Pages

Friday, March 30, 2012

අද හොඳම දවස ඔබ එනවා නම්........

මාරම්බරී නෙළුම් පොකුණට වඩින්නීය.
ඒ එඩ්වඩ් ජයකොඩි විශාරද ගායකයාණන්ගේ
උපන් දිනය නිමිත්තෙනි. දිනය මෙම 05 වැනිදාය.
වෙලාව සවස 6.30 ටය.

අද හොඳම දවස ඔබ එනවා නම්........
- විශාරද එඩ්වඩ් ජයකොඩි

සක්‌වල එතෙරට ඇසෙනා
අනන්ත ඈතට දැනෙනා
මුළු මිහිතලයම - කම්පා කරවන
එකම හඬයි අම්මා
මෙතේ බුදුන් දැක නිවන් දකීවා
ගෙදර බුදුන් අම්මා.......

විශාරද නන්දා මාලිනිය සමග චිත්‍රපටියකට
ගැයූ මුල්ම යුග ගීයෙන් සම්මාන ලබන්නට තරම් හේ භාග්‍යවන්තයෙක්‌ විය. රෝයි ද සිල්වා අධ්‍යක්‍ෂණය කළ ගෙදර බුදුන් අම්මා චිත්‍රපටයට ගැයුණු මේ ගීයේ පදරචකයා උපාලි ධනවල විතානය, සංගීතය සරත් දසනායකය. ස්‌වර්ණ සංඛ සම්මාන උළෙලේදී හොඳම ගායනය සඳහා සම්මාන හිමිකර ගත්තේ මේ ගීයය.

විශාරද එඩ්වඩ් ජයකොඩි....... අපේ රටේ සංගීත ක්‍ෂේත්‍රයට, සුභාවිත ගීයට එක්‌ කළ ප්‍රභාව මෙතෙකැයි කියා කිව හැකිද... ඔහු ගයන්නේ ඔහුටම අනන්‍ය වූ ආවේනික වූ ශෛලියකිනි. තවමත් තාරුණ්‍යය ඒ හඬ ඇත්තේද ඔහුටම පමණකි.

එඩ්වඩ් ජයකොඩි සුවිශේෂී ශිල්පියෙකි. විරල දස්‌කම් සතු වූවෙකි. ගැයුමට පමණක්‌ද නැත. ගී තනු නිර්මාණයට මෙන්ම සංගීත අධ්‍යක්‍ෂණයටද දක්‍ෂය.

මිනිසා හඳට ගියාලු
මිනිසා පුදුම වුණාලු
බිම බැලුවාලු උඩ බැලුවාලු
මිනිසා හඳට ගියාලු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් ලියු මේ ගීයට තනු රචනා කළේ එඩ්වඩ්ය. සංගීතය නිර්මාණය රෝහණ වීරසිංහය. මෙවන් ගී රැසකම තනු නිර්මාණය කළ එඩ්වඩ් ජයකොඩි කපිල කුමාර කාලිංග ලියූ ඉතාම සුන්දර මේ ගියේ සංගීත නිර්මාණ ශිල්පියාද වේ.

වසන්තයේ අග හමුවෙමු සොඳුරිය
ළවැලිතලාවක විසුළ කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අලුතින් සුසුමක්‌ ගෙන වෙන් වී යමු
ළා සඳ නැගෙනා හෝරාවේ

ප්‍රතිභාපූර්ණ කලාකරුවෙකු බිහිවන්නේ ප්‍රතිභාවත්, ව්‍යqත්පත්තියත්, සතතාභ්‍යාසයත් ක්‍රමවත් ලෙස සංයෛdaජනය වීම ඔස්‌සේය. එඩ්වඩ් ජයකොඩි යනු මේ වාසනා ගුණයට හිමිකම් කියන ඒ නිසාම ශ්‍රාවකයා ඇද බැඳ තබා ගැනීමට සමත් ගායකයෙකි.

එඩ්වඩ් ගැමියෙකි. කෑගල්ල බුලත්කොහුපිටිය පාරේ, හෙට්‌ටිමුල්ල ග්‍රාමය ඔහු උපන් තැනය. හෙට්‌ටිමුල්ල යනු කෘෂිකර්මාන්තයෙන් දිවි ගෙවන මිනිසුන් වෙසෙන ගමකි. අග නගරයේ වාසය කළද එඩ්වඩ් ජයකොඩි තවමත් ජීවත් වන්නේ ගම සමගය. ගැමි කම ගැමි සුවඳ ගැමි වහර ඔහුගේ ගී ඔස්‌සේ අපට අනන්තවත් හමුවන්නේ ඒ නිසාය.

කරඹ කැලෑවට වවුලෝ ඇවිදින්
රෑ තුන්යම රජ මගුල් කතී
පාළුව දැනුණම මෙරු රැළ තරහින්
වැලි මාළිග වට කුළල් කතී

ගී පද - අමරසේන කංකානම්ගේ
සංගීතය - රෝහණ වීරසිංහ

නිල් ලන්දේ ගම් මැද්දේ ඉද්ද සමන් පිපෙනවා
වෙල් බැද්දේ වගුරු පුරා කෙකටිය දළු දිලෙනවා
ගේ මැද්දේ බරණි පුරා වී අස්‌වනු පිරෙනවා.
හිත මැද්දේ ලොකු අඩුවක්‌ මගේ සතුට මකනවා.

ගී පද - කුලරත්න ආරියවංශ
සංගීතය - රෝහණ වීරසිංහ
යුග ගායනා - නන්දා පතිරණ

ඒ එඩ්වඩ්ගේ ගැමිකමය. එඩ්වඩ් ජයකොඩි ගැයු ගීත ලැයිස්‌තුව වෙත අවධානය යොමු කළ හැකි නම් ඒ ගීත එකින් එක ගෙන විශ්ලේෂණයක යෙදෙන්නෙකු සිටී නම් ඒවායේ අපුර්වත්වය විඳින්නට කදිම අවස්‌ථාවක්‌ ලැබේ.

ගීතය ඔස්‌සේ ළමුන්ට සමීප වූ ගායකයෙක්‌..... එඩ්වඩ් හැර තවත් සිටීද...

තැන තැන රවුමට ඉඳගෙන
ඉඳහිට එබිකම් කර කර
ගී පද - අමරසේන කංකානම්ගේ

කටු අකුලේ මල් ඇහැරේ
රළු අහසේ තරු හිනැහේ..

ගී පද - බන්දුල නානායක්‌කාරවසම්
සංගීතය - ආනන්ද ගමගේ
යුග ගැයුම - ටිලානී අමරසිංහ

අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ
බොඳවී නෑ සිතුවම්......

ගී පද - කුමාරදාස සපුතන්ත්‍රි
සංගීතය - රෝහණ වීරසිංහ

උපන් මව්බිම ගැන වාත්සල්‍යය ඇතිවන වෙර වීරිය ඇතත් සිතේ, ජාතියේ උදාර සිතුම්, ජාතියේ උදාර පැතුම් වැනි ගී ගමේ පන්සල අපේ පන්සල අපේකම රැක්‌කා සාදු කියන්නට මල් වට්‌ටියකට වන් බෞද්ධාගමික ගීතද ගැයු එඩ්වඩ් මව් ගුණ ගීතද ගයා ඇති බව නොරහසකි. ඒ බැව් මෙම ලිපිය ආරම්භ කළ ගී පද පෙළෙන් සනාථ වේ.

මුව මුක්‌තා ලතා පිපි හංසාංගනා
විල් නෙළුමාසනෙන් ආ ළඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ
ස්‌වර්ණ වර්ණා පෑයෙන් දිලේ

ගී පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - ආනන්ද පෙරේරා

ඉස්‌සර විදියට දුව පැන යන එක
මතකද තහනම් කරපු දිනේ
සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද
කියන්න පොඩි හාමුදුරුවනේ

ගී පද - අමරසේන කංකානම්ගේ
සංගීතය - රෝහණ වීරසිංහ

හද සුවය මවෙත රඳන විහඟ ගීතයයි
සුව සිහින වැලෙක මල් පීදෙන කාලයයි
නව යෞවනේ පිපි මල් වනේ රණ තිසර ළමැද සෙවනේ මධු සාදයයි.

ගී පද - කුමාරදාස සපුනන්ත්‍රී
සංගීතය - රෝහණ වීරසිංහ

හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා
ඇඳෙන්නෙ ජීවිතේ කතාවදෝ.....

ගී පද - බන්දුල නානායක්‌කාරවසම්
සංගීතය - රෝහණ වීරසිංහ
යුග ගැයුම - ධම්මිකා බණ්‌ඩාර

මේ ප්‍රේම කතා නවතා මොහොතක්‌
අපි අවට බලමු ඇස්‌ ඇරලා
නැති බැරිකම හතර අතේ
පාවෙනවා සුළඟ වගේ

ගී පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය - එඩ්වඩ් ජයකොඩි
යුග ගායනා - චරිතා ප්‍රියදර්ශනී පීරිස්‌

මවුනි පොරණ ඔබ රණවිරු දරුවන්
වැලැලුණු මේ මිණි දෙරණේ
ඔවුනගෙ සිරුරත ලේ මස්‌ නහරිනි
මගේ හදවත පණ ගැහුනේ

ගී පද - මහගමසේකර - සංගීතය - එඩ්වඩ් ජයකොඩි

ඔහු ගැයූ ගීත සියල්ල එකිනෙක ගෙන විග්‍රහයක යෙදෙන්නට ඇත්නම්.. එහෙත් ප්‍රායෝගිකව එය කළ නොහැක.

එඩ්වඩ් හැත්තෑව දශකය අග භාගයේදී වේදිකා නාට්‍යවලටද රංගනයෙන් මෙන්ම ගායනයෙන්ද දායකත්වය දැක්‌වූයේය. පසුව වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය සංගීතවත් කළ හේ චිත්‍රපට ක්‍ෂේත්‍රයටද අවතීර්ණ වෙමින් මෙරට කලා ක්‍ෂේත්‍රයේ සෑම පැතිකඩක්‌ම ආවරණය කළ පුද්ගලයෙක්‌ බවට පත්විය. ඔහු තමන්ගේ තරම සහ වපසරිය හොඳින් හඳුනාගෙන සිටින ගායකයෙකි. එනිසාම තමන්ට උචිත නැති පදමාලා ගායනා කිරීමෙන් එඩ්වඩ් ජයකොඩි සහෘද ශිල්පියා වැළකී සිටී. එය අද සිටින නව පරපුරම ගීතය සමග අවරගණයට පියමං කරන පිරිසට කදිම ආදර්ශයකි.

මානව සමාජයේ සදාතන සංකල්පයක්‌ වන ප්‍රේමය ගැන ප්‍රේමණීය ගී ගැයූ එඩ්වඩ්ටද එහි අපූර්ව ජනක චමත්කාරය විඳින්නට ලැබිණි. ඒ චරිතා ප්‍රියදර්ශනී පීරිස්‌ නිසාය. චරිතාගේ සෙවැනැල්ල එඩ්වඩ් මේ තාක්‌ ආ ගමනේ සාර්ථකත්වයට ප්‍රධානතම හේතුවය.

මාරම්බරී - කෝලවී
පෑ මුවේ මන්දහාසේ
මන ලෝල වේ....
උන්මාද වී
මා හදා සෑම දා
පුණ්‍යවන්තී........

ගී පද - කුමාරදාස සපුතන්ත්‍රි
සංගීතය - රෝහණ වීරසිංහ

මේ ලිපිය මෙතෙක්‌ දුර ආ කාරණාව මාරම්බරීය

මාරම්බරී නෙළුම් පොකුණට වඩින්නීය. ඒ එඩ්වඩ් ජයකොඩි විශාරද ගායකයාණන්ගේ උපන් දිනය නිsමිත්තෙනි. දිනය මෙම 05 වැනිදාය. වෙලාව සවස 6.30 ටය.

එඩ්වඩ් ජයකොඩි තිස්‌පස්‌ වසරකට අධික කාලයක්‌ තිස්‌සේ අපේ ගීත කෙත පෝෂණය කරමින් සිටින්නෙකි. ඔහු එදා මෙදාතුර ගැයූ ජනප්‍රිය සුභාවිත ගීත රැසක්‌ මාරම්බරී සමගින් නෙළුම් පොකුණේ දී අසන්නට...... රසික රසිකාවියන්ට අවස්‌ථාව උදාවේ. රෝහණ වීරසිංහ එඩ්වඩ් ගැයූ මුල්ම ගීතයේ සංගීතය නිර්මාණය කළ ශිල්පියා "මාරම්බරී" සත්සර මෙහෙයුමද සිදු කරයි. චරිතා ප්‍රියදර්ශනී ප්‍රිය බිරිය සහ ශාරන්‍යා ජයකොඩි ආදරණීය දියණිය යුග ගී ගයති.

කථනය වසන්ත රෝහණය. නර්තනයෙන් චන්න විඡේවර්ධන, චන්දන වික්‍රමසිංහ මාරම්බරී හැඩ ගන්වති. එඩ්වඩ් ජයකොඩි ගුරු පියාණන්ගෙන් ශිල්පය හැදෑරූ ඉංජිනේරුවරුන් දෙදෙනෙකු ඇතුළු පෙරාදෙණිය 82 ඉංජිනේරු පීඨ කණ්‌ඩායම මාරම්බරී ඉදිරිපත් කරති.

"මාරම්බරී" ගැන ලියද්දී එඩ්වඩ් ජයකොඩි සහෘද ශිල්පියාගේ අදහස්‌ ද ඉදිරිපත් නොකළොත් මෙම ලිපියේ අඩුවක්‌ දැනෙන්නට පිළිවනි. එනිසාම අපි ඔහු සම්බන්ධ කර ගත්තෙමු.

උපන් දිනයට "මාරම්බරී" තෝරා ගත්තේ ඇයි?"

මම කිසිම දවසක උපන්දින සාද පවත්වලා නැහැ. කේක්‌ කපලා නැහැ. පල්ලියකට පන්සලකට ගිහින් පූජාවක්‌, බෝධි පූජාවක්‌, කරලා වැඩිහිටි සහ ළමා නිවාසයකට ගිහින් ඔවුන් සමග කාලය ගත කරලා තමයි මම මගේ උපන් දිනය සමරන්නේ. ඇත්තටම මගේ උපන්දිනය යෙදෙන්නේ අප්‍රේල් 06 වැනිදාට. ඒත් මෙවර අප්‍රේල් 06 යෙදෙන්නේ මහ සිකුරාදා සහ පෝයදාටයි. මහසිකුරාදා කියන්නෙ අපි සාමාන්‍යයෙන් විනෝදකාමී කිසිවක්‌ නොකරන දවසක්‌. පසළොස්‌වක පොහොය. බෞද්ධාගමික වතාවත්හි යෙදෙන දවස. මම පල්ලියටත්, පන්සලටත් එකසේ ඇලුම් කරන දායකයෙක්‌ නිසා මගේ උපන් දිනය අප්‍රේල් 05 වැනිදාට යොදා ගත්තා. "මාරම්බරී" එදාට මම මගේ රසිකයන්ට නවතාවයකින් පුද කරන හොඳ තෑග්ගක්‌ වේවි.

හොඳයි...... මාරම්බරී ප්‍රසංගය කොහොමද දිග හැරෙන්නේ?

නෙළුම් පොකුණේ, තාක්‍ෂණික ශිල්පිය ක්‍රම මාරම්බරීට උචිත ලෙස යොදා ගන්නවා. ලොකු කුඩා සෑම කෙනෙකුටම රස විඳින්න පුලුවන් ගීත ගයනවා. නර්තනය වුණත් හැම ගීයකටම නැහැ. ගීතයෙන් නර්තනයත් ඉල්ලනවා නම් එවන් ගීත තුන හතරක්‌ තෝරාගෙන ඒවාට චන්න විඡේවර්ධන සහ චන්දන වික්‍රමසිංහ ප්‍රවීණ ශිල්පීන්ගේ අධීක්‍ෂණය සහිත නර්තන යොදා ගන්නවා. ඊට අමතරව ගම්පහ බණ්‌ඩාරනායක සහ කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයීය සිසුවියන්ගේ විශේෂ නර්තන අංගයන් මාරම්බරී සඳහා යොදා ගන්නවා. මේ නර්තනය මීට වසර දෙකකට කලින් ප්‍රංශයේ පැරිස්‌ නුවර යුනෙස්‌කෝ ප්‍රසංග ශාලාවේදී ඒ දරුවන් මගේ ගීතයට කළ වෙස්‌ නැටුමක්‌. එදා විදේශීකයන් මේ නර්තනය දැකලා මවිත වුණා. ඒ අත්දැකීම "මාරම්බරී" නරඹන අපේ රසිකයින්ටත් ලබා දෙන්න තීරණය කළා.

"එඩ්වඩ් ජයකොඩිගේ හඬ තරම් සංගීතයට මුසු වූ මධුරහර, අතිශය ප්‍රබල දීප්තිමත්, නිරවුල්, ශික්‌ෂිත හඬක්‌ මෑත භාගයේදී මගේ සවනට වැටී නැත. සප්තක ත්‍රිත්වයෙන් කුමන ස්‌වර පරාසයක්‌ තුළ වුවද මධුර ලෙස තම ගායනය සංකලනය කිරීමේ හැකියාව එඩ්වඩ් සතුව ඇත. උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් හෝ ජන සංගීතය ඇසුරින් හෝ බටහිර සංගීතය ඇසුරින් හෝ නිර්මාණය වූ ගී රැසක්‌ එඩ්වඩ්ගේ දීප්තීමත් හඬින් පෝෂණය වී ඇත. එදා මෙදාතුර ඔහු ගයා ඇති ගී දෙස පරීක්‍ෂාකාරීව බැලීමේදී ඒ තුළ ලාංකේය සංගීත ක්‍ෂේත්‍රයේ එඩ්වඩ් ජයකොඩි සළකුණ මැනවින් ඉස්‌මතු වී පෙනේ. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එඩ්වඩ් ජයකොඩිව දකින්නේ එලෙසිනි. මහැදුරන්ගේ ඒ කියමන සමගින් මේ සටහන නිමා කරන්නේ විශාරද එඩ්වඩ් ජයකොඩි සහෘද ශිල්පියාගේ ආරාධනාවක්‌ද සමගිනි. ඒ ඔබටය.

ළා සඳ පලුව ඇවිත් නිල්ගිර මුදුනින්
රන්තරු මාල බැඳන් රන්වන් අහසින්
අද හොඳම දවස ඔබ එනවා නම්.......

අජිත් අලහකෝන් - Divaina