Pages

Thursday, March 01, 2012

දරුවාගේ ජීවිතයේ වැදගත්ම කාලයේදී ඔබට කළ හැකි දේ

පෙර පාසල් ගුරුතුමියටත් විශේෂයි

ළමයාගේ ජීවිතයේ වැදගත්ම කාලය ලෙස පිළිගනු ලබන්නේ දරුවා මව කුස පිළිසිඳ ගැනීමේ සිට මෙලොවට බිහිවී වසර 3 ක්‌ ගතවන කාලපරිච්ඡේදයයි. මනුෂ්‍ය ජීවිතේ පැවැත්මට හා සංවර්ධනයට අවශ්‍ය වන මොළය නම් ඉන්ද්‍රිය තුළ ගොඩනැගෙන සෛල වලින් 75% ක්‌ පමණ ගොඩනැගෙන්නේ මෙම කාලය තුළදීය. පුද්ගල සංවර්ධනයට අවශ්‍ය කරන සෛල පද්ධති රටා ගොඩනැගීම මුල් වසර 3 දක්‌වා කාලය තුළ දී සීග්‍රයෙන් සිදුවේ. ළමයාගේ බුද්ධි වර්ධනය වීමට මෙසේ සෛල අතර සම්බන්ධතා ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ. එම සම්බන්ධතා ගොඩනැගෙන්නේ ළමයා ජීවත්වන පරිසරය ආශ්‍රිත අත්දැකීම් තුලිනි. ඒ අනුව මුල් ළමාවියේ වයස අවුරුදු 3 දක්‌වා කාලය දරුවාගේ පරිසරය නිවෙස වන අතර පවුලේ සාමාජිකයන් මගින් ළමයාගේ අවශ්‍යතා ඉටුවීම හෝ නොවීම තීරණය වනු ඇත. මෙම කාලය තුළ දරුවෙකුගේ පංෙච්න්ද්‍රියට (ඇස, කන නාසය, කට හා සම) ලැබෙන උත්තේජ මත දරුවාගේ මොළය වර්ධනයවීම සිදුවන බැවින් දරුවාට ආදරය, සුරක්‌ෂිතභාවය ඇතුළත් ප්‍රතිචාරත්මක වැඩිහිටි සබඳතා ඇතිකර දිය යුතුවේ.

දරුවාගේ ජීවිතයේ තීරණාත්මක වයස වන මෙම අවුරුදු තුනක කාලය දරුවා වැඩි වශයෙන් නිවෙස තුළ ගත කෙරෙන නිසා ස්‌වභාවික හා ස්‌වාධීන ලෙස දරුවාට ක්‍රියාත්මකවීමට අවශ්‍ය උත්තේජන ලබාදිය යුතුයි. දරුවැගේ ශ්‍රවණ ඉන්ද්‍රිය දියුණු වීමට ස්‌වභාවික ශබ්දවලට සවන්දීමට අවස්‌ථාව ලබා දෙන්න. කුරුල්ලන්ගේ හඬ, වැසි වසන විට ඇසෙන ශබ්දය, නොයෙකුත් සතුන්ගේ ශබ්ද, සුළඟට ගස්‌ සෙලවෙන ශබ්ද, පාරේ යන වාහනවල ශබ්ද ඇසීමට සලස්‌වා පුතේ මොකක්‌ද ඒ ශබ්දය කියා දරුවාගෙන් අසන්න. දෑස දියුණු වීමට අවශ්‍ය මොළයේ සෛලවල ක්‍රියාකාරිත්වය ඇතිවීමට විවිධ වර්ණ, වස්‌තූන් හා හැඩතල සමඟ හැසිරීමට දරුවාට අවස්‌ථාව ලබාදිය යුතුවේ. ඉතින් මේ සඳහා ඔබ ගෙදරදී භාවිතා කරන ද්‍රව්‍ය කීපයක උදා(- දරුවාට කෑම කැවීමට ගන්නා පිඟාන, බීමට ගන්නා කෝප්පය, දරුවා සහ ඔබගේ ඇඳුමේ පාට, නිතරම දරුවාට කියාදී පාට අසන්න. ඒ වගේම ගෙදරදී භාවිතා කරන සෑම වචනයකම නිවැරැදි උච්චාරණය හා නිවැරැදි වචනය භාවිතා කරන්න. මා දන්නවා අපේ සමහර දෙමාපියෝ වතුර වෙනුවට ජෝ. බත් වෙනුවට බයි කියා පවසනවා. එය වැරදියි. සමහර දරුවෝ ලොකු වෙලත් මේ වචනම භාවිතා කරනවා. සමහර සිංහල භාෂාවේ රචනාවලට පවා මෙම වචන භාවිතා කරනවා. හැඩතලවලට ඔබට පුළුවන් දරුවාගේ පිඟානේ හැඩය, හඳේ හැඩය, වෘත්තාකාරවත් දොර ජනේල දරුවාගේ කෑම පෙට්‌ටිය, සමචතුරශ්‍රාකාර හෝ සෘජුකෝණාශ්‍රාකාර බවත්, පාන් පෙත්ත, චීස්‌ කැබැල්ල ත්‍රිකෝණාකාරව කපා එය ත්‍රිකෝණාකාර බවත් කියාදෙන්න. ඉතින් ඔබ හිතන්න එපා මේ වචන දරුවාට බරපතළ කියා. නෑ අම්මේ මේ වයසේ ඉන්න ඔබේ දරුවාට භාෂා 7 ක්‌ වුණත් ඉගෙන ගන්න පුළුවන් කියා මනෝවිද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. ඒ නිසා නිතරම දරුවාට නිවැරදි වචනය භාවිතා කරන්න. ඒ වගේම මේ වචන නිතර නිතර භාවිතා කිරීමේදී දරුවා ඉතා ඉක්‌මනින් හා පහසුවෙන් මේවා ඉගෙන ගන්නවා. එසේම විවිධ රස අත්විඳීමටත්, ගඳ සුවඳ ආඝ්‍රාණය කිරීමටත් අවස්‌ථාව ලබාදිය යුතුයි.


මේ පරිදි දරුවාගේ ඇසට, කනට, දිවට, නාසයට හා ශරීරයට හැකි උපරිම වශයෙන් උත්තේජ ලබාදීම මගින් එම ඉන්ද්‍රියන්ට අදාළ මොළයේ සෛලවල ක්‍රියාකාරිත්වය වර්ධනය කළ හැක. මුල් ළමාවියේ මේ ආකාරයට දරුවා ගැන සැලකිලිමත් වීමෙන් උසස්‌ චින්තන ශක්‌තියකින් හෙබි, ඉගෙනීමේ කටයුතුවලදී මැනවින් සංකල්ප සාධනය කර ගැනීමට සමත්, අවශ්‍ය පරිදි මැනවින් කුසලතා ප්‍රදර්ශනය කරන, මහා පෞරුෂයකින් හෙබි දරු පරපුරක්‌ සමාජයට උරුම වනු ඇත.

ප්‍රධානාචාර්ය
ඉනෝකා කුමාරි හුලංගමුව
සෙන්ට්‌ ඇන්තනීස්‌ මොන්ටිසෝරි හවුස්‌ ඔප් චිල්රන්
Courtesy - Navaliya