කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන රුවන්වැකිය තරමට පට්‌ටා ගහන ලද අදහසක් මෙතෙක් කියවීම වෙනුවෙන් ගොඩ නැගුනේ නැහැ. මුද්‍රිත වගේම විද්යුත් කියවීම මගින්ද මේ අදහස වෙනස් වුණේ නැහැ. වෙනස් වෙන්නෙත් නැහැ. තවත් උදවිය මේ අදහස වෙනස් කරමින් කියවීම මිනිසා අංග සම්පූර්ණ කරයි යනුවෙන් මේ අදහසට නව අර්ථ කථනයක් ලබා දුන්නා. කියවන දේ ගැන තේරුම් බේරුම් කරමින් බොහෝ දෙනාගේ අදහස වුණේ විදිහට අංග සම්පූර්ණ මිනිසෙක් වෙනුවෙන් හරවත් යමක් කියවිය යුතු බවයි. ප්‍රබන්ධ සාහිත්‍ය කියවීම නිසා පුද්ගලයකුට බලපෑමක් සිදු නොවන බව පිළිගෙන තිබුණත් නවකතාව මොළයේ වෙනස්‌කම් ඇති කිරීමට හේතු වෙන බව දැන් පිළිගෙන තිබෙනවා.
නවකතා කියවීම මගින් මිනිසුන්ගේ ජීවිතය වෙනස් වෙන බව ජෝර්ජියාවේ ඇට්‌ලන්ටා හි සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දෙනවා. මෙහිදී ඔවුන් මොළයේ ජාලයන් හඳුනා ගැනීමට පරිලෝකන fMRI පරීක්‌ෂණයන් යොදා ගත්තා. මෙහිදී ප්‍රබන්ධ කතාවකින් කොටසක් කියවන්නට දී දින කිපයක් මොළයේ ක්‍රියාකාරිත්වය අධ්‍යයන කරනු ලැබුවා. මෙහිදී ඔවුන් සිසුන් දොළොස් දෙනෙක් සම්බන්ධ කර ගත්තා. දින දහනවයක කාලයක් තුළ මෙම අධ්‍යනය සිදු කරනු ලැබුවා. මේ සඳහා යොදා ගත්තේ රොබට් හැරිස් විසින් රචනා කරන ලද Pompeii නම් ග්‍රන්ථයයි. මේ වෙනුවෙන් යොදා ගත්තේ ඉතාලියේ සිදු වුණ දරුණු ෙ€දවාචකයක් වූ විසුවියස් ගිනි කන්ද පිපීරීමෙන් සිදු වුණ ෙ€දවාචකයයි. විසුවියස් ගිනිකන්ද පිපිරෙන කල්තියා දැන ගන්නා පුද්ගලයෙක් තමන්ගේ පෙම්වතිය බේරා ගැනීමට දරන වෙහෙස කතාවේ දිග හැරෙන්නේ ත්‍රාසජනක විලාසයකටයි. මෙම කතාවේ තේමාව බෙහෙවින් ප්‍ර්‍රබල බව අධ්‍යනය මෙහෙයවන ඇට්‌ලන්ටාහි එමෝරි විශ්වවිද්‍යාලයේ ග්‍රෙගරි බර්න්ස් සඳහන් කරනවා.
මෙම අධ්‍යනයේදී මුල් දින පහේදී ශිෂ්‍යන්ගේ මොළයේ චුම්බක අනුනාද ප්‍රතිබිම්බ fMRI ස්‌කැන් ජායාරූප ලබා ගත්තා. මේ පිරිසට පොම්පෙයි කතාවෙන් පිටු තිහක් කියවන්නට ලබා දුන්නා. නවකතාව කියවීමට වඩාත් යෝග්‍ය කාලය හවස බැව් මෙහිදී පෙන්වා දී තිබුණා. හවස පොත කියවු අයගෙන් පසු දින උදේ ස්‌කැන් ජායාරූප ලබා ගත්තා. මෙහිදී පෙනී ගියේ මොළයේ fMRI ජායාරූප ලබා දින නවයක් පුරා පොම්පෙයි නවකතාවෙන් පරිච්ඡේද නවයක් කියවන්නට ලබා දීමෙන් පසු නැවතත් දින පහක් මුළුල්ලේ මෙම පිරිසගේ මොළයේ ජායාරූප ලබා ගත්තා. මොළයෙහි භාෂාවට සම්බන්ධව තිබෙන කොටසෙහි ඉහළ වර්ධනයක් සිදු වී තිබෙන බව මෙම අධ්‍යනයේදී පෙනී ගියා.
මොළයේ වම් කොටස භාෂාව හැසිරවීමට බලපාන අතර මධ්‍යම කොටස බෙහෙවින් බලපාන්නේ චාලක මධ්‍යස්‌ථානයක් විදිහටයි. මධ්‍යම කොටසේ තිබෙන නියුරෝන කායික සංවේදන සහ චාලක ක්‍රියාකාරකම් සමග සම්බන්ධයි. අතීතය පටන්ම සමාජ විද්‍යාඥයන්ගේ අදහස වුණේ පුද්ගල ගති පැවතුම් වෙනස් කිරීමට පරිසරය වගේම කියවන පොත පත බෙහෙවින් බලපාන බවයි. මේ නිසාම අතීතයේදී වැඩිහිටියන් දරුවන් වෙනුවෙන් වූ සාහිත්‍යන් ගොඩ නගන්නට වුණේ ඔවුන් පත පොත තුළින් හඳුනා ගත් චරිත අනුව තමන්ගේ ජීවිතය ගොඩනඟා ගනිතැයි වූ පිළිගැනීම නිසයි. මේ අදහස සමාජගතව තිබුණත් ඒ පිටුපස වු විද්‍යාත්මක තත්වය නිශ්චය ලෙසින්ම සනාථ වුණේ නැහැ.
පරික්‌ෂණය සිදු කරන අතරත් සිසුන්ට නවකතාව කියවීමට අවස්‌ථාව ලබා දුන්නා. එවිටත් මොළයේ භාෂාව සමග සම්බන්ධව ක්‍රියා කරන කොටසෙහි ඉහළ සම්බන්ධතාවය ඒ අන්දමින්ම දැක ගන්නට ලැබුණ බව ග්‍රෙගරි බර්න්ස් සඳහන් කරනවා. මේ අන්දමට නවකතාවන් කියවීම මගින් පුද්ගලයන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වයට බලපෑමක් සිදු වෙන බව අධ්‍යනය මගින් පෙන්වා දෙනවා.
පුන්‍යා චාන්දනි ද සිල්වා - Sunday Divaina