Pages

Saturday, September 17, 2011

මේ නගරය මා ඔබ මුණගැසුන නගරයයි


මගේ මතකය මීට වසර නවයකට ඉහත දවසක් වෙත දිවයයි. කළුතර මුහුදු වෙරළේ මර්වින් පෙරේරා සහෘදයාණන් ද මා ද ගායන ශිල්පී නිමල් ගුණසේකර හා තවත් කීප දෙනෙක් සම්භාෂණයක යෙදී සිටියෙමු. එතැන දී ගිටාරයක් වයමින් විසිල් හඬ නඟමින් සංගීතය සපයමින් මර්වින් පෙරේරා මේ ගීතය ගායනා කළා මට මතකයි.

එතරම් මිහිරක් මී ගීතයට ගුවන් විදුලියෙන් සවන් දී හෝ මා තවම අත්විඳ නැත. මුහුදු රළ වෙරළේ හැපෙන හඬ පරදවමින් මුහුදු හුළඟට එකතු වූ ඒ ළයාන්විත හඬ හදවත පිරිමදිමින් ගලා ගියේ ය. මහනුවර නගරය පේරාදෙණිය සරසවිය ඇස ගැටෙන හැම විටකම මේ ගීතය මගේ සිහියට එයි.

ජීවිතය බොහෝ විට පිරී තිබෙන්නේ අහඹු සිදුවීම් වලිනි. ඒ තුළ හමුවීම් වෙන්වීම් බහුල ය. සරසවිය වූ කලී එබඳු සුන්දර මතකයන් හි තෝතැන්නකි. මේ ගීතය වස්තු වී තිබෙන්නේ ද එබඳු සරසවි පේ‍්‍රමයකි.

ඒ පේ‍්‍රමය දිග්විජය ලද පේ‍්‍රමයක් නොවේ. කුමන හෝ හේතුවක් නිසා ඒ සෙනෙහස සරසවි බිමෙන් එපිටට ගමන් කර නොමැත. අතීත මතකයන් කාලයේ වැලි තලාවන්හි සැඟ ව ගොස් තිබේ. 
එහෙත් එබඳු මතකයන් ජීවිතයේ විවිධ අවස්ථාවල නැවත අනුස්මරණය වීම වැළැක්විය නොහැකිය. මට අජන්තා රණසිංහයන් ගේ ගී පදමාලාවක් සිහි වේ.

“මේ මැයි ගහ යට
දවසක් දා වැස්සට අපි උන්නා
රතු කැට වාගේ මැයි මල් පිපි
අපට සෙවණ දුන්නා”

මැයි ගස දකිද්දී මේ පුද්ගලයාට අතීත මතකයේ සොඳුරු තැන් අනුස්මරණය වූවා සේම මහනුවර නගරය දකිද්දී මොහුගේ හදවත තිගැස්සෙයි. ඒ නගරයත් සමඟ බැඳුණු අතීත මතකයන් ඔහු ඉදිරියේ පෙළ ගැසෙන්නට පටන් ගනී.

“මේ නගරය මා ඔබ
මුණගැසුන නගරයයි
මේ නගරය මා ඔබ
වෙන් කෙරුණ නගරයයි”

පේ‍්‍රමකීර්තිගේ සංක්ෂිප්ත කාව්‍යාත්මක භාෂාව කෙතරම් ප්‍රාතිහාර්යයක් ද යන්න මේ යෙදුමෙන් පැහැදිලි වෙයි. නගරය කිසිඳු වෙනසකට භාජනය වී නොමැත. වෙනස් වී ඇත්තේ ඔවුන්ගේ ජීවිතයි.

“වැව් ඉවුරේ දිය රළ
පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතිවත්
නව දලු ලනවා
සරසවි බිම කඳුරැල්ලෙන්
එතෙර පේනවා
ඔබත් එක්ක ආයෙත් එහි
යන්න හිතෙනවා”



“ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා” නමැති හැඟීම්බර යෙදුම ඔහු තුළ තාමත් වියැකී නොමැති ආදරය සැඟවුණ යෙදුමකි. එසේම ඔහුගේ හදවතෙහි නිදන්ගත ව ඇත්තේ අමරණීය රිදුමකි.

එහෙත් ඒ රිදුමෙන් ඔහු ලබන්නේ සතුටකි. මේ මොහොතේ ශෝකයත් රසයකි. දෛවය පුදුමාකාර ය. එදා ඇය සමඟ ඇවිද ගිය මාවතේ වෙනත් ගැහැනියක සමඟ ඇවිද යන්නට ඔහුට සිදුවෙයි. ඈ අතැඟිල්ලේ එල්ලී යන්නේ කුඩා දරුවෙකි.

“ඔබ අතගෙන ගිය වීදියෙ
ඈ හා යනවා
පුංචි පුතා අතැඟිල්ලේ 
එල්ලී යනවා
ඒ කාලේ පැතූ පැතුම් 
යළි සිහි වෙනවා
ජීවිතයම හීනය කැයි 
කියා හිතෙනවා

සැබැවින් ම ජීවිතය සිහිනයක් මැයි. මිනිස්සු අනපේක්ෂිත භාග්‍යයන්ට, අපේක්ෂිත භාග්‍යයන්ට අපේක්ෂිත අභාග්‍යයන්ට මුහුණ දෙති. එහෙත් වැඩිපුර මිනිසුන් මුහුණ දෙන්නේ අනපේක්ෂිත අභාග්‍යයන්ට ය. ඒ ලෝකයේ හැටි ය.

මර්වින් පෙරේරා යනු දුලබ කලාකරුවෙකි. ඔහුගේ ප්‍රතිභාව ඔහුවත් හඳුනාගෙන සිටියා ද යන්න සැක සහිත ය. එසේම පේ‍්‍රමකීර්ති ගේ පදමාලා සිංහල ගීතයට නව මාවතක් ඉදි කළේ ය. තම හැඟීම් ඉතා අඩු වචන සංඛ්‍යාවකින් සන්නිවේදනය කිරීමට ඔහුට ඇත්තේ දුලබ ප්‍රතිභාවකි.

මගේ සිත අතීත මතකයි සොයා දිවයයි. ඒ අතීතයට ආපසු යා හැකි නම් නැවත වැරදුණු තැන් සකස් කර ගත හැකිය. එහෙත් අතීතයට යා නොහැකිය. ඒ නිසාම කඳුළක් ඇස අග තබාගෙන අතීතය දෙස බලනු හැර අන් යමක් කළ නොහැකිය.

ධම්මික බණ්ඩාර