
කැළි කසළ වලින් නොනැවතී නැගුණ දුඟදත්, කසළ රාජධානියේ ආදිපාදවරුන් බවට පත්වූ බල්ලන්, බළලූන්, කාක්කන්ටත් හැරෙන්නට ඒ මුඩු බිමේ අයිතිය එක් විටෙක තිබුණේ හොර මගඩින්ටය.
ඒ මීට හත් අට මසකට පෙර ඉතිහාසයේය.
හිස් අවකාශයක් නොමැති නුගේගොඩ නගරයට පියමනින ඔබට, එම භූමියේදී ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුව සකස් කළ නාගරික තෙත් බිමක අසිරිය විඳිය හැකි වේ යැයි මොහොතකටවත් සිතුවේද?

අහස සිඹින ගොඩනැගිලි, මැස්සෙකුටවත් ඇතුළු විය නොහැකි පරිදි ඉදිවුණ තාප්පවලින් වටවුණ නළා ශබ්දයෙන්, වාහන දුමෙන් වැසීගිය නුගේගොඩ නාගරික පරිසරයේ ගොඩනැගුණ නාගරික තෙත් බිම් උද්‍යානයට අපි පිය නැගුවෙමු.
ඇහැළ, කරඳ, කොබෝලීල, මූණ මල්, මුරුත, කුඹුක්, දිය නා ගොඩපර, කරඳ එතෙකට නුග ගස් වලින් හමා ආ සුළඟ ගතට ගෙන දුන්නේ අමුතුම සුවයකි.
දම්, ඕවිටිය, හීන් බෝවිටියා, චෙරි වර්ග, ඇඹුල් පේර, නාරං, තණ බිමේ ඇවිද යන විට නෙතට ගැටුණේ අවිවේකී නගරයේ විවේකීබාවය සිතට එක් කරමිනි.
සමනළුන්, කුරුල්ලන්, මී මැස්සන්, බත්කූරන් ප‍්‍රියකරනා, නීල කොබෙයියන් නිදහසේ පරිසරය තුළ පිළිබිඹු වූවේ අන් කිසිවක් නොව ස්වභාව සෞන්දර්යයේ චමත්කාරයය.


තෙත් බිම් උද්‍යානයේදී අප ඇස ගැටුණු තවත් සුවිශේෂීම කරුණක් වූයේ ජාතික විදුලිබල පද්ධතියෙන් සීමිත විදුලි උත්පාදනයක් පමණක් ලබා ඉතිරි සියලූ විදුලි උත්පාදන අවශ්‍යතාවන්, සූර්ය බලශක්තිය ප‍්‍රයෝජනයට ගැනීමය.

එම නිසාම විදුලි වෙනුවෙනුත්, ජලය වෙනුවෙනුත් වැයවෙන මාසික බිල්පත් මිල සැලකිය යුතු ප‍්‍රමාණයක් අඩුකර ගත හැකි වී ඇත.
අනෙක් ප‍්‍රධානම කරුණක් වනුයේ ආරම්භයේ සිට මේ දක්වාම උද්‍යානයේ සියලූ ශ‍්‍රමදායකත්වය යුද හමුදාවෙන්, නාවික හමුදාවෙන්, සිවිල් ආරක්ෂක බලකායෙන් නිලධාරීන්ගේ ශ‍්‍රම දායකත්වයෙන් සිදුවීම නිසා ඇස්තමේන්තු ගත වියදමින් සියයට තිහකට වැඩි මුදලක් ඉතිරිකර ගත හැකිව තිබේ. මෙය මුදලින් ගණන් බැලීමේදී රුපියල් මිලියන ගණනකි.
ආරක්ෂක සහ නාගරික සංවර්ධන ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව කුඩා නගර සංවර්ධන ව්‍යාපෘතියේ එක් අදියරයක් ලෙසට නුගේගොඩ නගරය තුළ තෙත් බිම් උද්‍යානයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ වූයේ මීට මාස හත අටකට පෙරාතුවය.
ආරක්ෂක අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරියෙත්, පහත් බිම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩලයෙත්, යුද හමුදාවෙත්, නාවික හමුදාවෙත් සහ සිවිල් ආරක්ෂක බලකායෙත් මූලික දායකත්වයෙන් ගොඩනැගුණු තෙත් බිම් උද්‍යානය, ලංකාව තුළ ඉදිවූ පළමු නාගරික තෙත් බිම් උද්‍යානයය.
භූමි අයිතියෙන් අක්කර දහඅටක (18) වපසරියක් ඇති නාගරික තෙත් බිම් උද්‍යානය අහස සිඹින තාප්ප වලින් වටවුණ අවිවේකී නගරයේදී අපහසුවකින් තොරව පිරිසිදු වාතාශ‍්‍රය ලැබිය හැකි තෝ තැන්නකි.
ශාරීරික සුවතාවය වෙනුවෙන් ඇවිදීමට ඇති මං තීරුව ගතට මෙන්ම සිතට සුවය ගෙන දුන්නේ අවට පරිසරයේ චමත්කාරය නිසාම විය හැක.
හිස් මුඩු බිමක් ජාත්‍යන්තර මට්ටමේ උද්‍යානයක් ලෙස ගොඩනැගීමේ භාරධූර කාර්යය ඉටුව ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතිභාර ගෘහ නිර්මාණ ශිල්පී වරලත් වාස්තු විද්‍යාඥ, වරලත් භූ දර්ශන හා ගෘහ නිර්මාණ ශිල්පිනි එම්.ජී. තුෂාරි කාරියවසම් අතිනි.
ඇය අක්කර දහඅටක භූමි වපසරියක් මිල කළ නොහැකි අනාගත ආයෝජනයක් බවට පත් කර ඇත්තේ සියලූ ආයතන ප‍්‍රධානීන්ගේ මූලිකත්වයෙනි.
උද්‍යානය පුරා ඇති සියලූ ගස්, වැල්, මල්, පළතුරු ශරීරයට අහිතවත් නොවන ආකාරයෙන්, පරිසරයට හිතකාමී ලෙස තෝරාගෙන තිබේ.
දරුවන්ට තෘප්තිමත්ව දුව පැන සෙල්ලම් කර පළතුරු ගස්වලින් පල නෙලා ගැනීමටත් උද්‍යානය තුළදී ඉඩ හසර සලසා තිබේ.
මීට මාස කිහිපයකට පෙර ”හීන් ඇළ” යනුවෙන් දුඟඳ හමමින් තිබූ එම ඇළ මාර්ගය ද නාගරික තෙත් බිම් උද්‍යානයට ගෙන දී ඇත්තේ කාන්තාවකට ආභරණයක් පැළඳුවා සේ අලංකාරයකි.
දේශයට නූතනත්වයද,
ජාතියට ආරෝග්‍යයද,
පරිසරයට චමත්කාරය ද කැන්දු අසිරිමත් මහින්ද චින්තනයේ තවත් එක් සදාතනික සිහිවටනයක් ලෙස අභිමානවත් නුගේගොඩ පුරවරයට කැන්දු, නාගරික තෙත්බිම් උද්‍යානය ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් 2013 ජනවාරි මස 12 වැනි දින පුරවැසි අයිතියට පත් වූ බව ඉතිහාසයේ පිටු අතර රනින් සටහන් වූ පරිච්ඡේදයකි.
එම පරිඡේදය අපි මෙලෙසින් සටහන් තැබූවෙමු.
Courtesy - Lankadeepa සටහන - අසුන්තා එදිරිසූරිය / ඡායාරූපය - ඇලෙක්සැන්ඩර් බාලසූරිය.