Pages

Tuesday, November 13, 2012

අද හෙටම ලෝක විනාශය වෙයි ද?


නාසා ආයතනය මොකද කියන්නේ ? 

මේ දවස්වල ලෝක කලදසාව තරමක් දුරට නරක අතට හැරී ඇත. කැනඩාවට ආසන්න මුහුදේ ඇතිවුණු 7.7ක් තරම් ප්‍රබල භූ කම්පනය නිසා සුනාමියක් ඇතිවන්නට ගියේය. සුනාමි තත්ත්වයක් ඇතිවුණා නම් කැනඩාව , අමෙරිකාව සහ තවත් රාජ්‍ය කිහිපයකටම බරපතළ හානි සිදුවන්නට ඉඩ තිබිණි. මූදු රළ වෙනදාට වඩා ඉහළ නඟිමින් සුනාමියකට මාන බලබලා හිටියත් අනූනවයෙන් එයින් ගැලවී සන්සුන් වූයේය. ඊළඟට අමෙරිකාව දෙවනත් කරමින් සැන්ඩි පැමිණියේය. අමෙරිකා ඩොලර් බිලියන 50ක්, වියහියදම් කළත්, සැන්ඩි කළ විපත්තියෙන් ගොඩඑන්නට බැරි බව අමෙරිකාව දැන් කියයි. සොන් ටින් (ඵධද ඊඪදඩ) වියට්නාමය, පිලිපීනය, චීනය සහ සෙසු ගිනිකොණ දිග ආසියාතික රටවල සංචාරය කරන්නට පටන් ගත්තේය. යන එන තැනක් තීරණය කරගන්නට බැරිව රස්තියාදුවෙමින් සිටි නීලන් අවසානයේදී ඉන්දියාව දෙසට බර වූයේය. 

තමිල්නාඩුවටත් ආන්ද්‍රා ප්‍රදේශ්වලටත් උහුලන්නට බැරි විනාශයක් කරගෙන නීලන් එසැණින් පල්ලම් බැස්සේය. කලදසාව නරක්වුණු ලෝකය විනාශ මුඛයට ඇදවැටෙමින් තිබේදැයි කියා සමහරු ප්‍රශ්න කරති. ඇතැම්හු බිය සංකා මෙන්ම කුතුහලය පිරි හැඟීමෙන් “ අනේ අපොයි” කියති. 

2012 දෙසැම්බර් මස 21 වැනිදා හෝ එයට ආසන්න දිනකදී ලෝකය විනාශ වී යනු ඇති බවට මතයක් ගොඩනැඟුණේ . 2003 මැයි මාසයේ සිට ය. සුමේරියන්වරුන් හොඳින් දැන හැඳිනගෙන සිටි නිබිරුනම් වල්ගා තරුව පිළිබඳ කතාව ඊට කදිම පරිසරයක් සැකසුවේය. නිබිරු ඇවිත් පෘථිවියේ හැපේ යැයි කියා සමහරු කල්පනා කළහ. මේ මතය සාමාන්‍යය මිනිසුන් දක්වා ඇදී යන්නට වැඩි කාලයක් ගියේ නැත. ලෝකයට ඒ විනාශය ළඟාවන දිනයක් ද තිබිය යුතුයි. 

ඊට හොඳ කාලයක් උදාවෙමින් තිබිණි. මායාවරුන්ගේ දින දර්ශනයද අවසන් වෙමින් යයි. ඊළඟට එළැඹෙන්නේ අලුත් කාලපරිච්ඡේදයකි. අලුත් කාලපරිච්ඡේදය ඇතිවන්නේ පෘථිවිය විනාශ වීමෙනැයි කියන්නට කාටවත්ම වැඩි කලක් ගතවුනේ නැත. ඒ අනුව ලෝක විනාශය සිදුවිය යුතු වන්නේ. 2012 දෙසැම්බර් 21 දා හෝ එයට ආසන්න දිනයකදීය. මේ කතාව දික්ගැස්සී ගොස් ඈත දුෂ්කර ගම් දනව්වල සිටින මිනිසුන්ගේ කනටත් වැටුණි. දැන් එය හැම කෙනකුගේ ම ජනජීවිතයට බාධා පමුණුවන මානසික වධයක් වී තිබේ. ලෝකවාසීන්ට ලෝකවදයක් වුණු ලෝක විනාශය දෙසට දැන් අප කෙමෙන් කෙමෙන් ගමන් කරමින් සිටින්නෙමු. තැනක් නොතැනක් නැතිව කටුගසා ඉගිල්ලුන ලෝක විනාශ කතාව ඉදින්, ඉදිරි මාසයේදී යථාර්ථයක් විය යුතුව තිබේ. ඒ යථාර්ථය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි කියා කෙනකුට ගැටලුවක් ඇතිවන්නට පුළුවන.

මේ වගේ උභතෝකෝටික ප්‍රශ්නවලදී උත්තර සොයන්නට මිනිසුන් භාවිත කරන්නේ ක්‍රම දෙකකි. පළමුවැන්න, විද්‍යාඥයන් පර්යේෂණ පවත්වා, ගණන් මිනුම් ඇතිව එළැඹෙන නිගමනවලට සවන්දීම ය. විද්‍යාඥයන්ගේ පාණ්ඩිත්‍යය බහුතරයක් වුණු සාමාන්‍ය මිනිස්සුන්ට අවබෝධ වන්නේ නැත. 

මේ නිසා සාමාන්‍ය ජනතාවට වඩාත් ගැළපෙන්නේ දෙවැනි ක්‍රමයයි. එනම්, දුර ඈත සිටම අනාගතය දැක්ක මිනිසුන්ගේ ප්‍රකාශ විශ්වාස කිරීමයි. විද්‍යාව දියුණු අවධියකට මෙවැනි ප්‍රකාශ කෙතරම් වලංගුදැයි කියා නොවැටහේ. එහෙත් ඒවා බැහැර කිරීමට හේතු දෙන්නටත් බැරිය. ලෝක විනාශය පිළිබඳ කතාවේදී බොහෝ දෙනකු විශ්වාසය තැබුවේ ප්‍රංශ ජාතික මිෂෙල් ඩී නොස්ට්‍රඩාමුස්ගේ අනාගත වාක්‍ය කෙරෙහිය. ඒවා කාට කාටත් තදින් වැදුණේ හේතු සාධක ඇතිවයි. එක්දහස් පන්සිය ගණන්වල (1503 - 1566 දක්වා) ජීවත්වුණු හෙතෙම අනාගතය ගැන මහ පොතක් ද කළේය. එය හැදින්වෙන්නේ .“Les Propheties’’ යනුවෙනි. 

ඉංගි‍්‍රසියෙන් නම්“The Prophecies’’ යන නාමයෙනි. එහි අඩංගු වන්නේ ලෝකයට ඉදිරියේදී සිදු වන දෙයයි. ලන්ඩන් මහා ගින්න, නැපෝලියන් සහ හිට්ලර්ගේ නැගිටීම, සැප්තැම්බර් 11 දා අමෙරිකා ලෝක මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය, ප්‍රංශ විප්ලවය, පළමු සහ දෙවැනි ලෝක යුද්ධ, හිරෝෂිමාවටත්, නාගසාකියටත් එල්ල කළ පරමාණු බෝම්බ ප්‍රහාර, ඇපලෝ යානය සඳමත ගොඩබැස්සවීම, චැලෙන්ජර් අභ්‍යවකාශ ෂටලයේ ඉරණම, ජෝන් එෆ් කෙනඩි ඝාතනය මෙන්ම වේල්සයේ කුමරිය ඩයනාගේ අභාවය වැනි ලෝකය හෙල්ලූ සිද්ධි ගැන නොස්ට්‍රඩාමුස් සඳහන් කළේ 1555 දී ඔහු ලියූ එකී කෘතියෙහි ය. ලෝක විනාශයට හේතුවිය හැකි දෙයක් සම්බන්‍ධයෙන්ද නොස්ට්‍රඩාමුස් එහි සඳහන් කර ඇත. 

වෙනත් ග්‍රහලෝකයක් හෝ වෙනත් අභ්‍යවකාශ වස්තුවක් නිසා පෘථිවිය විනාශ වී යනු ඇති බව ඔහුගේ සඳහානයි. විශේෂයෙන්, වෙනත් ආකාශ වස්තුවක් පැමිණ පෘථිවයේ ගැටෙනු ඇතයි කියා ඔහු අදහස් කළා විය හැකිය. කවුරුත් හොඳින් දන්නා නිබ්රු වල්ගා තරුව වල්ගයක් මෙන් මේ කතාවට ඇදුනේ මෙතැනදීය. නිබිරු පෘථිවිය දෙසට පැමිණ ගැටුමක් ඇතිකරගනීවි යැයි කියා සාමාන්‍ය ජනයා තුළ බියක් ඇතිවන්නට පටන් ගත්තේය. 

පෘථිවිය දෙසට ආකාස වස්තුවක් පැමිණ එය පෘථිවිය සමඟ ගැටෙන්නට ඉඩ නැත්තේ නොවේ . එවැන්නක් ඕනෑම වෙලාවක සිදුවන්නට ද පුළුවන. අවසන් වරට පෘථිවිය එවැනි අභ්‍යවකාශ වස්තුවක් හා ගැටුමක් ඇතිකරගත්තේ මෙයට අවුරුදු මිලියන 65කට පෙරදීය. එය ඉස්තරම්ම වර්ගයේ ඝට්ඨනයකි. ගැටුමෙන් පෘථිවිය මත ජීවත්වුණු ජීවි විශේෂ රැසක් සදහටම වඳ වී ගියේය. ඩයිනෝසරයන් වඳ වී ගියේත් ඒ ගැටුමේ ප්‍රතිඵලයක් වශයෙනි. පෘථිවිය සමඟ ගැටුමට එන එවැනි ආකාශ වස්තූන් පිළිබඳ විද්‍යාඥයන් සිටින්නේ නිරන්තර සෙවිල්ලෙනි. 

විද්‍යාඥයන්ගේ මේ සෙවුම් - බැලුම් හැදින්වෙන්නේ “ස්පේස්ගාර්ඩ් සර්වේ” යනුවෙනි. විද්‍යාඥයන් පවසන විධියට පෘථිවය මත මහා විනාශයක් කරන්නට සමත් කෙනකු තවමත් ළඟපාතක නැත. වෙනත් වචනවලින් කිවහොත් පෘථිවිය සමඟ ගැටෙන්නට කිසිදු ආකාශ වස්තුවක් පෘථිවි ආසන්නයේ නැත. මේ නිසා 2012 දී පෘථිවිය මත විනාශයක් ඇතිවන්නට කොහෙත්ම ඉඩක් නොමැත. එසේ නම් නොස්ට්‍රඩාමුස්ට වැරදුණිද?. 

නොස්ට්‍රඩාමුස් කියන්නේ ආකාශ වස්තුවක් පෘථිවියේ ගැටෙන්නට ඉඩකඩ ඇතිවන බවය. ඒ කවදාද? එහි ප්‍රබලත්වය කෙතරම්දැයි කියා ඔහු විස්තර කරෙන්නේ නැත අනෙක් අතට නොස්ට්‍රඩාමුස්ගේ අනාගත වාක්‍ය තුළ 2012 දී ලෝකය විනාශ වන බවක් ද සඳහන් නොවේ. එය පැහැදිලිම කරුණකි. 

ලෝක විනාශය සමඟ මේ දිනවල වැඩියෙන්ම කතාබහට ලක්වන අනෙක් කරුණ නම් සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකවල පිහිටීමයි. ග්‍රහලෝක සියල්ල එක පෙළකට සිටින සේ සකස්වන බව කියැවේ. එවැනි සැකැස්මක් නිසා පෘථිවිය මත ගිණිකඳු පුපුරා යන්නටත්, භූකම්පන ඇතිවන්නටත් පුළුවන්යැයි කියා මත පළවෙමින් තිබේ. මෙවැනි තත්ත්ව මුහුදු රළ රළු අතට පත්කරන්නටත් සමහරවිට සුනාමි තත්ත්ව ඇතිකරන්නටත් හේතුව වනු ඇති බව පෙන්වා දෙන්නෝ ද එමටය. පෘථිවිය මත ජීවිය සඳහටම නැති වී යන්නට එවැනි ව්‍යසනයක් මුල්වන්නේ යැයි කියා මතයක් ඇති කරමින් තිබේ. ග්‍රහයන් එක පෝලිමකට පෙළගැසී ඇත්තටම පෘථිවියට එවැනි කරදරයක් කරාවිද? 

සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහයන් එක පෝලිමකට සිටින්නට යන මුල්ම අවස්ථාව මෙය නොවේ. එවැනි අවස්ථා අපි කොතෙකුත් පසුකර ඇත්තෙමු. 2000 වසරේදීත් 2010 වසරේදීත් මෙබඳු ග්‍රහ පිහිටීම් ඇතිවිණි. එහෙත් කිසිදු බාධාවකින් තොරව ඒ අවස්ථා පසුකර 2012 දක්වා ගමන් කිරීමට අපට හැකිවුණි. ඒ සෑම අවස්ථාවකදීම පෝලිමේ සිටියේ ග්‍රහයන් කිහිපදෙනකු පමණක් බවද අපි සිහිතබාගත යුතු වෙමු. අනෙක් අතට ග්‍රහයන් සියලු දෙනා පෙළට සිටින අවස්ථාවක් 2012 දී තබා තව දශක දෙකකින්වත් එළැඹෙන්නේ නැති බව නාසා විද්‍යාඥයෝ සනාත කරති. සමහරවිට 2040 වසරේ සැප්තැම්බර් මාසයේ දී ග්‍රහයන් සිවුදෙනක් දළ වශයෙන් තනි රේඛාවක් සමීපයට පැමිණෙනු ඇතැයි කියා අනුමාන කෙරේ. 

එසේ පැමිණෙනු ඇත්තේ සෙනසුරු, සිකුරු, බ්‍රහස්පති සහ අඟහරු යන ග්‍රහයන්ය. කොහොම වුණත්, ග්‍රහයන් එක පෝලිමකට කැඳවාගැනීම ප්‍රායෝගිකව පහසු දෙයක් නොවේ. ග්‍රහයන්ගේ භ්‍රමණය, පරිභ්‍රමණය, ආතතීන් , ඒවායේ හැඩයන් මෙන්ම ඒ එකිනෙකක් අතර ක්‍රියාත්මක වන ආකර්ෂණ - විකර්ෂණ බල වැනි සාධක ළංවීම හෝ ඈත්වීම තීරණය කරයි. මිනිසුන් සමූහය එක පෝලිමකට පෙළ ගස්වන්නාක් මෙන් ග්‍රහවස්තුන් එක රේඛාවක වඩා හිඳුවීම කළහැකිවන්නේ මනැසින් පමණක් බව මේ නිසා අපි අවබෝධ කරගතයුතු වෙමු. 

ග්‍රහයන් එක පෝලිමකට පෙළ ගැසෙන කතාවට දැන් අතුරු කතාවක් ඇදී තිබේ. එය ගොඩනැගෙන්නේ ඊජිප්තුව මුල්කරගෙනයි. ඊජිප්තුවේ ගිසා පිරමීඩවලට ඉහළ ආකාශයේදී ග්‍රහලෝක ත්‍රිත්වයක් පෝලිම් ගැසෙන්නට සූදානම්ය. එය සිදුවන්නේ ලබන මස 3 වැනි දා බව සඳහන් වේ. පෙළට සිටින්නට යන්නේ සිකුරු, සෙනසුරු සහ බුධ ග්‍රහයන්ය. මෙවැනි පිහිටීමක් වසර 2737කට වරක් ඇතිවන එකක් බවද කියැවේ. එක ඉරක් ඇඳ ග්‍රහයන් තුන්දෙනා ඊට ඈදා ගන්නට උත්සාහගත්තත් එක් ග්‍රහයකු ඒ රේඛාවෙන් ඉවතට පනී. ඒ නිසා මේ ග්‍රහ පිහිටීමෙන් හරියටම එක පෙළකට සිටින්නේ ග්‍රහලෝක දෙකක් මිස තුනම නොවේ. 

2012 දෙසැම්බර් 21දා වන විට ලෝකයට කුමකින් කුමක් සිදුවේදැයි කියා බොහෝ දෙනෙක් බලා සිටිති. ඒ හැම කෙනකුගේම හිත තුළ මරණය පිළිබඳ බය කිසියම් ප්‍රමාණයකින් තැන්පත් වී ඇතිවාට සැකයක් නැත. තමන්ගේ ජීවිතය දෙසැම්බර් 21 දා වන විට අවසන්කර දමා ආපසු යන්නට කිසිවකුටත් වුවමනාවක් නැත. සමහරු තමන් මෙලොව ජීවත්වෙමින් කරන්නට අපේක්‍ෂා කළ දේවලින් එකක් දෙකක්වත් සපුරාගෙන නොසිටිති. ඉතින් ජීවිතය අකලට අත්හැර දමන්නේ කෙසේද? 

මිනිසුන්ගේ සිත්වල තිබෙන මේ බිය , නාසා වෙබ් අඩවියට හොඳින්ම දැනුනා සේය. ලෝක විනාශය සම්බන්ධයෙන් සාමාන්‍යය ජනයාගේ මනස තුළ හැලහොල්මන් කරන පීඩනය විසඳා දෙන්නට එහි විද්‍යාඥයන් පියවර ගෙන තිබේ. ඒ අනුව සාමාන්‍ය ජනයාගේ සිත්වල කැකෑරෙන ප්‍රශ්න රැසකට පිළිතුරු එහි සඳහන් කර ඇත. මේ පිළිතුරු අභ්‍යවකාශය ගැන විද්‍යාත්මක තොරතුරු කැටිකරගත් ඒවා මිස හුදෙක් මනඞකල්පිතයන් නොවන බව අවධාරණය කළයුතුය. නාසා වෙබ් අඩවියට අනුව 2012 වසරේදී පෘථිවියට සිදුවන කිසිදු අනතුරක් නැත. 

2012 වසරේදී ලෝකයට සිදුවිය හැකි යැයි කියන විපත් සම්බන්‍ධ කතා තව තවත් පැතිර යන්නට පුළුවන. ඒ කතා ඉතා ඉක්මනින් සාමාන්‍යය ජනතාව විශ්වාස කරන තැනටත් පත්වන්නට හොඳටම ඉඩ තිබේ. මේ කතා කිසිවක් නවත්වන්නට කාටවත්ම පුළුවන්කමක් නැත . මන්ද සෑම පුද්ගලයකුටම කතා කිරීමේ නිදහස ඇති නිසයි. නාසා වැනි ආයතන මෙවැනි කතාවක ඇත්ත නැත්ත ගැන මහා වාද විවාද පවත්වන්නට එන්නෙත් නැත. එහෙත් සත්‍ය කුමක්දැයි සොයාගන්නට ඕනෑතරම් මං ඇත. සාමාන්‍ය ජනතාව කළයුතු වන්නේ සත්‍ය සොයාගෙන අවබෝධ කරගැනීම පමණි. එසේ නැතිවුව හොත් සියලු දෙනාම අවාසනාවන්ත ලෙස බිය තුළ මරිකි - මිරිකී හෙම්බත් වනු ඇත. එයින් වඩාත්ම දුකට පත්වනු ඇත්තේ අහිංසක කුඩා දරුවන්ය. එය වළකාගැනීම තිබෙන්නේ දැනුම් - තේරුම් ඇති වැඩිහිටියන් අතයි. 

NASA.COM ඇසුරිනි මංජුලා විජයරත්න - Samakaya