... අමරසිරි පීරිස්‌ ප්‍රවීණ ශිල්පියාගේ හඬ... ගීයේ පද කැළුම් ශ්‍රීමාල්ගේ....

අපි චිත්‍රපටයක්‌ බැලුවාම ඒකේ චරිත බොහෝ විට හිත්වල ජීවත් වෙනවා... ඒ ප්‍රධාන නිළිය වෙන්නත් පුළුවන්.... අන්න ඒ වගේ තමයි... එක්‌තරා ලස්‌සන ගැහැනු ළමයෙක්‌ව දැකලා තමයි මේ පද පෙළ මගේ අතින් ලියෑවුණේ.... ඈ... හරියට සුරංගනාවක්‌ වගේ.... මගේ හිත ඇතුලේ නිතරම හොල්මන් කරන්න පටන් ගත්තා.... හරියට ඉංග්‍රීසි චිත්‍රපටවල නිළියක්‌ වගේ.... කැළුම් ගීයේ උපත සඳහන් කළේ එලෙසයි.

ප්‍රමාද වී පරාදවී

සොවින්ම පසුතැවෙන්න වෙයි

සිතුම් පැතුම්ද පැවිදි වී හැංගේවි

ඔබෙන්ම අවදි වෙච්ච ජීවිතේම පාළුවෙයි...

මං ඔයාට ආදරෙයි.... මගේ හිත ඇතුළේ ජීවත්වෙන ඔයාට කොහොමද ඒ ආදරේ ගැන කියන්නේ... දෙයියනේ මම පමා වෙයිද.... එහෙම වුණොත් මට ඇතිවෙන්නේ පරාජය තමයි.... ඉන් පස්‌සේ මගේ ජීවිතේම... ශෝකය... විරහ වේදනාව ගලා ඒවි.... මට ඔයා නොලැබුණොත්.... ආයෙත් ආදරයක්‌ ගැන මම හිතන්නෙම නැහැ. ආදර සිතුම්... ප්‍රාර්ථනා මගේ හිතෙන් පලා යාවි... ඒ විතරක්‌ නොවේ... ගිහි ජීවිතයට පවා සමුදෙන්න හිතේවි.... ඔයා නිසා අලුත් පණක්‌ ලැබුණු මගේ ජීවිතේ.... හුදෙකලා වේවි.

මේ ලස්‌සන ගැහැනු ළමයාට කිසිදාක ආදරෙයි කියා, කියා ගන්න වෙන්නේ නැහැ. මම ඉල්ලන් කනවා... ඒත් ඉතින් ඒ ප්‍රමාදයෙත් රහස්‌ සතුටක්‌ තියෙනවා... කැලුම් යළිත් පැවැසුවා....

පැතුසේ ඔබව ලැබුණොතින්

රහස්‌ පවා බෙදාගමින්.

සිනාව වාවගන්න බැරිතරම් පිරේවි

තියේවි අදහගන්න බැරිතරම්ම ආදරේ...

මගේ පැතුම ඔයයි.... සිතිවිලි අතරේ සිරව සිටින ඔයා... මට ලැබුණොත්... මගේ සිතනම් වාවගන්න බැරි වේවි. ඒ තරමට සතුටින් මගේ හිත පිරී ඉතිරී යාවි.... අපි දෙදෙනා අතර කිසිම රහසක්‌ ඉතිරි නොවේවි... රහස්‌ බෙදා ගැනීම... පෙම්වතෙක්‌... පෙම්වතියකගේ ආත්මීය පොරොන්දුවක්‌... මට නම් අදහාගන්න බැරිවේවි.... මගේ හිතේ ඔයා ගැන මේ තරම්ම ආදරයක්‌ තියෙනවා කියලා... ඔයාටත් හිතාගන්න බැරි වේවි....

"මම මේ සිංදුව ලියුවේ ටෙලස්‌ එකට... මේ ටෙලස්‌ එක මට ලැබුණාම මම හිතුවා ඒ තුළම වචන ටික තියෙනවා කියලා... උපරිම ආදරය දනවන ගීයක්‌... අමුතු ටෙලස්‌ එකක්‌.... හිතේ සඟවාගෙන සිටින ආදරයක්‌... මේ වගේ අය අපට නිතර හමුවෙනවා.... කැළුම් එහෙම පැවසුවා

අජිත් අලහාකෝන් - Divaina