Pages

Saturday, September 10, 2011

අහිමි වූවා... ප්‍රථම ප්‍රේමේ... කඳුළ පමණි... උරුම සෙනෙහේ...

සඳ එළිය ගලා එන රාත්‍රියයි
ඔබ මගෙන් සමු අරන් යන්න ළඟයි
තව ටිකක්‌ ඔබේ ළඟ ඉන්න හිතයි
ඒ උනත් සමු අරන් යා යුතුමයි...//

ඇඟිලි පටලා... සිටිය කාලේ
අපිව දුර නෑ... කියා දැනුනේ
තනුව උදුරා... සොඳුරු ගීතේ
දවස ඇයි මේ... නපුරු වූයේ

කඳුළු පිරුණු... දෙනෙත ඔබගේ
බලන්නට බෑ... දුකයි දැනුනේ
අහිමි වූවා... ප්‍රථම ප්‍රේමේ
කඳුළ පමණි... උරුම සෙනෙහේ..
.
පද රචනය-සංගීතය - රොෂාන් ප්‍රනාන්දු
ගායනය - අසංග ප්‍රියමන්ත පීරිස්‌

කුලුඳුලේම කරන ආදරය... කෙනෙකුට අමතක කරන්න බැරි අත්දැකීමක්‌... කුලුඳුල් ආදරය ජයගත් අයට වඩා වැඩියෙන් ඉන්නේ එය බිඳී විසිරුණු උදවියයි.

සමහර විට මේ දෙදෙනාගේම කුලුඳුල් ආදරය වෙන්න පුළුවන්... එහෙමත් නැත්නම් පෙම්වතියගේ... හෝ පෙම්වතාගේ කුලුඳුල් ආදරය වෙන්නත් පුළුවන්... ඒ කොහොම උනත් මේ දෙදෙනාටම මේ ප්‍රථම ප්‍රේමය ඉතාම වැදගත්...

නොමැකෙන ලෙසින් හැදවතේ පැළපදියම් වෙන්නේ මේ ප්‍රථම ප්‍රේමයයි... ඒ නිසාම තමයි පළමු පෙම බිඳී යද්දී පපුව පැලෙන්න තරම් දුකක්‌ වේදනාවක්‌ හදට දැනෙන්නේ... පළමු පෙමයි... කඳුළයි අතර තියෙන්නේ පුදුමාකාර බැඳීමක්‌නේ....




සඳ එළිය ගලා එන රාත්‍රියයි
ඔබ මගෙන් සමු අරන් යන්න ළඟයි
තව ටිකක්‌ ඔබේ ළඟ ඉන්න හිතයි
ඒ උනත් සමු අරන් යා යුතුමයි...


තරු පිරිවරාගෙන ඉන්න සඳ කොමළියගේ රශ්මිය නිසා රාත්‍රියේ අන්ධකාරය පළා යනවා... එවැනි රාත්‍රියක්‌ පෙම්වතුනට කොතරම් සුන්දර හැඟුම් පහළ වෙනවද... ඒත්... සඳ එළිය ගලා එන මේ රාත්‍රියේ... ඔයා මගෙන් සමුගනන් හදනවා... යන්න එපා... මට ආසයි තව ටික වෙලාවක්‌ මේ සඳ එළිය යට ඔයා එක්‌ක ඉන්න... ඒත්... ඒත්... මොනවා කරන්නද... ඔයා මගෙන් සමු අරගෙන යා යුතුම නම්.... මොනවා කරන්නද...


මේ ගීතය අසංග ප්‍රියමන්ත පීරිස්‌ට ලියා දුන්නේ රොෂාන් ප්‍රනාන්දු සංගීතයක්‌ රොෂාන්ගේ ෆ්ලෑෂ් බෑක්‌ සංගීත කණ්‌ඩායමේ රොෂාන්ගේ... රොෂානුන් ගායකයෙක්‌... ඒත් ඔහු නොගයා... තවත් ගායකයෙකුට ගීයක්‌ ලියා දීම... අද කාලේ හිතන්නටත් බැරි දෙයක්‌....


ඇඟිලි පටලා... සිටිය කාලේ
අපිට දුර නෑ... කියා දැනුනේ
තනුව උදුරා... සොඳුරු ගීතේ
දවස ඇයි මේ නපුරු වූයේ...


ඔයාට මතකද අපි දෙන්නා දැඟිලි පටලාගෙන... පෙම් බස්‌ මිමිණූ හැටි.... එදා අපි දෙන්නා කොතරම් ළංවෙලා හිටියාද... අපිට දැනනෙවත් නෑ අපි දෙන්නා දුරස්‌ බව... හරියට ගීතයයි තනුවයි වගේ... අපි දෙන්නට දෙන්නා නැතුවම බැරි වුනා... ඒත් අද... ඒ සුන්දර ගීතයේ තනුව නැහැ... ඇයි... ඇයි... දවස මේ තරම්ම නපුරු...


කඳුළු පිරුණු... දෙනෙත් ඔබගේ
බලන්නට බෑ... දුකයි දැනුනේ
අහිමි වූවා... ප්‍රථම ප්‍රේමේ
කඳුළ පමණි... උරුම සෙනෙහේ...


ඔය, මගෙන් සමුගන්නේ හිතකින් නොවෙයි... ඒක ඔයාගේ ඔය ඇස්‌ දෙකෙන්ම ඔප්පු වෙනවා... ඔයාගේ ඇස්‌ කඳුළුවලින් පිරිලා... ඒ ඇස්‌ දෙක දිහා කොහොමද මම බලන්නේ... මට දුකයි... අපේ පළමු පෙම... මම කොයිතරම් හීන මැව්වද... ඒත්.. ඒ කුලුඳුල් ප්‍රේමයේ මිහිර විඳින්න... මම පිංකරලා නැහැ... ප්‍රථම පෙම... අහිමි වුණා... අන්තිටම අපේ ආදරයේ ශේෂය වුණේ කඳුළු විතරයි....


අසංග ප්‍රියමන්තගේ හඬ... මෙවැනි ගීතවලට කදිමට ගැළපෙනවා... හඬටම ගැලපෙන සංගීතය... පද මාලාව සරල වුනත්... සංගිතයත්... ගායනයත් එක්‌ව ගත් කළ... ශෝකී රසයක්‌ මැවෙනවා... ඒක කියාගන්න බැරි... අමුතුම හැඟීමක්‌...




අජිත් අලහකෝන් - Divaina