Pages

Wednesday, November 18, 2015

ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියන් 40,000ක්

ශ්‍රී ලංකාව ද්විත්ව පුරවැසි භාවය ලබා දීමට ආරම්භ කළ දිනයේ පටන් මේ දක්වා 40,000 කට ආසන්න පිරිසකට ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය ලබාදී ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය රජය සමයේ අත්හිටවා තිබූ ද්විත්ව පුරවැසි භාවය ලබාදීම නව රජය යටතේ අරම්භ කෙරුණු අතර 2,000කට ආසන්න පිරිසකට 2015.11.17 දින එම සහතික ලබා දුන්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතින්.

ශ්‍රී ලංකාවේ උපත ලබා එහෙත් විදේශ රටවල පදිංචියට ගොස් එහි පුරවැසි භාවය ලබාගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහෝසි වූ බොහෝ දෙනක් අද අරලිය ගහ මැදුරට පැමිණ සිටියෝය.

ඔස්ට්‍රේලියාවේ කලක් පදිංචිව සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණි නිට්ටඹුවේ පදිංචිව සිටින ඉනෝකා ප්‍රියදර්ශනිට පසුගිය වසර දෙකේදීම ශ්‍රී ලංකාවේ සිටිය හැකිවුයේ විදේශිකයෙකු ලෙසයි.

"වසර දෙකක් වෙනවා ලංකාවට ඇවිල්ලා, විසා අරගෙන හිටියේ, ගොඩක් සන්තෝසයි මේක ලබාදුන්නු එක ගැන, විසා එකෙන් ඉන්නකොට කිසිම අයතිවාසිකම් වත් නැහැ ඡන්ද බලය එහෙම" ඉනෝකා ප්‍රියදර්ශනි පැවසුවාය.

ලන්ඩන් නුවර පදිංචිව සිටින සෙනවි ජයන්ත කුමාර පැවසුවේ තමන් 2009 වසරේ සිට මෙම ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට උත්සාහ කල බවයි.

"2009 වසරේ 2011 වසරේ උත්සාහ කළා මේක ලබාදුන්නේ නැහැ, මෙවර ඒක ලබාදෙනවා කිව්වම මම තමයි මුලින්ම ගිහිල්ල ගත්තේ, මොකද මට ඕනේ ආපහු ලංකාවට ඇවිල්ල වැඩ කරන්න, මොකද මේක අපි ඉපදුන රට අපි ශ්‍රී ලාංකිකයෝ. මේ සඳහා මට රුපියල් ලක්ෂ දෙකහමාරක් වැය වුනා. බිරිඳට 50,000යි, ඒත් මේක ගොඩක් වටිනවා අපිට" ඔහු පැවසීය.

1983 වකවානුවේ ඇතිවූ අමිහිරි සිදුවීම් නිසා රටින් පිටවීමට තීරණය කළ යාපනේ සිටි කුමාරන් තංගරාජා පැවසුවේ වසර 20කට වඩා විදේශ ගතව සිටි තමා නැවත ශ්‍රී ලංකාවට පැමිණ සංවර්ධන කටයුතුවලට දායකවන බවයි.

එමෙන්, මහින්ද රාජපක්ෂ රජය යටතේ ද්විත්ව පුරවැසිභාවය ලබා දීම නවතා දැමීමට එක් ප්‍රධාන හේතුවක් වුයේ එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ පිරිස් මෙය යොදාගෙන නැවත රට තුලට පැමිණිය හැකි බවට රජය දැරූ මතය නිසයි.

ආගමන විගමන පාලක එස් එන් රණසිංහගෙන් මේ පිළිබඳව විමසීමේ දී ඔහු පැවසුවේ ද්විත්ව පුරවැසිභාවය ලබාදෙන්නේ හොඳින් හොයා බලා පමණක් බවයි.