Pages

Monday, March 14, 2011

එක සිහිනෙක ඔබ දුටුවා සිඟන්නියක සේ...

සිහින සතක් දුටුවෙමි මම
සත් දවසක් එක විලසට
එක සිහිනෙක ඔබ දුටුවා
සිඟන්නියක සේ
සිඟන්නියක සේ
ඔබ මගෙ පැල් පතට පැමිණ
ආයාචනයක් කරමින
ජීවත්වන්නට කිසිවක්
ඉල්ලා සිටියා
කිසිවක් දෙන්නට මට නැත
තිබුණේ පිරිසිදු හදවත
සිඟන්නියේ එය ඔබ හට
දුන්නා මතකයි
එදා මගේ හද අරගත්
ඔබ අද මට වැඩි පොහොසත්
ඒ හින්දා මටත් එලෙස
පිහිටවනු මැනේ
ගී පද - පේ‍්‍රමකීර්ති අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

කලාව වූ කලී සත්‍යයේ හා කල්පිතයේ අගනා සහයෝගයකි. විටෙක ඒ කල්පිතය කෙරතම් රමණීය ද යත් සත්‍යය බැහැර කොට කල්පිතයම වැලඳගෙන ජීවත් විය හැකිය. පේ‍්‍රමකීර්ති වූ කලී තම කල්පිතයන් තුළින් ආනන්දයෙන් ප්‍රඥාව කරාත්, ප්‍රඥාවෙන් ආනන්දය කරාත්, ආනන්දයෙන් ආනන්දය කරාත් රසිකයා රැගෙන ගිය අපූර්වතම නිර්මාණ කරුවෙකි. “සිහින සතක්” නමැති නිර්මාණය මෙයින් කුමන වර්ගයකට අයත් කළ යුතු දැයි මට නොහැඟේ.
සිහින ගණන් කළ නොහැකිය. සිහින නොපෙනෙන මෙන්ම පෙනෙන රාත්‍රීන් ද ඇත. ඇතැම් විට එක රාත්‍රියකට සිහින එකකට වඩා නොපෙනේ. පේ‍්‍රමකීර්ති ද සිහින ගණන් කළා යැයි සිතිය නොහැකි ය. ඒ නිසා ‘සිහින හතක්’ යන යෙදුම ඔහු භාවිත කරන්නේ හුදෙක් ශබ්ද රසය උදෙසා ම ය. ඒ නිසා ගීත රචනය ආරම්භ වන්නේ රසිකයාට ශබ්ද රසයක් ඉතිරි කරමිනි. ඔහු එක සිහිනයක දී ඇය දකිනුයේ සිඟන්නියක ලෙසිනි. මෙයින් සංකේතවත් වන්නේ ඇගේ අසරණභාවයයි.
Read more
එහෙත් ඇයට සරණ වන්නට තරම් ශක්තියක් ඔහුට නොමැත. එහෙත් ඔහු ඇයට පිහිට වෙයි. ඇය ඉල්ලා සිටිනුයේ ද යස ඉසුරු හා මිල මුදල් නොවේ. ජීවත්වන්නට කිසිවක් පමණි. ඇය පැමිණෙන්නේ ඔහුගේ පැල්පතටයි. භෞතික සැප සම්පත් ප්‍රාර්ථනා කරන්නියක නම් යා යුත්තේ මහා මන්දිරයකටයි. එය එසේ නොවීමෙන් හැඟී යන්නේ ඇය බලාපොරොත්තු වන්නේ ජීවත්වීමට අවශ්‍ය ආදරය බව රසිකයාට හැඟෙයි.
“ඔබ මගෙ පැල්පතට පැමිණ
ආයාචනයක් කරමින
ජීවත්වන්නට කිසිවක්
ඉල්ලා සිටියා”
පේ‍්‍රමකීර්ති අල්විස්

ජීවත්වීම සඳහා මිල මුදල් මෙන්ම ආදරය ද අවශ්‍ය ය. එය නොලැබෙන විට කෙතරම් මිල මුදල් යස ඉසුරු තිබුණ ද ජීවත්වීමට සිදුවන්නේ මළ මිනිසුන් මෙනි. ඇයට මෙන් ම ඔහුට ද මළ මිනිසුන් ලෙස ජීවත් වීමට නොහැකි ය. ඒ නිසා ඔහු ඇයට තම ජීවිතයේ දොර නොවසයි.
රජ මැතිවරුන් අබියස දණින් නොවැටෙන මිනිසුන් වුවද ආදරය ඉදිරියේ දණින් වැටෙයි. ඒ එය ජීවත්වීමට හුස්ම පොදක් අවශ්‍ය වන්නා සේම ජීවිතයට අත්‍යවශ්‍ය බැවිනි. මේ ගැහැනිය ද ඔහු ඉදිරියේ ආයාචනාත්මක වන්නේ එබැවිනි.
“කිසිවක් දෙන්නට මට නැත
තිබුණේ පිරිසිදු හදවත
සිඟන්නියේ එය ඔබ හට
දුන්නා මතකයි...
ඔහු සන්තක එක ම වස්තුව වන්නේ ඔහු ගේ නිකිලිටි හදවතයි. ඇගේ අසරණකම ඉදිරියේ සානුකම්පික වන ඔහු ඔහුගේ හදවත හෙවත් ආදරය පරිත්‍යාග කර සිටී. ආදරය අනුකම්පාව මත පමණක් පරිත්‍යාග කළ නොහැකි දෙයකි. ආදරය පරිත්‍යාග කළ හැකි වන්නේ තමා ළඟ ආදරය පවතීනම් පමණි. මෙයින් පැහැදිලි වන්නේ ඔහු ද ඇයට ආදරය කළ බවයි. එසේ නැතිනම් තමා ළඟ නොමැති දෙයක් පරිත්‍යාග කරන්නේ කෙසේ ද?
වික්ටර් රත්නායක

එහෙත් මේ පරිත්‍යාගයේදී ඔහු සිටින්නේ ඇය තරම් අසරණ තත්ත්වයක නොවන බව “සිඟන්නිය” යන යෙදුම ඈ වෙනුවෙන් භාවිත කර තිබීමෙන් පැහැදිලි වෙයි.
ඇය ඇතැම් විට ජීවිතයේ බොහෝ දෙනකුට ආදරය කොට පරාජිත චරිතයක් විය හැකි ය. එසේත් නැතිනම් කිසිවකුගෙන් ආදරය නොලබන තත්ත්වයකට ඇද වැටුණු තැනැත්තියක් විය හැකි ය. ඒ නිසාම ඇය ඔහුට වඩා ආදරයෙන් දුප්පත් වී ඇත. “සිඟන්නිය” යන යෙදුමේ සැබෑ අරුත එයයි. එසේ ම ඒ යෙදුමෙන් මේ තරුණිය හෝ ගැහැනිය කෙරෙහි රසිකයා ගේ අනුකම්පාව උපරීමයෙන් ලබාගත හැකි වී තිබේ.
ආදරය පිළිබඳ බැගෑපත් වූ පුරුෂයන් අපේ සාහිත්‍යයේ කෙතරම් දක්නට ලැබේ ද? මේ සඳහා කදිම උදාහරණය නම් ජාතක පොතෙහි එන කුස ජාතකයයි. ඇත් හලෙහි ඇතුන් බලමින් පබාවතී දැක ගැනීමට ළතැවුණු කුස කුමාරයා ඇය සොයා ඇගේ නුවරට ගොස් වළං සේදු ආකාරය කුස ජාතකයේ දැකිය හැකි ය. එහෙත් ඒ කාමයෙන් හා රාගයෙන් උමතු වීමෙනි. එහෙත් මේ ගැහැනිය සිඟන්නියක බවට පත්වන්නේ ජීවිතයේ කිසිවකු ගේ දයාවකට කරුණාවකට පාත්‍ර නොවූ බැවිනි. කෙසේ වෙතත් ඇගේ සිඟමන සාර්ථක ය. ඇය ඔහුගේ දයාවට කරුණාවට පාත්‍ර වෙයි.
එහෙත් දෛවය පුදුමාකාර ය. එදා ඇයට පිහිටවීමට තරම් ආදරයෙන් පොහොසත් ව සිටි ඔහු ආදරයෙන් දුප්පත් වී සිටී. එය ආර්ථික පරිහානියකට වඩා ආධ්‍යාත්මික පරිහානියකි. ඔහු දැනුම්වත් ව හෝ නොදැනුම්වත් ව මහා අගාධයකට ඇද වැටී පවතී. දැන් ඔහුට කවරදාටත් වඩා ආදරය අවශ්‍ය වී තිබේ. දැන් ඔහුට සිදුවී ඇත්තේ අතීතය සිහි කරමින් ඇය ළඟ බැගෑපත් වීමටයි. මට මහගම සේකරයන් ගේ කවි පදයක් සිහි වෙයි.
“පාළු අඳුරු නිල් අහස මම යි
ඈත දිලෙන තනි තරුව ඇයයි”
මේ මොහොතේ ඔහු පාළු අඳුරු නිල් අහසකි. ඇය ඈත දිලෙන තනි තරුවකි. දැන් ඔහුට ඇගේ ආලෝකය අවශ්‍ය ය.
එදා මගේ හද අරගත්
ඔබ අද මට වැඩි පොහොසත්
ඒ හින්දා මටත් එලෙස
පිහිට වනු මැනේ”
ඔහුගේ ආදරයෙන් උපන් ඇය අද ඔහුට වඩා ප්‍රබල තැනක පසුවෙයි. ඇතැම් විට ඔහුගේ ගමන්මඟ වැරදී, ඔහු ආර්ථික මෙන්ම ආධ්‍යාත්මික ප්‍රපාතයකට ගොදුරු වන්නට ඇත. නැවත ඔහු නිසිමගට ගත හැකි වන්නේ ඇයට පමණකි. ආදරය කෙනෙකුට ප්‍රදානය කළ යුත්තේ යළිදු කිසිවක් බලාපොරොත්තුවෙන් නොවේ. එහෙත් ජීවිතයේ යම් අවස්ථාවලදී මේ ධර්මයට පිටුපාන්නට සිදුවිය හැකිය. මේ කථකයා ද වර්තමානයේ පත්වී ඇත්තේ එබඳු ඛේදවාචකයකටයි.
කලා නිර්මාණයක සාර්ථකත්වය රැඳෙන්නේ එය විවිධ පුද්ගලයන්ට විවිධාකාරයෙන් වින්දනය කිරීමේ අවස්ථා පවතින විටයි. මේ නිර්මාණය ද විවිධාකාරයෙන් තම, ආත්මයට ගළපා ගැනීමේ හැකියාව රස විඳින්නා සතුව පවතී. එය හොඳින් මට දැනෙන්නේ මා හයවන ශ්‍රේණියේ ශිෂ්‍යයකු ව සිටිය දී මම මේ ගීතය පාඩම් කොට පාසල් සමිතියේ ගායනා කළ බැවිනි.
වික්ටර් රත්නායකයන්ගේ මුළු ගායනය පුරාම රැඳී ඇත්තේ කරුණා රසයයි. එය රසික හදවත් විනිවිද ගොස් අපරිමිත මානව දයාවකින් මිනිස් හදවත් පුරවාලයි. මිනිස් ජීවිතයට ආදරය සෙනෙහස කෙතරම් අවශ්‍ය ද? එය නොලැබෙන විට මනුෂ්‍යයා කෙතරම් අසරණ බවට පත්වන්නේ ද යන්න මේ තුළත් සන්නිවේදනය වේ.
එසේ ම මේ ගීතයේ කිසියම් කතාන්දරයක් පවතී. රසික අප ද විවිධ අවස්ථාවලදී මේ කතාන්දරයේ විවිධ භූමිකාවන්ට ගොදුරු වේ. ඒ නිසා ජීවිතයේ සැඳෑ සමයේ වුවද ජීවිතය දෙස ආපසු හැරී බැලීමට හැකි අපූර්ව නිර්මාණයක් බවට මේ ගීය පත් වේ.