Pages

Saturday, July 09, 2011

අකාලේ මියගිය සෙනෙහසේ ගීතය

මගේ සිත මීට වසර තිස්එකක් තරම් ඈතට දිවයයි. සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් ව මම උසස් පෙළ විද්‍යා අංශය තෝරාගෙන සිටියෙමි. කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ විද්‍යා අංශයේ ඉගෙනුම ලැබූ මම විද්‍යා අංශය තෝරාගැනීම පිළිබඳ ව පශ්චාත්තාප වෙමින් සිටියෙමි. අප පාසලේ පස්මහල් විද්‍යාගාරයට යාබද ව දෙමහල් විද්‍යාගාරයක් පැවතිණි. එහි බිම් මහලේ කොරිඩෝව විවිධ දැන්වීම් පුවරු සඳහා වෙන්වී පැවතිණි. මේ කොරිඩෝව දිගේ යමින් සිටිය දී මගේ මිත්‍රයකු මගෙන් පැනයක් ඇසීය.

”උඹ ප්‍රණීත් අයියා දන්නවද?”
ඔහු ප්‍රශ්න කළේ පාසලේ ජ්‍යෙෂ්ඨ සිසුවකු පිළිබඳවයි. පැසිපන්දු ක්‍රීඩාව ගැන පමණක් තදින් සිත යොමා සිටි මා මිත්‍රයාට පැවසුවේ නොදන්නා බවකි. ඉන්පසු දැන්වීම් පුවරුවක් ළඟට මා කැඳවාගෙන ගිය මගේ මිත්‍රයා එහි සවිකර තිබූ කවි පෙළක් මට පෙන්වීය.
ආට් එකේ අයියා කෙනෙක්, ලස්සනට කවි ලියනවා...
එකල කවි ගැන මට උනන්දුවක් නොතිබුණු බැවින් මම “ආ එහෙමද?” යනුවෙන් පැවසීමි. ඉන්පසු පන්ති කාමරයේ දී මගේ මිත්‍රයා පොත් අතරින් කාන්තා පුවත්පත් පිටුවක් ගෙන පෙන්වීය.
එහි ද ප්‍රණීත් අභයසුන්දර නම් වූ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයා ගේ කවි පෙළක් දක්නට ලැබිණි. විද්‍යා විෂය ගැන කලකිරී සිටි මට කලා ශිෂ්‍යයන් ගැන ආදරයක් ඇති විය.
පසුව විද්‍යා විෂයයන් අතහැර කලා විෂයයන් තෝරා ගැනීමට මෙවැනි සිදුවීම් ද හේතු වූවා පමණක් නොව ප්‍රණීත් අභයසුන්දර යන නම ද මා තුළ නොමැකෙන ලෙස සටහන් විණි. ඉන්පසු මා ඔහුව දුටුවේ “ජෝන් ද සිල්වා” සමරු රඟහලේ “අහෝ මිත්‍රවරුනි” නමින් මා කවිපොතක් එළිදක්වන අවස්ථාවේදීය.
ඉන්පසුව වරක් දෙවරක් කතාබහ කරන්නට අවස්ථාව ලැබුණ මුත් අප අතර ඇසුරක් නොවිණි. එහෙත් මේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයා කීර්තිමත් ගීත රචකයකු වූ ආකාරයත් සරසවි ඇදුරකු වූ ආකාරයත් කීර්තිමත් විද්වතකු වූ ආකාරයත් මා පසෙකට වී බලා සිටියේ පාසල නිසා උපන් නිහඬ ආඩම්බරයකිනි.
ඔහු ලියූ ගීත රචනා අප්‍රමාණ ය. මා අද මේ ගීතය තෝරාගත්තේ, ඊයේ හවස මට කලකට පසු මේ ගීය අසන්නට ලැබූ බැවිණි.
more
වහා ම පදමාලාව කුරුටුගාගත් මම, ඔහුගේ මා තෝරා ගෙන තිබු ගීතය බැහැර කොට (වරදක් කළත් සිතකින් නොවේ) මේ ගීතයට යොමුවූයේ මගේ සිත රිදෙන තැන් කීපයක් ද ගීතයේ අන්තර්ගත බැවිනි.
”සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී...
හදවත උපන් ආදරයේ නාමයෙන් එකවහළක් යටට එක්වීමට පෙරුම් පිරූ පෙම්වත් යුවළකගේ අහඹු දුරස්වීමක දෝංකාරය මේ පදමාලාව තුළ අන්තර්ගත ය. ආදරයෙන් එක්වීමට ඔවුන් ගත් අසීමිත උත්සාහය, “අහසේ තරු ගැන්නා”... මුහුදේ රළ මැන්නා” වැනි ප්‍රකාශයන්ගෙන් රචකයා දැනුම්වත් කරයි. ජීවිතයේ සදාකල් එකට ගමන් කිරීමට, අහසේ තරු ගණින, මුහුදේ රළ මනින පෙම්වතුන් කොතෙක් වේද? එහෙත් ඔවුහු සක්වාලිහිණින් මෙන් අවසානයේ දෙතැනක තනිවෙති.
මට මේ මොහොතේ ගී පදමාලා කීපයක් ම සිහිවේ. ආදරය සමඟ මුසුවන කඳුළ මෙන් ම ඒ මඟින් උරුමවන අප්‍රමාණ දුක් කන්දරාව ඒ නිර්මාණ තුළ ගැබ් ව පවතී.
චේතනා පරිශුද්ධ වූ වත්
පෙම් සටන් පරදී
අසාධාරණ හැගුම් කැටිවුණු
කුරිරු මිනිසුන් වෙසෙන ලෝකෙක
චේතනා පරිශුද්ධ වූවත්
පෙම් සටන් පරදී
(ගායනය - සනත් නන්දසිරි)

පෙම්වතියන්ගේ පෙම්වතියන්නේ
මහා සාගරේ
කඳුළෙන් ජල කඳ සැදුණේ
සුසුමෙනි රළ නැඟුණේ
පෙම්වතියෝ...
(ගායනය – ඇන්ජලීන් ගුණතිලක)

කැකුළක් සිඳුනෙන් හදවත පිපුණු
කඳුළෙන් කටු මත විෂ තිබුණා
බිඳුණොත් බඳුනක පිළියම් කරනට
බැරි කැළලක් මතු වී තිබුණා
හදවතේ ආදරයේ කැකුළ මෝදුවන විට ම නටු අග කටුවල විෂ දැනෙන්නට පටන්ගනියි. ඒ පෙම් කැකුළ පෙති විදහා විකසිත නොවන්නේ ඒ විෂ නිසා ය. ඒ නිසා ම ඒ නැවුම් ආදරය නැවත යා කළ නොහැකි බිඳෙන බඳුනක් බවට පත්වෙයි. පිරූ පාරමි දම් ග¼ඟට කැපූ ඉනි බවට පත්වෙයි. මෙය සංසාරයේ කළ අකුසල් පලදීම විනා වෙන කුමක් ද?
පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුණා....
මෙහි හැඟීම්බර ම ප්‍රකාශය වන්නේ අවසාන ප්‍රකාශයයි.
”මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුණා...
මේ ප්‍රේමයේ දිග්විජය ලැබීමට පෙම්වතා ගත්තා වූ අපරිමිත උත්සාහයත් එහෙත් ඇය දිනාගැනීමට ඒ හැම අවස්ථාවේදී ම ඔහුට නොහැකි වූ ආකාරයත් ඒ මඟින් හැඟීම්බර ව ප්‍රකාශ වේ.
අසංග ප්‍රියමන්ත පීරිස්, මඟ වරදාගත් ගායකයකු වුවද මේ ගායනයේ දී ඔහු ගේ පැරණි ප්‍රතිභාව නැවත නැවතත් ඉස්මතු වෙයි. අසංගගේ හඬ හා ගායන ලාලිත්‍යය, වෙළෙඳ රැල්ලෙන් එහා යා හැකි හඬ පෞරුෂයකි. ඔහු එයින් ප්‍රයෝජන ගන්නා බවක් නොපෙනේ. එහෙත් තම ගීත චාරිකාවේ මතක සටහන් රැසක් ඔහු අපට ඉතිරි කිරීමට තරම් කාරුණික වී තිබේ. මේ ගීතය ඒ අතරින් එකකි.
මහින්ද බණ්ඩාර නිර්මාණශීලී සංගීතඥයෙකි. එහෙත් ඔහුට ද ඒ ගමන යාමට උවමනාවක් ඇති බවක් නොපෙනේ. නැතිනම් ඔහුට ලැබෙන පදමාලා ඔහුට යමක් කළ හැකි නිර්මාණ බවට පත්වන අවස්ථා විරල විය යුතුය. එහෙත් මේ ගීතයේ දී මහින්ද බණ්ඩාර නැමැති ශිල්පියා ඉක්මවා සංගීතඥයා ඉස්මතුවේ. ලිපිය අවසන් කිරීමට පෙර සුනිල් ආරියරත්නයන් ගේ පදමාලාවක අවසන් වචන පෙළ මෙහි තැන්පත් කරමි.
ආලයට දිවි පිදූවන් මිස
ආලයෙන් ජය ලැබූවන් නැත
කඳුළකින් තොර පෙම් කතාවක
සටහනක් හමුවේද කිසිදින....
වසර තිහක් පසුපසට ගොස් මම මෙසේ අමතමි. ප්‍රණීත් අයියේ... ඔබේ හොඳ ම නිර්මාණය අද නොවේ හෙටයි.