Pages

Wednesday, March 21, 2012

සුවඳැති මල් ඇයි මෙතරම් හනිකට පරවෙන්නේ...

සමාන හදවත් ඇති ඇත්තන් ජීවිතයෙන් සමුගැනීම දරන්න බැරි වේදනාවක්. එවැනි වේදනාවක් හදවත පුරා පැතිර ගිය ආරංචියක් ඊයේ (20 වැනිදා) පාන්දරම සවනත වැකුණේ එවැනිම සහෘදයකුගෙන්.

“ඇන්ටන් ජූඩ් අන්තරා වෙලා. හාට් ඇටෑක් එකක් ලූ...”

හීනෙකින්වත් හිතන්න බැරි ආරංචියක්. අසේල ජයකොඩි නැතිවෙලා මාස කීයද ගියේ. තවත් එවැනිම සහෘද හදවතක් නතර වෙලා. මේක පුදුම වැඩක්. කලාකාරයන්ට අපල කාලයක් වගේ...” මගේ සිතට නැඟුණු සිතුවිල්ලක් ඒ...

ඇන්ටන් ජූඩ් අපි ආදරේට කියන්නේ ‘ජූඩා’ කියලා. ‘ජූඩා’ කලාව තුළ ඉදිරියට ආවේ පාර මී පුරනවා වගේ ගමනක යෙදිලා. ශෂී කුයින්ටස්ගේ ‘සුදුහත්තක්’ වගේම විජිත ගුණරත්න නම් ප්‍රවීණ නාට්‍යකරුවාගේ නාට්‍ය තුළින් ‘අ’ යන්න කියූ හේ අශෝක හඳගමගේ ‘මාඝාත’ නාට්‍යයේ වාදක කණ්ඩායමේ වාදකයෙක් ලෙස රඟපෑ අයුරු ලියුම්කරුට දැනුත් මැවිලා පේනවා වගේ. ‘ජූඩා’ ‘මාඝාත’ නාට්‍යයේ ගීතයක් අතර තුර කියන එකම දෙබස “හහ් හා හහ් හා...” කියන අපූරුව දැනුත් මතකයට නැෙඟනවා.

කලාව තුළ ජූඩ් වසර 34ක පමණ කාලයක් ගතකර වේදිකා නාට්‍ය 40 ට අධික ප්‍රමාණයක්, ටෙලි නාට්‍ය 55 කට වැඩි ගණනක් චිත්‍රපට 20ට අධික සංඛ්‍යාවකටත් සිය රංගන දායකත්වය එක්කොට ඇත. ‘ආයිෂ් අම්මා ගුංඩු’ ‘සකිසඳ මඬල’ ජූඩ් නිර්මාණය කළ වේදිකා නිර්මාණ වේ...

ගල්කිස්සේ ශාන්ත අන්තෝනි රෝමානු කතෝලික පාසලෙන් අධ්‍යාපනය හදාළ ජූඩ් කලාවට පැමිණෙන්නේ සිය පියා වූ ක්ලැරන්ස් ගෝමස් මහතාගේ මඟ පෙන්වීම ඔස්සේ ය. ජූඩ් ගේ පියා හොඳ ගායකයෙක්. පණ්ඩිත් අමරදේවයන්ගේ, මොහිදීන් බෙග් මාස්ටර්ගේ ගීත හරි අපූරුවට ගායනා කිරීමේ හැකියාවන් ඒ පියාට තිබුණා. ජූඩ් ජීවත්ව සිටියදී කියන්නේ පියාගේ ඒ හැකියාවන් තමයි මට පිහිටා තියෙන්නේ කියලා.

ජූඩ් ඒ දිනවල නිතරම කියන දෙයක් තමයි තාත්තා කියන්නේ කලාකාරයෙක් වෙන්න කියන එක නෙමෙයි හොඳ මිනිහෙක් වෙන්න කියන එකයි. හොඳ මිනිහෙක් වෙන්න වැස්සට තෙමෙන්න ඕනෑ. අව්වට වේලෙන්න ඕනෑ කියා තාත්තා කියනවා. ඒ තාත්තා උග්‍ර සම සමාජ කාරයෙක් නිසා වෙන්නැති....” ජූඩ් සිනාසෙමින් පවසනවා.

කුඩා කාලයේ ජීවිතය ජීවත් කරවන්නට කුඩා ජූඩ් නොකළ වීර්යයක් නැති තරම්. ජීවිතය ජයගැනීම දුෂ්කර කාර්යයක් වුවත් ජූඩ් කිසිම මොහොතක උත්සාහයෙන් පලා නොගියේ ය. වීර්යය අත් නොහළේ ය. ඒ නිසාම ‘කලාව‘ ජය ගන්නට ඇන්ටන් ජූඩ් ට හැකියාව ලැබිණ. ජර්මාණු සංස්කෘතික මධ්‍යස්ථානය, සෝවියට් සංස්කෘතික සංගමය, රත්මලාන කම්කරු සෙවණ, ඔස්ටින් මුණසිංහ, කේමදාස මාස්ටර්, ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙනිය, විජිත ගුණරත්න , අශෝක හඳගම, රොජර් සෙනෙවිරත්න, රොඩ්නි පි‍්‍රයන්ත, ගිරිරාජ් කෞෂල්‍ය පි‍්‍රයන්ත සෙනෙවිරත්න ජූඩ්ගේ කලා දිවි ගමනේ ඔහුට හමු වූ ශක්තිමත් පුද්ගලයන් සහ ආයතන ලෙස ජූඩ් නිතරම සිහිපත් කරන්නේ ය.

‘ජූඩ් රංගන පිපාසයකින් පෙළුණු රංගන ශිල්පියෙක්. හාත්ස්‍ය උද්පාදක චරිත තුළින් වඩාත් ප්‍රේක්ෂක ආකර්ශණය ලබා ගත්තත් ජූඩ් චරිතාංග රංගනයට ඉව අල්ලමින් සිටි රංගන ශිල්පියෙකි.

1960 වර්ෂයේ නොවැම්බර් 28 වැනිදා මෙලොව එළිය දුටු ජූඩ් මිය යනවිට 52 වැනි වියේ පසුවිය. ඇන්ටන් ජූඩ්ගේ කලා ජීවිතයට ඔහුගේ බිරිය මානෙල් විජේසේකරගෙන් ලැබුණේ සුවිශාල පිටුවහලකි. සහෝදර සහෝදරියන් සිව් දෙනකුගෙන් යුත් පවුලක වැඩිමල් දරුවා ලෙස ඉපඳුණු හෝ කලා ක්‍ෂේත්‍රය තුළ හිතහොඳ පුද්ගලයකු ලෙස වඩා ප්‍රකටය.

2011 වර්ෂයේ ජනවාරි පළමු වැනිදා හදිසියේ වැලඳුණු හෘදයාබාධයක් නිසා ජූඩ් රෝහල් ගතකෙරුණි. කලා ලොවේ කොයි කවුරුත් එකතු වෙලා එදා ජූඩ්ට පිළිසරණ වුණේ ජූඩ් හිතහොඳ මිනිහෙක් වූ නිසා ය. එදා ජූඩ් සනීප වුවත් උපතින්ම ගෙන ආ ආයුෂ අනුව ජූඩ් ට කලාව තුළත් ජීවිතය තුළත් තවදුරටත් ඉදිරියට යන්න නොහැකි වුණා. ජූඩ් ‘සකිසඳ එළියස්’ ටෙලි නාට්‍යයට ගායනා කළ මෙම ගීතය ජීවිතය පිළිබඳ මේ අනිත්‍ය මනාව කියා පාන්නක්.



උණ පුරුකේ බලු වලිගේ දාලා තිබුණත් 
නෑ - ඇදේ ඇරෙන්නේ - //



හුඟ දෙනෙක් ඒ වගේ
ටික දෙනෙක් එහෙම නෑ
අපි ඉන්නේ එතැනයි
ලබා උපන් හැටියටනේ
බබා වැනෙන්නේ
ආයිෂ් අම්මා ගුංඩූ - //



මෙතැනට කොහෙන්ද ආවේ
මෙතැනින් කොහේද යන්නේ
හරියට කවදද යන්නේ
ඉන්නේ කී දොහොද නොදැන
නැටුම් නටන්නේ - //
එදත් කැමැතියි - මෙදත් අකමැතියි
කැමැතියි - අකමැතියි



මිල මුදල් සොයනවා
අඹු දරුවෝ රකිනවා
පොට්ටනිය බඳිනවා
යනකොට කිසිවක් නෑ
හිස් අතින්ම යනවා - //

ආයිෂ් අම්මා ගුංඩූ



කපටියො මුදුනේ ඉන්නවා
මහතැන බර උහුලනවා
ඒ වගේ දවස ගෙවනවා
කැරකෙන ලෝකේ අපි
හැල්මේ දුවනවා - //



දැනුයි මට කම්පනාවට ආවේ
උණ පුරුකේ බලු වලිගේ....//



ඒ මධුර මනෝහර ගායනයෙන්, සහ ආකර්ෂණීය රංගනයෙන් සුවහසක් රසිකයන් පිනවූ ඇන්ටන් ජූඩ් අප සහෘදයා අප අතැර ගියත් අප ජීවත්වන කාලය පුරාවට ඔහු පිළිබඳ මතකය අපේ සිත් පුරාවට පවතිනු ඇත.

ඇන්ටන් ජූඩ් අප සහෘදය මතු සසරේත් මෙසේ අප හමුවන්නට ප්‍රාර්ථනා කරමු.

ඔබට මොක් සුව...!



ගාමිණී ජයලත් - Dinamina