Pages

Saturday, July 13, 2013

සතුට නම් කුමක්‌ද? එය ඇත්තේ කොහේද?

සතුට ඇත්තේ කොහේද?

සිතන්නට ඉඩක්,විවේකයක්‌ ලැබෙන සෑම මොහොතකම මම ඒ ප්‍රශ්නය ගැන සිතන්නට වැය කරන ලද කාලය අප්‍රමාණය. එහෙත් සතුට ඇත්තේ කොතැනද,ඒ කෙලෙස ද කියා පැහැදිලි නිරවුල් උත්තරයක්‌ ලබා ගන්නට මට නොහැකි විය.

මම ඊළඟට ඒ ප්‍රශ්නය යොමු කළේ මගේ ළෙන්ගතුම මිතුරන්ටය.ඒ සමහරුන්ට ද සතුට පිළිබඳ ඇත්තේ යහපත් හැඟීමක්‌ අභිලාශයක්, අපේක්‍ෂාවක්‌ ම පමණි.එය කෙබඳු ද කියා කීවොත් ඇත්තේ කොතැනද කියා කියන්නට බොහෝ දෙනෙකුට නොහැකිය.

ජීවිතය ගැන දාර්ශනිකව සිතා ආගමිකව බලන සමහරු සතුට ඇත්තේ 'නිර්වාණය' තුළ බව මා හා කීහ.

එය තාර්කික උත්තරයක්‌ බව සැබැය.එහෙත් සතුට නිර්වාණය තුළ ඇත්නම් එය ලබන්නේ විඳින්නේ කවරෙක්‌ද යන ප්‍රශ්නය මා තුළ මතුවිය.සතුටක්‌ කියා දෙයක්‌ වේ නම් එය ලබන්නකු විඳින්නකු සිටිය යුතු බැවින් සැබැවින්ම සතුට ඇත්තේ නිර්වාණයට මෙපිට තැනක බව මම අදහමි.

සතුට යනු අපේක්‍ෂාවන් අභිලාශයන් හා ජීවිතයේ ඉලක්‌ක ජය ගත් පසු යමෙකුට ලැබෙන ආසන්න මනෝභාවය කියා විග්‍රහ කරන අය ද මාගේ මිතුරන් අතර සිටියහ.කෙටියෙන් කිවහොත් බලාපොරොත්තුවක්‌ හෝ අපේක්‍ෂාවක්‌ ඉටු වූ පසු ලැබෙන මානසික තත්ත්වය සතුටයි.

එහෙත් ඊට වඩා එහා ගොස්‌ සතුට ගැන විග්‍රහ කරන අය ද ඒ අතර නොසිටියාම නොවේ.ඔවුන්ගේ උත්තරය වූයේ ජීවිතයේ අල්පේච්ඡතාවය සරල බව,අවශ්‍යතා සීමිත බව,නිවහල් බව හා නිදහස්‌ බව කෙළවර ලැබෙන මානසික උත්තේජනය 'සතුට' වන බවකි. සැබවින්ම සතුට තුළ යමක්‌ හා බැඳීම් හා ගැටගැසීම් තිබිය නොහැකිය. සතුටට පසුව ඉලක්‌ක හෝ වගකීම්  තිබිය නොහැකිය.සතුට විය යුත්තේ ඒ කිසිවක්‌ නැති නිදහස්‌ දෙයක්‌ ම බව මම විශ්වාස කරමි.

සතුට ගැන සොය සොයා ඉන්නා මට මගේ මිතුරෙක්‌ කලකට පෙර එවූ ඊ - මේල් පණිවිඩයක තිබූ පුංචි කතාන්දරයක්‌ මතක්‌ විය. සැබැවින්ම ජීවිතේ සතුට හා නිදහස ගැන තේරුම් ගන්නට ඒ ඊමේල් පණිවුඩය හරහා පැමිණි කතාන්දරයේ කෙළවර වූ නිවේදනය හරි වැදගත් ය. මා ඒ නිසා ඒ පණිවුඩය මෙසේ ඔබ ඉදිරියේ තබන්නට කල්පනා කළෙමි. කතාන්දරය එහි වූ පරිද්දෙන් ම ඒ වචන වලින්ම කියන්නට අද මට මතක නැති බැවින් එහි ඡායානුවාදයක්‌ මෙසේ ඔබ හමුවේ තැබීම සුදුසු යෑයි මම සිතමි.

ඒ කතාවට පසුබිම් වන්නේ උතුරු ඇමරිකානු හෝ යුරෝපියානු රටක විලක්‌ අසබඩ ජනාකීර්ණ නොවූ පෙදෙසක එක්‌ පුංචි නගරයකි. විල්තෙර පුංචි හුදෙකලා නිවසක තනිකඩව වෙසෙන ධීවරයෙක්‌ එහි කතා නායකයා ය.

ධීවරයා සරල ගති පැවතුම් ඇත්තෙකි. සීමිත අපේක්‍ෂා ඇත්තෙකි. අතමිට මුදල් හිඟ වූ විට තමන්ටම අයත් පුංචි ඔරුවේ නැඟ විල මැදට පැද යන ඔහු එහි වූ අන් ධීවරයන්ට වඩා සූක්‍ෂම හා දක්‍ෂ ලෙස මසුන් හත්අට දෙනෙක්‌ අල්ලාගෙන ඉතා ඉක්‌මනින් යළි විල් තෙරට පැමිණෙයි.අල්ලාගත් මසුන් කිහිපදෙනා රැගෙන තම පුංචි වාහනයේ නැග නගරයට යන ඔහු ඒ මසුන් විවෘත කඩපිලක තබා විකුණයි. අලුත් බැවිනුත්. වඩාත් ලොකු බැවිනුත් ලාභදායක බැවිනුත් ඔහුගේ මාළු ඉතා ඉක්‌මනින් අලෙවි වෙයි.

ඒ අයුරින් සොයා ගන්නා මුදලින් තමන්ට අවශ්‍ය ආහාරපාන, මත්පැන් හා අනෙකුත් කළමනා මිලට ගන්නා අප කතානායකයා යළි නිවසට පැමිණෙයි.

ඔහුගේ දින චර්යාව හරි සරලය. ඔහුගේ නිවසේ වැඩ කටයුතු ඔහුට කරදරයක්‌ නැත. අවශ්‍ය ආහාර ඔහුම පිස ගනියි. ගේ දොර හොඳින් අස්‌කර පිරිසිදුව තබා ගනී. ඔහුගේ ඇඳුම් ඔහුම සෝදා මැද ගනී.

හවසට විල් තෙර වූ ඔහුගේ නිවස පිටුපසට පෙනෙන දර්ශනය මනරම් ය. තෙරක්‌ නොපෙනෙන විල් දියේ ඈත කෙළවරින් සැඳෑ හිරු බැස යන විට අහසේ හා විල් දියේ මවනා පාට පාට වර්ණ රටා සිත්තරුන් නෙත් සිත් වසඟ කරවයි.

එවන් විටෙක විල්තෙරට වී විලෙන් අල්ලාගත් මත්ස්‍යයකු පුළුස්‌සා ගන්නා ඔහු මත්පැන් වීදුරුවක රස බලමින් විල්තෙර ලෑලි බංකුවක්‌ මත වාඩි වී ගිටාරය වයමින් ගීයක්‌ මුමුණයි.

ඒ දින චර්යාව කෙළවර කර ඔහු නැවත මාළු බාන්නට විලට යන්නේ මාළු විකුණා හරිහම්බ කර ගත් මුදල් හදල් සියල්ල අහවර වූ විට පමණි.

දින දෙකකට තුනකට වරක්‌ පමණක්‌ කඩපිලට අලුත් මාළු රැගෙන එන මේ අපූරු ධීවරයාගෙන් මාළුÊගන්නට පුරුදු වූ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්‌ ද ඒ නගරයේ සිටියේය. ඔහු දිනක්‌ පැමිණ අප කතානායකයාගෙන් මාළුත් මිලදී ගන්නා අතර ඔහු හා කතාවට වැටුණේය. දෙදෙනා අතර දෙබස මෙසේය.

"ඔබ දක්‍ෂ ධීවරයෙක්‌. හොඳ අලුත් මාළු අල්ලාගෙන එනවා. ඒත් ඔබ මේ කර්මාන්තය ගැන උනන්දු නැහැ. ඔබ උනන්දු නම් ඔබට පුළුවන් හොඳට දියුණු වෙන්න."

"දියුණු වෙනවා කියන්නේ........" ධීවරයා ඇසීය..

"මම ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්‌. මට පුළුවන් ඔබට උදව් කරන්න. ඔබට පුළුවන් ඔබ ඔය කරන ධීවර රැකියාව කර්මාන්තයක්‌, ව්‍යාපාරයක්‌ විදිහට වැඩිදියුණු කරන්න. මට පුළුවන් ඔබට උදව් වෙන්න."

"ඒ කොහොමද?" ධීවරයා ඇසීය.

"ඕන්නම් ඔබට පුළුවන් අපේ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා කර්මාන්ත කළමනාකරණය පිළිබඳ පාඨමාලාවක්‌ හදාරලා උපාධියක්‌ ලබා ගන්න."

"ඊට පස්‌සේ......." ධීවරයා ඇසීය.

"ඔබට පුළුවන් දිනපතාම මසුන් අල්ලන්න ගිහින් මාළු අල්ලාගෙන ඇවිත් හොඳ ආදායමක්‌ ලබා ගන්න."

"ඊට පස්‌සේ...... " ධීවරයා ඇසීය.

"ඊට පස්‌සේ ඔබට පුළුවන් හොඳ යාන්ත්‍රික පහසුකම් තියෙන අලුත් බෝට්‌ටුවක්‌ මිලදී ගෙන වැඩිපුර මාළු අල්ලාගෙන එන්න."

"ඊට පස්‌සේ....." ධීවරයා ඇසීය.

"ඊට පස්‌සේ ඔබ තව බෝට්‌ටුවක්‌ මිලදී ගන්නවා. තව ගෝලයෝ දෙන්නෙක්‌ අරන් මාළුÊඇල්ලීමේ ව්‍යාපාරය තව තවත් දියුණු කරනවා."

"ඊට පස්‌සේ....." ධීවරයා ඇසීය.

"එතකොට ඔබ තමයි මේ ගමේ වැඩිපුරම මාළු අල්ලන ලොකුම ධීවරයා. ඊට පස්‌සේ ඔබ නගරයේ ලොකු මාළු කඩයක්‌ දානවා.."

"ඊට පස්‌සේ....." ධීවරයා ඇසීය.

"ඔව්. ඔබට පුළුවන් ඊළඟට අනෙක්‌ ධීවරයො අල්ලන මාළුත් මිලට අරන් ලොකු ව්‍යාපාරයක්‌ පටන් ගන්න. ඔබේ මාළු රට පුරාම බෙදා හරින්න ශීතකරණ සහිත වාහන කිහිපයක්‌ ගන්නත් ඔබට පුළුවන්."

"ඊට පස්‌සේ....." ධීවරයා ඇසීය.

"එතකොට ඔබ අල්ලන මාළු ප්‍රමාණය මදි. ඔබට පුළුවන් බෝට්‌ටු විකුණල දාලා අංග සම්පූර්ණ පහසුකම් තියෙන ලොකු ට්‍රොaලර් බෝට්‌ටු දෙක තුනක්‌ මිලට අරන් විලේ ඈතට ඈතට ගිහින් මාළු අල්ලන් එන්න. එතකොට ඔබ තමයි මේ පැත්තටම ඉන්න ලොකුම පොහොසතා.

"හොඳයි. ඊට පස්‌සේ....." ධීවරයා ඇසීය.

ඇයි එතකොට ඔබට පුළුවන්නේ ඔබ අල්ලන මාළු වලින් මේ පළාතේ සාඩින් කම්හලක්‌ අරින්න. ඔබේ අලුත් මාළු ලොරි වලින් රට පුරා බෙදාහරින අතර අමතර මාළු ටික ටින් මාළු බවට පත් කරනවා. මේ විලේ මාළු ටින් කරන්න කදිමයි."

"ඊට පස්‌සේ....."

"ඔව්....... ඉතින්. එහෙම දියුණු වුණොත් ඔබට පුළුවන් රටේ ලොකුම ධනවතා වෙලා ජාත්‍යන්තර වෙළෙඳපොළටත් මාළු යවන්න. ඕන්නම් ලොකු නැව් අරගෙන මාළුÊඅල්ලලා ටින් මාළු µeක්‌ටරි දෙක තුනක්‌ වුණත් දමල ලෝකේ හොඳම ටින් මාළු නිපදවන්න."

"ඊට පස්‌සේ....."

"ඊට පස්‌සේ ඔබට පුළුවන් රටේ ලොකුම ධනවතුන් අතර ඔබේ නම ලියවගෙන ලෝකයේ වැජඹෙන්න."

"ඊට පස්‌සේ....." ධීවරයා ඇසීය.

"ඊට පස්‌සේ ඔබට පුළුවන් ලෝකයේ රට රටවල ඇවිඳින්න. විනෝද වෙන්න. අවශ්‍ය කෑම බීම වාහන සැප සම්පත් යස ඉසුරු ලබාගන්න."

"ඊට පස්‌සේ....." ධීවරයා තවදුරටත් ප්‍රශ්න ඇසීය.

"ඊට පස්‌සේ ඉතින් හම්බ කරලා ඇතිනේ. ජීවිතේ එතනින් පස්‌සේ විවේකයෙන් සතුටින් ගත කරන්න ඔබට ඇහැකිනේ."

"ඒ කියන්නේ."

ඒ කියන්නෙද?....... ඒ කියන්නේ ඔබට පුළුවන් ලොකු වත්තක්‌ අරගෙන දැසි දාසයෝ තියාගෙන ලොකු මාලිගාවක්‌ හදල සතුටින් නිදහසින් කාල බීල පාඩුවේ ජීවත් වෙන්න.

"ඊට පස්‌සේ....." ධීවරයා තවදුරටත් ඇසීය.

"ඊට පස්‌සේ....... ඊට පස්‌සේ ඕනම නම් අර පේනවා වගේ මේ විල අයිනේ ඉඩමක්‌ අරන්, අර වගේ පුංචි ලෑලි ගෙයක්‌ හදාගෙන නිදහසේ ජීවත් වෙන්න පුළුවන්නේ. ඕනම නම් ඉර බැහැගෙන යන හවසක ඒ ගෙදර පිටිපස්‌සේ අර පේන ලෑලි බංකුව උඩ වාඩිවෙලා මධුවිතක්‌ තොල ගාමින් ගිටාරයත් වය වය සිංදුවක්‌ කියන එක මොන තරම් සතුටක්‌ ද? ඉර බහිනකොට ඒ පැත්ත මොන තරම් ලස්‌සනද? කැමැති නැද්ද ඔබ?"

"කැමතියි........ මහත්මයා දන්නවද ඒ පේන ගෙදර කාගෙද කියලා. ඒ පේන ගේ මගේ. අදටත් මම හවසට හවසට ගිටාරයත් අරන් අර ලෑලි බංකුවේ වාඩිවෙලා මධු විතක්‌ තොල ගාලා පුංචි සිංදුවක්‌ කියනවා."

මහාචාර්යවරයා ධීවරයාගෙන් සමුගෙන පොළොවට බර අඩි තබමින් කල්පනාවක නිමග්නව යන්නට ගියේය.

Sunday Divaina  - බුලිත ප්‍රදීප් කුමාර