Pages

Sunday, February 10, 2013

පරමාදර්ශී ප්‍රේමය තවම ඉතිරිව තිබේ


(පෙම්වතුනි, වැලන්ටයින් වන්දනාවට පෙර මෙයත් කියවන්න)

මම ඉතාලියේ මිචෙන්සා නගරයේ වාසය කළ දිනවල හඳුනාගත් වෙන්නප්පුව ප්‍රදේශයේ මිතුරකු විය. යහළු මිත්‍රයින්ට බෙහෙවින් හිතවත් වූ මෙම මිතුරාගේ එක්තරා විශේෂත්වයක් වූයේ ඔහු කාන්තා ඇසුරට දැක්වූ අකැමැත්තයි. කිහිප වතාවක්ම මේ පිළිබඳ විමසුව ද සිනාසීම හැරුණු විට ඔහුගෙන් පිළිතුරක් නොලදිමි. 
කෙසේ වෙතත් දැනට වසර දෙකකට පමණ පෙර මිචෙන්සා නගරය අතහැර පදිංචිය පිණිස අප නොවාරා නගරයට පැමිණියෙමු. 
එදා මෙදා කාලය තුළ දිනපතා ඔහු දුරකතනයෙන් මා හා සම්බන්ධතා පැවැත්වීය. දැනට මාසයකට පමණ පෙර ඔහු මා ඇමතුවේ විශේෂ කරුණක් සඳහාය. “අයියේ (මට වඩා වසර තිහකටත් වඩා ඔහු වයසින් බාල වුවද ඔහු විසින් මා ඇමතුවේ අයියා යනුවෙනි) ලබන සඳුදා හවස 3ට විතර මාව හමුවෙන්න පුළුවන්ද?”
“පුළුවනි මොකක්ද හදිසිය” මම විමසීමි.
“අයියෙ ඔයාල මතෛක් කල් මගෙන් බලා‍පොරොත්තු වුණු මගේ ජීවිත කතාව ඔයා එක්ක මට කියන්න ඕනෑ. ලබන බදාදා මම ලංකාවට යනවා. ආපහු එන්නෙ නෑ” ඔහු එසේ පැවැසීය.
“හරි මම ඔයාව මුණගැහෙන්න එන්නම්” මම ‍පොරොන්දු වුණෙමි.
නියමිත පරිදි මිචෙන්සා නගරයේ මොන්තෙබේරිකෝ පල්ලිය ළඟදී මගේ හිතවතා මුණගැසුණේ ඔහුගේ කතාව කුමක් විය යුතුදැයි සිතමිනි.
පල්ලිය ළඟ බාර් එකට ඇතුළු වී කිරි කෝපි දෙකක් පානය කිරීමෙන් පසුව ඔහු කලිසම් සාක්කුවෙන් ලිපියක් රැගෙන මා අත තැබිය. මම ලිපිය කියවන්නට පටන් ගතිමි. එය ඔහුගේ නැගණිය විසින් එවා තිබුණක් විය.
“අයියේ වසුන්දරා, මෙහෙණින් වහන්සේ කෙනෙක් වුණා. ඊට ඉස්සෙල්ලා මාව මුණ ගැසෙන්නට ආපු ඇය එයාගෙ අතේ කරේ තිබුණ ඔක්කොම රත්තරන් බඩු ගලවලා මගේ අතේ තිබ්බා. නංගි මට දැන් මේවයින් වැඩක් නෑ. මේවා අතේ දාගෙන මෙච්චර කල් මම ඔයාලගේ අයියා වෙනුවෙන් ඇඬුවා. දැන් අඬන්න තරම් කඳුළු මගේ ඇස්වල ඉතිරිවෙලා නෑ. අයියට කියලා යවන්න මම එයාට සුබ පැතුවා කියලා. මේක අපේ නොලැබිම. මමවත් ඔයාගේ අයියවත් කරපු වරදක් නොවෙයි අපේම කරුමය. මම අනිද්දට මෙහෙණින් වහන්සේ කෙනෙක් වෙනවා. ඔයාල කතෝලික ආගමේ වුණාට කමක් නෑ ඒ උත්සවයට සහභාගි වෙන්න. ඇය එසේ කියමින් අම්මගේ කකුල් දෙක අල්ලලා වැඳලා පිටවෙලා ගියා”
වසුන්දරා කියපු විදියට අම්මයි මමයි එයාලගෙ ගමට ගියා. එතකොට ඇය සිවුරු කරේ දාගෙනයි හිටියේ. මට ආපු දුක ඉවසන්න බැරිව ගියා. මම ඇයගේ දෙපා බදාගෙන වැන්දද ඇයගේ කකුල් දෙක මගේ කඳුළුවලින් හේදුව ද කියලා කියන්න මම දන්නේ නෑ. විනාඩි 15කට විතර පස්සේ ඒ මෙහෙණින් වහන්සේගේ අතක් මගේ ඔළුවේ ගෑවුණාම මම හිස ඔසවා බැලුවා. ඒ ඇස් දෙකින් හා මුවින් ලස්සන හිනාවක් මම දැක්කා.”
“ආපහු එන්නට පවා නොසිතුණත් අම්මයි මමයි ආපහු ආවේ කඳුළු සහිත දෙනෙත්වලින් යුතුවයි.”
“ඉතින් අයියේ දැන් ඔයා ඔහෙටවෙලා ඉන්න එකේ තේරුමක් නෑ. පල්ලියේ ෆාදරුත් ගිය ඉරිදා ඔයා ගැන මගෙන් ඇහුවා. ඔයා ආපහු එන්න, ඒ ඇවිත් ඔයා ගන්න තීරණයක් ගන්න.” මගේ මිතුරාගේ සොයුරිය විසින් තම ලිපිය එසේ අවසන් කොට තිබුණි.
දැන් මට මේ ලිපිය මහත් ප්‍රහේලිකාවකි.
“ඉතින් ලයනල් මොකක්ද “මේ කතාව“ ඇයි වසුන්දරාව දාලා ඔයා මෙහේ ආවේ. ඇයි වසුන්දරා මෙහෙණි සස්නට ඇතුළත් වුණේ”
මම කුතුහලය නිවා ගන්නට උත්සාහ කළෙමි.
“ඔව් අයියේ ඔයාට හංගපු ඒ කතාව, මම දැන් කියන්නම්. මටත් ලස්සන ජීවිතයක් තිබුණා. වසුන්දරා මුණගැහුණට පස්සේ ඒ ජීවිතය තවත් ලස්සන වුණා.”
අපි මුණගැහුණ හැම මොහොතකම ඉදිරි අනාගතය ගැන සැලසුම් සකස් කෙරුවා. මේ විදියට ටික කාලයක් ගත වෙද්දී මට ඇති වුණ ශාරීරික අපහසුතාවයකට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල් ගත වුණා. එහිදී මාව පරීක්ෂා කළ වෛද්‍යවරු මට ශල්‍යකර්මයක් කළ යුතු බව තීරණය කළා. ඒත් ශල්‍යකර්මය කුමක් දැයි මා දැන සිටියේ නෑ. මගේ පියාත් මවත් වෛද්‍යවරු සමග කතාබහ කර තිබුණා. මගේ පියා මේ ශල්‍යකර්මයට තදින්ම විරුද්ධ වුණා. ඒත් මගේ මාමා කෙනෙක් ඉදිරිපත් වී මෙම ශල්‍යකර්මය කළ යුතුම යැයි තර්ක කළා.”
“අවසානයේ මගේ පියාගේ ද අකැමැත්තෙන් මාව ශල්‍යකර්මයට භාජනය කළා. නැවත සිහිය ආවාට පසුවයි මම දැන ගත්තේ මගේ ලිංගේන්ද්‍රියෙන් තුන් කාලක් පමණ කපා දමා ඇති බව. පිළිකාවක් ඇතැයි යන වෛද්‍ය නිගමනය අනුව කළ මේ ශල්‍යකර්මය මගේ මුළු ජීවිතයම විනාශ කළා. කෙසේ වෙතත් පසුව දැන ගත් පරිදි පිළිකා ෙශෙලයක් පවා නැතිවයි වෛද්‍යවරු මේ තීරණය ගෙන ඇත්තේ.”
“ මගේ වාසනාවට වෘෂණ කෝෂවලට වෛද්‍යවරු අත තියලා නෑ. එහෙම කළා නම් අද මට ජීවත් වෙන්න වෙන්නෙ නපුංසකයෙක් ලෙසටයි.”
“මේ සිද්ධියෙන් පස්සෙ මට වසුන්දරාගේ මුහුණ බලාගෙන කතා කරන්නවත් ධෛර්යයක් නැතිව ගියා.
“කෙසේ වෙතත් මට සිදුවී ඇති ඒ අභාග්‍ය සම්පන්න සිද්ධිය ඇයට ඒ වන විටත් මගේ මවගෙන් දැන ගන්නට ලැබි තිබුණා.”
තම පෙම්වතාට මෙවන් තත්ත්වයක් ඇති වූ විට බොහෝ තරුණියන් විසින් ගනුලබන තීරණයට වඩා වෙනස් තීරණයක් ඇය ගත්තා.
“කමක් නෑ අපි දෙන්නා සදාකල්ම මේ විදියට ජීවත් වෙමු” ඇය ස්ථිර ස්වරයෙන් පැවැසුවා. ඒත් ඇගේ ජීවිතය අඳුරේ හෙළන්න මම කැමති වුණේ නෑ. ඒ දෙයට හිතහදා ගන්න මට බැරි වුණා.
මාස කිහිපයක වෛද්‍ය ප්‍රතිකාර මගින් මගේ තුවාල සුවපත් වුණා. ඇගේ ජීවිතයෙන් මා අයින් වීමෙන් පසුව ඇය ටික දිනක් අඬා දොඬා පසුව ඇගේ තීරණය වෙනස් කර ගනී යැයි කියා මා සිතුවා. ඒත් සිදුවුණේ වෙනෙකක්.”
“කෙසේ වෙතත් ඇයට ලිපියක් යැවීමටවත් මා උනන්දු නොවුණේ ඇගේ ජීවිතය සකස්කර ගැනීමට ඉඩදිය යුතු බැවිනි. මගේ දුරකතන අංකය පවා ඇයට නොදෙන්නැයි මම නංගීගෙන් ඉල්ලා සිටියෙමි.
දැන් ඉතින් වෙන්න ඕන දේ වෙලා ඉවරයි. මම අනිද්දා ලංකාවට යනවා. ඊට පස්සේ පල්ලියේ පූජක අවසරය ලබාගෙන වසුන්දරා මෙහෙණින් වහන්සේ දකින්න යනවා.
මතෛක් කල් මගේ කතාව නොදැන හරි මට සහෝදරත්වයෙන් සැලකූ සියලු දෙනාට ස්තූතියි”
ඔහු කතාව අවසන් කළා. හිත හොඳ මිනිහෙක්ගේ වෙන්වීම දරාගත නොහැකි වුණත් මම ඔහුට කඳුළු පිරි දෙනෙතින් යුතුව සමුදුන්නා.

හැරල්ඩ් ක්වින්ටස් ගෝමස් - Sunday Lakbima