Pages

Saturday, September 03, 2011

බලාගන්න සෙනෙහස තව ඔබටයි මා හද තුළ හැම වේලේ...

රන්තරු පායන අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනූ ආදරය සොරාගෙන
වෙනෙකෙකු නොවැ අද ඉන්නේ
මිහිර සොයා ගිය මගෙ ජීවය දැන්
කඳුළැලි හා ලත වෙන්නේ
සමාවෙයන් සොඳුරිය තවමත් මා
අතමයි වරද තියෙන්නේ

කුඩා රුවල බැඳ තනිව සයුර මැද
ඈත අතීතය දෙස බැලුවේ...
කොහේ සිටන් කොයි බට මා යාවිද
මට නම් නෑ වැටහෙන්නේ...

පලා දෙපලු කළ හදවත දැන් නම්
කාට එකතු කළ හැක්‌කේ
බලාගන්න සෙනෙහස තව ඔබටයි
මා හද තුළ හැම වේලේ

පදරචනය/සංගීතය : ස්‌ටැන්ලි පීරිස්‌
ගායනය : කීර්ති පැස්‌කුවෙල්

පෙම්වතුන් අතින් එකිනෙකාට එරෙහිව වැරදීම් ඕනෑ තරම් සිද්ධ වෙනවා. මේ වැරදි සමහර විට දළුලා එන පෙම කැඩී බිඳී සුනුවිසුණු වෙන්නත් බලපානවා. ආදරවන්තයින්ගෙන් පමණක්‌ නොවේ විවාහකයන් අතින්ද තම බිරියට හෝ සැමියාට එරෙහිව වැරදි කෙරෙනවා. වරදකරු බොහෝ විට ඒ ගැන ලතවෙන අවස්‌ථා තිබෙනවා. ඒ තමන් අතින් ඇයට හෝ ඔහුට සිදුවූ වරද ගැන සිතමින්
රන්තරු පායන අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනූ ආදරය සොරාගෙන
වෙනෙකෙකු නොවැ අද ඉන්නේ
මිහිර සොයා ගිය මගෙ ජීවය දැන්
කඳුළැලි හා ලත වෙන්නේ
සමාවෙයන් සොඳුරියෙ තවමත් මා
අතමයි වරද තියෙන්නේ
සොඳුරියෙ... රන් තාරකා මල් පිපෙන අහස්‌ තලය දිහා බලාගෙන ඔයා තවමත් සුන්දර පැතුම් පතනවා. ඒ පැතුම් ගැන හිතමින් හිනාවෙනවා... මගේ ආදරය... දිනාගෙන සිටියේ ඔයා... ඒත් හදවතේ තිබූ මේ ආදරය අද වෙන කෙනෙක්‌ සතුකරගෙන ඔබ අතැර මම මිහිර සොයා ගියා... මිහිරක්‌ නොවේ දැන් මම ලතැවෙන්නෙ කඳුළැලි සාගරයක... මගෙ ප්‍රියාවිය මට සමාවෙන්න... මම වැරදිකාරයෙක්‌..... ඔබ අත නොවේ වරද මා අතයි.... මට සමාවෙන්න....
ඔහු මේ තැවෙන්නේ කා වෙනුවෙන්ද... මේ සමාව ඉල්ලන්නේ කාගෙන්ද... තම බිරිඳගෙන් විය හැකියි. තවත් කෙනකුට ආදරය කරන ඔහු මේ ගීය ගයන්නේ බිරියට වන්නට පිළිවන්... ඔහුට තම හිත පාලනය කර ගන්න බැහැ... තැවෙනවා... කළ වරදට බිරියගෙන් සමාව ඉල්ලනවා..
අප සමාජයේ අදත් එදත් අත් විඳින තේමාවක්‌... ගීතය ලියුවේත්... සංගීතය නිර්මාණය කළේත් ස්‌ටැන්ලි පීරිස්‌.... නැවත අප අතරට නොඑන ස්‌ටැන්ලි පීරිස්‌... ඔහු නැති නිසයි ගීය ගයන කීර්ති පැස්‌කුවෙල්ගෙන් පදමාලාවගැන විමසීමක්‌ කළේ...
මම පාසල් යන කාලේ... මගේ අයියා පද්මසිරි පැස්‌කුවෙල් ෆොර්චූන් සංගීත කණ්‌ඩායමේ වාදනය කළා... ෆොර්චූන් නායකයා ස්‌ටැන්ලි පීරිස්‌... ඔහුගේ හඬ හරිම මිහිරියි... සංගීත කණ්‌ඩායම සමග ස්‌ටැන්ලි අයියා රන්තරු පායන ගීතය ගායනා කළා... බෑන්ඩ් එකට ගායනා කළත් ඔහු ගීය පටිගත කළේ නැහැ... මේ ගීයට 

මම ඉස්‌සර හරිම ආසයි...
කුඩා රුවල බැඳ තනිව සයුර මැද
ඈත අතීතය දෙස බැලුවේ
කොහේ සිටන් කොයි බට මා යාවිද
මට නම් නෑ වැටහෙන්නේ...
මා සයුර මැද තනි වූ කුඩා රුවල් ඔරුවක්‌ වගේ... මගේ සිත අතීතයට යනවා දෙයියනේ... මහා සාගරයේ තනි වූ ඔරුවක්‌ කොහේ යාවිද... මගේ ජීවිතයත් ඒ වගේ... මට තේරෙන්නේ නෑ... මගේ ජීවිතේ ගමන් කරන්නේ කිනම් ඉසව්වකටද කියලා.... අවසානයේ මට ඇයත් නැති වේවි... ඔබත් නැති වේවි...
මේ ගීතය ගයන්න මම කුඩා කාලේ ඉඳලාම පුරුදු වුණා. අසූ තුනේදී මම මගේ පළමු කැසට්‌ පටය කළා... ස්‌ටැන්ලි අයියාගෙන් මම ඇහුවා මගේ කැසට්‌ එකට මේ ගීය ගයන්නද කියලා... ස්‌ටැන්ලි අයියා කැමැත්තෙන්ම සිංදුව මට දුන්නා... අපි ජෝ නෙත් ශබ්දාගාරයේදී ගීතය පටිගත කළා...
පලා දෙපලු කළ හදවත දැන්නම
කාට එකතු කළ හැක්‌කේ
බලාගන්න සෙනෙහස තව ඔබටයි
මා හද තුළ හැම වේලේ..

මගේ හදවත දැන් වෙන් වෙලා... එක්‌ කොටසක්‌ ඔබ ළඟ හදවතේ අනෙක්‌ කොටස ඇය ළඟ... හදවතේ මේ පලු දෙක එකතු කරනවා නම් කළ හැක්‌කේ කාටද... ඔබටද ඇයටද... මම නම් දන්නේ නැහැ... ඒත් මගේ සෙනෙහස ඔබට පමණයි... හැම අවස්‌ථාවකදීම මගේ හදවතේ ඉන්නේ ඔබම තමයි...
මේ ගීය කීර්ති පැස්‌කුවෙල් ගයන අනෙක්‌ ගීතවලට වඩා වෙනස්‌... ඒ ගායන ශෛලිය... වෙනස්‌ ගීය අසද්දී ඔබට කදිමට වැටහේවි...

අජිත් අලහකෝන් - Sunday Divaina