Pages

Friday, November 09, 2012

ඔබාමා ට අපි ද සුබ පතමු!

ඔබ,අමෙරිකන් විරෝධියකු වන්නට පුළුවන.දැඩි අමෙරිකන්වාදියකු වන්නටත් පුළුවන. කුමක් වුව එක් ලෝක යථාවක් පිළිගැනීමට ඔබට සිදු වේ.එනම්; ලෝක දේශපාලනය හා ලෝක ආර්ථිකය අමෙරිකන් හිස මත රැඳී ඇති බව ය.ලෝකයේ දැවැන්ත ම ආර්ථිකය ද තුන්වන ජනගහනය ද හිමි වන්නේ අමෙරිකාවට ය.චීනය වේගවත් ආර්ථික ගමනක් ආරම්භ කර ඇතත්;තව ම පසු වන්නේ අමෙරිකාවට පහළින් ය.ඒ හැරත් අමෙරිකාවේ යුද ශක්තිය යෝධයකු නම්; චීනය ඔහු ඉදිරියෙහි කුරුමිට්ටකු බවට පත් වන්නේ ය.අදත්-හෙටත් ලෝකයේ දැවැන්තයා අමෙරිකාව ය එහි රාජ්‍ය නායකයා හෙවත් ජනාධිපතිවරයා ලෝක නායකයා ය.

අමෙරිකා එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරණයෙන් බැරක් හුසේන් ඔබාමා මහතා යළිත් බලයට පත් ව සිටී. ඔහු 2008 දී ප්‍රථම වරට බලයට පත් වූයේ “yes we can” යන සටන් පාඨය පෙර දැරි කරගෙන ය.ඔබාමා මහතා බලයට පත් වන විටත් අමෙරිකන් ආර්ථිකය පිරිහී තිබිණි.රැකියා හිඟය වර්ධනය වෙමින් තිබිණි.යුද වියදම් අධික වූ අතර අමෙරිකාවට එරෙහි ත්‍රස්ත තර්ජන ඉහළ ගොස් තිබිණි.2001 සැප්තැම්බර් 11 අල්කයිඩා ප්‍රහාරය මුළු අමෙරිකාව ම තිගැස්මකට ලක් කරන්නට සමත් විය.පළමු වාරයේ දී ඔබාමා මහතාට වඩාත් ආකර්ෂණය වූයේ තරුණ පිරිස් ය.දෙවන වර ඔහුට ආකර්ෂණය වූයේ අමෙරිකාවේ සමස්ත මැද පන්තිය ය.


“yes we can” කියමින් බලයට පත් වුව; සියල්ල එකලාසයක් කිරීමට ඔබාමා මහතා අසමත් විය.අමෙරිකන් ආර්ථිකය ඔහු අපේක්ෂා කළ අයුරින් වර්ධනය වූයේ නැත.මූල්‍ය සමාගම් බිඳ වැටිණි.ඇතැම් බැංකු වසා දැමිණි.“වෝල් ස්ට්‍රීට්”ගනුදෙනු ආධිපත්‍යය බෙහෙවින් කඩා වැටිණි.ඒ සමඟ අමෙරිකාවේ රැකියා වියුක්තිය ද ඉහළ යන්නට පටන් ගත්තේ ය.එහෙත් ඔහු එක් සුවිශේෂී ජයග්‍රහණයක් ලබා ගත්තේ් ය.එනම්; අමෙරිකාවේ ප්‍රධාන සතුරා වූ ඔසාමා බින් ලාඩන් විනාශ කිරීම ය.එය සිදු වූයේ 2011 දී ය.ජනාධිපති ඔබාමා මහතා ත්‍රස්තවාදය පරාජය කොට ඇමෙරිකාවට සාමය ලබා දුන් අතර යුද වියදම් කපා හළ නායකයා ලෙස ද ප්‍රකට ය. ඔහු ඉරාකයේ රැඳී සිටි අමෙරිකන් හමුදාව පියවරෙන් - පියවර සිය රටට කැඳවා ගත්තේ ය.

මෙවර ජනාධිපති තරගයේ දී ඔබාමා මහතාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ මිට් රොම්නි ය. රිපබ්ලිකන් පක්ෂයේ අධිපතිවාදී අදහස් සියල්ල රොම්නි ළඟ තිබිණි. ඔහුගේ අදහස වූයේ ලෝක පොලිස්කාරයාගේ භූමිකාව අමෙරිකාව එලෙස ම ගෙන යා යුතු බව ය. ඉරානයට හා සිරියාවට පහර දිය යුතු ය යන්න රොම්නිගේ අදහස ය. ඔබාමා මහතා ඊට වඩා නම්‍යශීලී හා සුහදශීලී නායකයෙකි. ඔහු රුසියාව හා චීනය සමඟ ගනුදෙනු කරනුයේ සතුරු ආකල්පයකින් නො වේ. ලෝකය පළමු ව සාමකාමී විය යුතු යැයි ඔබාමා මහතා කල්පනා කරයි. ඔහු බලහත්කාරයට වඩා සාකච්ඡාවට කැමැති ය.

මිට් රොම්නි මෙවර ජනාධිපතිවරණයේ දී ඉතා බලවත් ලෙස ඔබාමා විවේචනය කළේ ය. අමෙරිකාව විනාශ කළ බවට ද, එහි ආර්ථිකය කඩාකප්පල් කළ බවට ද රැකියා වියුක්තිය වර්ධනය කළ බවට ද ඔබාමාට චෝදනා එල්ල විණි. සංවාදයට ලක් වූ අමෙරිකාවේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ජනතාව මත බලෙන් පටවන ලද හිසරදයක් යැයි රොම්නි අපවාද නැඟී ය. ඔබාමා මහතා මේ සියල්ලට ම පිළිතුරු සැපයුවේ ය. අවසාන මාසය තුළ ඔහුගේ ආණ්ඩුව රැකියා එක් ලක්ෂ ගණනක් ලබා දී තිබිණි. සෞඛ්‍ය ප්‍රතිපත්තිය මගින් සියලු දෙනාට රැකවරණයක් ලැබිණි. යුද වියදම් තවදුරටත් කපා හළ යුතු බව හා ලෝකයට මිතුරු ආකල්පයක් දැක්විය යුතු බව ඔබාමා තවදුරටත් කියා සිටියේ ය.

මිට් රොම්නිගේ ඇතැම් ප්‍රකාශවල සටහන් වූයේ හෙජමනි නායකයකුගේ අදහස් ය. මා ජනාධිපති වූ පසු මුළු අමෙරිකාවට ම බරපතළ වෙනසක් දැක ගත හැකි වන බවත්; සියලු දෙනාට රැකවරණය ලැබෙන බවත් ඔහු කියා සිටියේ ය. රොම්නිගේ ප්‍රධාන සටන් පාඨය වූයේ අදට වඩා හොඳ හෙටක් යන්න ය. අමෙරිකාවේ ප්‍රධාන ධනවත්හු ඔහුට වශී වූහ. ඔව්හු රොම්නි සඳහා මුදල් වියදම් කළ හ. ඇතැම් ජනමාධ්‍ය ඔබාමා දිගට - හරහට විවේචනය කරනු දකින්නට ලැබිණි. “ඔබාමා ජනාධිපති පදවියෙන් ඉවත්විය යුත්තේ ඇයි?” යනුවෙන් ලිපි පළ කරන්නට තරම් ඇතැම් ජනමාධ්‍ය සාහසික විය. “වෝල් ස්ට්‍රීට් ජර්නල්” ඔහු දිගට - හරහට විවේචනය කළේ ය. එහෙත් “වොෂින්ටන් පෝස්ට්” පුවත්පතෙහි කතුවැකියක් ඉතා නිවැරැදි අදහසක් පළ කර තිබිණි. එනම්; අමෙරිකාවේ ප්‍රශ්න විසැඳීමට රොම්නිට වඩා ඔබාමා දක්ෂ වන බව ය.

විවිධ විවේචන, ස්වභාවික ව්‍යසන හා ප්‍රතිවිරෝධ මැද ඔබාමා මහතා ජයග්‍රහණය කර තිබේ. ලබන වසරේ ජනවාරියෙන් ඔහුගේ දෙවන නිල කාලය ආරම්භ වනු ඇත. ලෝක දේශපාලනය සාමකාමී ස්ථාවරයකට ගෙන යෑමත්; ආර්ථිකය යළි ස්ථාවර කිරීමත් ඔහු වෙතින් අපේක්ෂා කළ යුතු දෑ ලෙස සැලකේ. පසුගිය වසර දෙක අමෙරිකාවට මෙන් ම යුරෝපයටත් ආර්ථික වශයෙන් යහපත් වූයේ නැත. ඔබාමා ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගය වන්නේ බිඳ වැටුණු බටහිර ආර්ථිකය යළි ගොඩනැඟීම ය. එය පහසු අභියෝගයක් නො වේ. ආර්ථිකය යළි ගොඩනැඟීමට නම්; සාමය පැතිර යා යුතු බව ද; ප්‍රජාතන්ත්‍රවාදය ලෝක මට්ටමෙන් ස්ථාවර විය යුතු බව ද ඇතැම් විචාරකයෝ පෙන්වා දෙති.

බැරක් හුසේන් ඔබාමා මහතාගේ ජයග්‍රහණයෙන් උගත යුතු පාඩම් ගණනාවක් තිබේ. පළමුවැන්න බුද්ධිමත් මිනිසා යථාර්ථයට සමීප වන බව ය. සැන්ඩි සුළි කුණාටුව අමෙරිකාවේ බොහෝ දේ විනාශ කළේ ය. නිව්යෝර්ක් නුවර ඇතැම් ස්ථාන තව ම අඳුරේ ය. ආර්ථිකය නැවතී ඇත. ජනපද විසි එකක් ජලයෙන් යට වී ඇත. සරණාගතයෝ ලක්ෂ ගණනකි. එහෙත් සැන්ඩි කුණාටුව අමෙරිකන් ජනාධිපතිවරයා ඇති කළ දෙයක් නො වන බව එහි ජනතාව දනිති. ඔබාමා මහතා එම දුක්මුසු අවස්ථාවෙහි ඡන්ද සටන අතහැර සරණාගතයන් වෙත ගියේය. “ඔබ වෙනුවෙන් අප ඉන්නවා!” යැයි ඔබාමා මහතා හඬ නගා කියා සිටියේ ය.

අමෙරිකන් දේශපාලනය අපේ දේශපාලනයට වඩා සිය ගුණයකින් වත් දියුණු ය. සිය පරාජය භාරගත් රොම්නි ජනාධිපති ඔබාමාට හා ඔහුගේ පවුලේ අයට ද සුබ පැතුවේ ය. ජනාධිපති පවුලටත් රටේ සියලු පුරවැසියාටත් දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කළේ ය.

ශ්‍රී ලංකාවේ දේශපාලකයන් සිය පරාජය භාර ගන්නේ නැත. ඔව්හු ඒ වෙනුවට “කොම්පියුටර් ජිල්මාට්” ගැන චෝදනා කරති. ජයග්‍රාහකයාගේ මුහුණ බලන්නට හෝ ඔහුට සුබ පතන්නට හෝ හැකි දේශපාලකයන් අප අතර නැත. එබැවින් අප අමෙරිකාවෙන් දේශපාලනය ඉගෙන ගත්තා ට කමක් නැත. ලෝකය ට අවශ්‍ය වන්නේ සහනශීලී බුද්ධිමත් දේශපාලනයකි.

වොල්ටර් ලිප්මන් කීවා සේ නායකයකුගේ අවසන් නිගමනය විය යුත්තේ අනෙකුත් පුද්ගලයන් තුළ ද විශ්වාසය හා ධෛර්යය ගොඩනැඟීම ය. ඔබාමා මහතා ද එය කල්පනාවට ගත යුතු ය. අපි ඔහුට සුබ පතමු! අවසන් ලෙස “yes you can mr. obama ” යැයි සටහන් කර තබමු.
(Editorial Dinamina)