Pages

Saturday, July 27, 2013

මම ගමන් ආපු තනි මිනිහෙක්‌ - දයාසිරි ජයසේකර


දුරකථනයෙන් දයාසිරිව අල්ලා ගන්නට සජිත් උත්සාහ කළත් එය අසාර්ථක විය.අවසානයේ දයාසිරි දුරකථනයෙන් අල්ලා ගැනීමට සජිත්ට හැකිවූයේ රාත්‍රි 12.00 ට පමණය.

"දයා මොකක්‌ද මේ හැම තැනම ලොකුවට යන කතාව.කටකතා ගියාට ඔයා ඉක්‌මන් තීරණයක්‌ එහෙම අරගෙන නෑ නේද?"

"මොකක්‌ ගැනද? "

"ඔයා යන්නෙ නැහැ නේද?"

"නැහැ මචං,මම යන්න තීරණය කරල ඉවරයි."දයාසිරි එක එල්ලේම කියා සිටියේය.

"දයා ඔය තරම් කලබල වෙන්න එපා. ඔයාට පක්‍ෂය දාල යන්න ඕන තරම් හේතු තියෙන බව ඇත්ත.ඒ වුණාට මේක දාල යන එක නෙවෙයි උත්තරය.මෙතනම ඉඳගෙන පක්‍ෂය උඩට ගන්න මාර්ගයක්‌ හොයන්න.... ඉවසන්න පුරුදු වෙන්න මාව ආදර්ශෙට ගන්න" සජිත් කීවේය.

"සජිත්....ඔයා ප්‍රේමදාස මහත්තයගෙ පුතා.ඔයා මෙතන ඉඳන් ඉවසුවට කමක්‌ නෑ. ඔයාට කවද හරි ඉවසීමෙන් සැනසීම ලැබෙනවා. එහෙත් මම ඉවසල තේරුමක්‌ නෑ.මම ගමන් ආපු තනි මිනිහෙක්‌ විතරයි"දයාසිරි කීවේය.

මේ අයුරින් ඇදී ගිය කතාබහ අවසන් වූයේ දෙදෙනාටම ඉන් එහාට කතා කරගන්නට කිසි දෙයක්‌ නොමැති නිසාය. 

දයාසිරි එදින රාත්‍රියේ නිදි වර්ජිතවම කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේදී කිරීම සඳහා විශේෂ ප්‍රකාශයක්‌ සූදානම් කිරීමයි. 

පසුදා පාන්දරම දයාසිරි වෙනදාටත් වඩා ඕනෑකමින් පාර්ලිමේන්තුවට ගියේය.ඔහු පාර්ලිමේන්තුවට යන විට හුඟදෙනෙක්‌ කතාබහ කරමින් සිටින්නේ තමන් ගැන බව ඔහුටතේරුණේ නැත.කෙළින්ම පාර්ලිමේන්තුවේ පුස්‌තකාලයට ගිය දයාසිරි තමන් ඊයේ රෑ ලියාගත් කතාවේ අඩුපාඩු සකසමින් ලිපිගොනුවකට හිස ඔබා ගත්තේය. 

මේ අතර තවත් විශේෂ ප්‍රශ්නයක්‌ සඳහා කරුණු සූදානම් කිරීමට සජිත් ප්‍රේමදාස ද පාර්ලිමේන්තුවට පැමිණියේය.සජිත් පැමිණ වාඩිවූයේ ද දයාසිරි සිටි මේසයේමය. 

"මොකක්‌ද ඔයා ඔය බරට කල්පනා කර කර ලියන ලියුම."

"මම මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශේෂ ප්‍රකාශය සූදානම් කරනවා" දයාසිරි කීවේය. 

"දයා ඔයාට දැන්වත් ඔය අදහස අත්ඇරගන්න බැරිද?" සජිත් ඇසීය.

"නැහැ මම දැන් තීරණයක්‌ අරන් ඉවරයි. මේ විදියට කොන්ද පණ නැතිව විපක්‍ෂයේ ඉන්න බැහැ.ඔයාට නම් ප්‍රශ්නයක්‌ නෑ.ඔයාට කවදාක හරි ඔයාගෙ උරුමය ලැබෙනවා. නමුත් අපිට උරුමයකුත් නෑ."

මේ අතර දයාසිරිට හිතවත් තවත් දෙන්නෙක්‌ ඒ මොහොතේ එතනට පැමිණියහ. විපක්‍ෂ නායක කාර්යාලයේ ඉන්දීවරී මඩුගල්ල හා බුද්ධික පතිරණ පැමිණ ඉතා හැඟුම්බරව දයාසිරි සමඟ කතාබහ කරමින් ඔහුගේ අදහස වෙනස්‌ කිරීමට උත්සාහ කළහ. එහෙත් ලිපිගොනුවේ වැඩ කටයුතු හමාර කළ දයාසිරි නැගිට සජිත්ගෙන් සමුගත්තේ මෙසේ කියමිනි.

"එහෙම නම් අපි සමුගනිමු.මම අද මන්ත්‍රීකමෙන් හා පක්‍ෂයෙන් ඉවත් වෙනවා.මම ආණ්‌ඩු පක්‍ෂයට යනවා.අපිට පුළුවන් නම් යම් දවසක එක අරමුණක්‌ සඳහා එකතු වෙන්න අන්න එදාට අපි නැවත මුණගැහෙමු." එසේ කී දයාසිරි සජිත් ඇතුළු පිරිසගෙන් සමුගෙන යන්නට ගියේය.

බදාදා දහවල් දයාසිරි ආහාර ගත්තේ එක්‌සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් කීපදෙනකු සමඟය.ජෝන් අමරතුංග,ජෝෂප් මයිකල් පෙරේරා ඒ අතර සිටියහ.ඔවුන් ඉතා හැඟුම්බරව කතා කරමින් ආහාර ගත්තා හැරුණු විට වැඩි සාකච්ඡා සංවාදවලට සහභාගි නොවූහ.