Pages

Saturday, July 30, 2011

ප්‍රේමය සහ රාත්‍රිය

මාඅද තෝරාගත්තේ නිතරම ජනමාධ්‍ය තුළින් කනට ඇසෙන හුරුපුරුදු ගීයක් නොවේ. ඉඳහිට හෝ නව පරපුරේ රචනයක් පාඨකයා හමුවේ තැබීම යුතුකමක් ලෙස හැඟී යන බැවිනි. උපාලි මල්දෙණිය මා දන්නා පරිදි ගීතය වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරන්නෙකි. ‘සඳකැන් ඇවිදින්’ යනුවෙන් අමරසිරි පීරිස් ගේ ගායනා රැගත් සංයුක්ත තැටියක් ඔහු නිර්මාණය කළේය. මිහිරි ගී පද මාලා රාශියක් එහි අන්තර්ගත නමුත් ඒ පිළිබඳව කතිකාවතක් ගොඩනොනැඟීම කනගාටුදායකය. මා මෙම ගී පදමාලාව තෝරාගත්තේ ඔහු ගීත කලාව වෙනුවෙන් කරන අපරිමිත කැපකිරීම් කෙරෙහි උපදින ආදරයෙනි.
ප්‍රේමය රාත්‍රිය සමඟ බද්ධ වූ කල්හි හටගන්නේ අපරිමිත වූ ශෘංගාරයකි. මේ ශෘංගාරයෙන් මඟහැරිම කවියකුට ලෙහෙසි නොවේ. එබඳු අපූර්වතම නිර්මාණ රාශියකින් සිංහල ගීත සාහිත්‍ය පිරී පවතී. මට ඩෝල්ටන් අල්විස් කිවිඳුන්ගේ ඉපැරැණි පදමාලාවක් සිහිපත් වේ. ගුවන්විදුලි තරංගනී සඟරාවක මේ නිර්මාණය නම්කර තිබුණේ ප්‍රේමය හා සඳඑළිය” යන නාමයෙනි.
”සඳරැස් වැටී මිදුලේ දියවිය අඳුර
සුළඟට වැනේ වැට අද්දර උණ පඳුර
අද ගෙයි නිදනු බෑ ඇහුණ ද ප්‍රිය සොඳුර

පිල උඩ එළා දෙනු මගෙ 
බොරු පන් පැදුර”

එහිදී ගැමි පරිසරයකට උදාවන රාත්‍රිය සමඟ රචකයා මැනැවින් ප්‍රේමය මුසු කරයි. එසේම කුලරත්න ආරියවංශයන් රචනා කළ “සඳ හොරෙන්” නැමැති ගීතය තුළ ද ප්‍රේමය හා රාත්‍රිය මනාව සම්මිශ්‍රණය වේ. එය සම්භෝග ශෘංගාරය මනාව තැන්පත් වූ නිර්මාණයකි.
කඳුළු බිඳු ගලා සඳේ
තුරුලතා පුරා
සියොළඟ සැලේ මගේ
නොහිම් හීතලේ
ඔබේ නෙත යදී
මහත් වියරුවෙන්

එසේම මේ මොහොතේ මගේ මතකයට දිව එන තවත් අපූරු නිර්මාණයක් අමතක කළ නොහැකිය. තිස්සසිරි පෙරේරා ගේ තනුවක් ප්‍රමුඛ කොට ගෙන, අජන්තා රණසිංහයන් මේ පදමාලාව රචනා කර තිබීම මෙහි ඇති විශේෂත්වයයි.
මා ළඟටම තව ළංවෙලා
ඉඳින්න නිහඬ නුවන් පියා
මා සීතාවෝ සැනසෙන නින්දේ
නූපුර හෝ ප්‍රියේ
පා සුළැඟිල්ලේ අද නම් අවදි නොවේ
කුසුම් කැකුළ නිදනා තුරාmore

ප්‍රේමය තරම් හද කිතිකවන තවත් රසයක් කොහිද? තාරකා පිපෙන රාත්‍රියක, සඳපහන තුරුලුකරගෙන තම සුන්දරිය ළඟ මොහොතක් ගෙවීමට අකැමැති මිනිසකු කොහි ද? අඳුර සඳඑළිය, තුරුලතා, පිණිබිංදු, මේ සියල්ල පන්ති බේදයකින් තොරව සිතුවිලි පුබුදු කරවන ආකාරය තුළ පුදුමවන්නට දෙයක් නොමැත.
මගේ සිතට තවත් නිර්මාණ රාශියක් ගලා එයි. එහෙත් ලිපිය ලියා අවසන් කිරීමට නම් මගේ සිතුවිලි මා විසින්ම පාලනය කරගත යුතුය.
ඒත් සියලු බැමි බිඳගෙන “බක්මහ දීගේ” චිත්‍රපටයට දයානන්ද ගුණවර්ධනයන් රචනා කළ, අමරදේවයන් ගායනා කළ ගීතයක කොටසක් වෙත මගේ සිතුවිලි දිවයයි. ‘ආදර හැඟුම්’ යනුවෙන් ඇරඹෙන මේ ගීතය අවසානයේ ප්‍රේමය හා රාත්‍රිය මුසුවන්නේ මෙසේය.

සැඳෑ අහසේ නැඟෙන තරු එළි
මගේ හද තුළ කරයි විමසිලි
නැඟෙන ගනඳුර නඟයි සිතුවිලි
මේ මඟුල් රෑ බිඳෙයි ඉවසිලි

(රචනය – දයානන්ද ගුණවර්ධන)
උපාලි මල්දෙණිය අපව රැගෙන යන්නේ ද එබඳු රාත්‍රියකටයි.
සඳකැන් ඇවිදින් සුපිපුන කුසුමන්
සිඹිනා නිහඬ රැයේ
සීතල උමතුව ඉඳිකටු තුඩකින්
අනිනා නිසල පැයේ
නිදන්න සොඳුරිය නිදන්න ඔබෙ හිස
රඳවා මාගෙ ළයේ

සඳ ඇවිදින්, රාත්‍රියට උරුම මල්වල පෙතිමත වැටෙයි. රාත්‍රිය නිහඬය. අවටින් හමාඑන්නේ සිසිල් සුළඟකි. ඒ සුළඟ තුළින් ජනිත කරන්නේ සීතල උමතුවකි. ඒ සීතල උමතුව නිසා ඉඳිකටු තුඩකින් අනින්නාක් මෙන් ඇඟ හිරිගඩු පිපෙයි. එහෙත් ළය මත හිස තබාගෙන නිඳන සොඳුරිය අවදි කිරීමට ඔහුගේ සිත නොදේ. අවදිවන සරාගික හැඟීම් ඔහු දයාබර සිතුවිලි තුළින් දමනය කරගනී.
නලියන මදනල පොපියන මල්මත
සුවඳක් සොයා ඇදේ
දිදුලන තරුකැල නිල්නුබ ගැබ තුළ
සඳ තුරුළෙහිම රැඳේ...

සුළඟ ඇදෙන්නේ මල් සුවඳට තුරුලුවීමටයි. තරු ඇෙඳන්නේ සඳට තුරුලුවීමටයි. මේ මුළුලොවම කාට හෝ තුරුලු වී උණුසුමක් සොයන යාමයයි. මේ මොහොතේ කතකයා සිටින්නේ ද තම සොඳුරිය තුරුලේ උණුසුම් වෙමිනි.
”නැළවෙන තුරු හිස පිනිපොද ඉස ඉස
නිලඹර තුටින සැලේ
දුක් කඳුළැලි පිස උතුරන සෙනෙහස
මා හදවතට දැනේ”

පාරමීදම් පුරා ප්‍රේමයේ දිග් විජය ලබා යහන්ගත වූ පෙම්වතුන්ගේ ආත්ම සංතෘප්තිය රචකයා මනාව හසුකර ගනී. ගහ කොළ, මල් ආදිය සියල්ලම පෙම්වතුන් සමඟ එක්වී ඒ සතුට භුක්ති විඳී. මුළු පරිසරයම ප්‍රේමයට ඉඩ හළ පරිසරයක් බවට පත්වෙයි.
මේ ගීය පසුපස තවත් නිර්මාණශීලී මිනිසුන් දෙදෙනෙකු සිටී. එනම් මනා ගායන පෞරුෂයකින් හෙබි අමරසිරි පීරිස් සමඟ හෙට දවස බාරගත හැකි සංගීතඥයකු වන ඩෙනිස්ටර් පෙරේරාය. මගේ පුංචි රෝස මලේ, හන්තානට පායන හඳ, ඔබ ආයෙමත් ඇවිදින්, වැනි ගීතවල තනු නිර්මාණය කරමින් ඩෙනිස්ටර් සිංහල ගීතය තුළ තම සලකුණ තබා තිබේ. මේ ත්‍රිපුද්ගල සංයෝගය මේ ගීයේ රසය පිටුපස සැඟවී සිටී.
උපාලි මල්දෙණිය වැනි ගීත කලාවට හානි නොකරන ගීතයට ආදරය කරන රචකයන් අපට මේ යුගයේ අත්‍යවශ්‍යය. එබැවින් ඔහු ගන්නා උත්සාහය වෙනුවෙන් මල් මිටක් තබමින් මම සමුගනිමි.