කවර ජාතියකට... ආගමකට... සංස්‌කෘතියකට අයත් වුවද කාන්තාවනට ඇත්තේ සියුමැලි සිත් සතන් යෑයි කවුරු කවුරුත් අදහති. ඉදින්, එවන් වූ සියුමැලි චිත්ත සන්තානයෝ මෙපමණකටම වියරු වැටී ගිය තත්ත්වයකට පත්වුණේ කෙලෙසද...? ආර්ථික ප්‍රශ්න... සමාජ ප්‍රශ්න... නොසලකා හැරීම්... අඩන්තේට්‌ටම්... නිසාද...? aනැතහොත් තම උත්තරීතර බව... වන්දනීය බව... හරිහමන් ලෙස අවබෝධ කොට නොගත් නිසාද....?ඒ මීට වසරකට පමණ ඉහතදී කවර හෝ දිනෙක. ගුවන් විදුලි නාලිකා.... රූපවාහිනී නාලිකා... මෙන්ම දිනපතා හා සති අන්ත පුවත්පත් ගණනාවක්‌ද අතිශයෝක්‌තියෙන් යුතුව එකී සිද්ධිය වාර්තා කළ අයුරු මගේ සිහියට නැගෙයි. කළුතර පාලම මත සිට කවර හෝ මවක විසින් සිය දරුවා කළු ගඟට වීසි කරනු ලැබූ පුවත සංවේදී චිත්ත සන්තාන ඇත්තවුන්ගේ දෙනෙතට කඳුළු කැට එක් කළාට කිසිත් සැක සංකා නැත. ඒ දිනවල කවුරු කවුරුත් මේ මැය ගැන කතා කළේ තරගයට මෙනි. එකිනෙකා අභිභවා යමිනි. "ඒ කාලකණ්‌නි පාහර ගෑණි..." යෑයි සැහැසි ලෙස තෙපලමින් දරුවාගේ මවට දෙස් දෙවොල් තැබූවෝ බොහෝ වූ බව අමුතුවෙන් නොකිවමනා ය. "ඔව් ඉතින්... බඩු මිල අහස උසට... කිරි පැකට් එකක් කීයද.....? හාල් සේරුවක් කීයද....? එහෙව් රටක දරුවෝ ගඟට වීසි කරනවා කියන එක අහන්ටත් දෙයක් යෑ...." යනුවෙන් තෙපලමින් මේ සිද්ධිය සාධාරණීකරණය කළ අමනයෝද නොසිටියාම නොවේ. රට සංවර්ධනය කිරීම පල රහිත බවත්,.. තනන ලද පාලම් මතට විත් අම්මලා සිය දරුවෝ ගඟට වීසි කරන්නේ ආර්ථික ප්‍රශ්න නිසා බවත්... ඒ මරණයට ආණ්‌ඩුව වගකිව යුතු බවත් වක්‍රෝත්තියෙන් යුතුව සඳහන් කරමින් පත්තරවලට ලිපි ලියූ "කුහක දේශපාලන විශ්ලේෂකයෝ" එතුළින් හෝ තම "දේශපාලන සරණාගත භාවය" වසන් කර ගැනීමට දත කෑ යුරු ද ජුගුප්සාජනකමය.
more
කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. ඒ දිනය හරියටම පවසනවා නම් 2010.11.12 දා, සිකුරාදාය. ඊට පෙර දිනයේ, එනම් 11 දා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවෙන් මුලු කොළඹ නගරයම ජලාශයක අසිරිය ගත්තේය. නගර... වීදි... මංමාවත් සියල්ල වැසි ජලයෙන් යටවී යද්දී මඟ තොටට බටවුන් "අන්දුන් කුන්දුන්" වුණේ යන්නේ කොයි දෙසට දැයි සිතාගත නොහීය. පසුදින (12 දා) පුවත්පත් සියල්ලක්‌ම පාහේ මේ විපත්තිය ප්‍රමුඛත්වයෙහි ලා සලකා තොරතුරු හා ඡායාරූප වාර්තා කොට තිබිණි. උඩින් පල්ලෙන් මෙන් පුවත්පත් කියවාගෙන... කියවාගෙන යද්දී මා අතට පත්වුණේ "දිවයින" පුවත්පතයි. එහි මුල් පිටුවේ පහළ කෙළවරේ පළව තිබුණු එක්‌තරා සුවිශේෂී ඡායාරූපයකි...· මොරසූරන වැසි ඇද වැටෙද්දී පණ බයේ ඔබ මොබ දිවගිය මිනිසුන්ට අපූර්ව පාඩමක් කියාදුන් මිනිස් මවකගේ නොව තිරිසන් මවකගේ රුවක් සිය තෙවැනි ඇසට හසුකොට ගෙන තිබුණේ අන් කවරකු හෝ නොව ඡායාරූප ශිල්පී කමල් වන්නිආරච්චි ය. මිනිසුන්ගේ පමණක් නොව තිරිසනුන්ගේද වාසස්‌ථාන ආක්‍රමණය කරමින් ජල දහරාවෝ ගලාගෙන එද්දී තමා පමණක් රැකෙනු වෙනුවට තම දරු පැටවාද කටින් එල්ලාගෙන සුරක්‍ෂිත ස්‌ථානයක් කරා දිවයන බැල්ලියකගේ රුවක් එහි දැකගත හැකිවිණි. ඊටම ගැලපෙන විස්‌තරයක් ද එහි සටහන්ව තිබිණි. "වීසි කරන්නට දරුවන් තනනා ලෝකයක නුඹ..." යනුවෙන් සේයාරුවට ඉහළින් අපූර්ව වැකියක්‌ද යොදා තිබිණි. මම ගල් ගැසී ගියෙමි... ඇස් අදහා ගත නො හැකිව මිනිත්තු කිහිපයක් එදෙස බලා සිටියෙමි.... එමතු නොව, "අනේ පව්...·" යනුවෙන් මම මටම කියා ගත්තෙමි.
එබැවින්ම, පැටවුන් හත් අට දෙනෙකු වැදුවා කියා හෝ... තන පුඩුවල කිරි නොමැතිව වියළී සිඳී ගියා කියා හෝ තිරිසන් මව්වරු කිසි කලෙකත් තම දරුවන්ට නොසලකා නොහරිති. සපා කා හෝ... පාගා හෝ උනුන් වැනසීමට ද තැත් නොකරති. එහෙත්, අපේ අම්මලා...? කුඩු පැකැට්‌ටුව මිලදී ගැනීමට මුදල් නොමැතිවූ කල හයක් හතරක් නොතේරෙන කිරිසප්පයා කවරෙකුට හෝ විකුණා තම සිතැඟියාවෝ ඉටුකර ගැනීමට කටයුතු කරත්. නොඑසේ නම් උපන් ඇසිල්ලේම තම දරුවා කුණුබක්‌කියකට හෝ වැසිකිළි වළකට වීසිකර දැමීමට තරම් සැහැසි වෙති. ඉනුත් නොනැවතී, සුලු වරදක් දුටු තැනෙකදී පවා නිර්දය ලෙස පහර දෙමින් දරුවා අසීමිත ලෙස කායිකව සේම මානසිකවද පීඩාවට පත් කරති. එහෙත්, විමසා බැලිය යුතු පැන කිහිපයකි...·
ආර්ථික ප්‍රහ්න නැත්තේ කාටද...? කෙසේ හෝ වේවා, ආර්ථික ප්‍රශ්න තිබුණා යෑයි කියා අසරණ දරු පැටවුන්ගෙන් පලිගැනීම කොතෙක් නම් සාධාරණද...? "දරුවන්ට ලස්‌සන හෙට දවසක් උදා කරමු..." යෑයි කටමැත දෙඩවීමෙන් පමණක් ම දරුවන්ට සොඳුරු හෙට දවසක් උදාකරලිය හැකිවේද....?
දරුවෝ වැරදි කරන්නේ බොහෝවිට හිතාමතා නොව ඒ ලා දලු... ලපටි චිත්ත සන්තානයෝ හරි කුමක්‌ද....? වැරදි කුමක්‌ද...? යන්න පවා හරියාකාර ලෙස නොදන්නා නිසාමය. ඉදින්, එබඳු තැන්හිදී පහර දීමෙන් පමණක්‌ම.... තර්ජන ගර්ජන කිරීම තුළින් පමණක්‌ම උනුන් යහමගට ගත හැකිවේ යෑයි කවරෙකු වුව සිතන්නේ නම් එය මහා මුලාවකි. ආදරය... සෙනෙහස... මේ දරු පැටවුන්ට නොමඳව අවශ්‍යමය. දරුවෝ නොසණ්‌ඩාලකම් කරන්නේ අනෙකක් නිසා නොව වැඩිහිටියන්ගේ ආදරය.... අවධානය හරියාකාර ලෙස නොලැබී යාම නිසාමය. ඉඳින්, අන් අය කෙසේ වතුදු අපේ සෙනෙහෙබර... ආදරණීය අම්මාවරු මේ දේ නම් අවබෝධ කොට ගත යුතුමය. මන්ද, මිහිකත සියල්ල නිමවාලීමට හිරු රැස් සේම මවගේ ක්‍ෂිර දහරාවෝද අපරිමිත දායකත්වයක් ලබා දී ඇති නිසාමය.
"මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා....
අහස් තලෙන් මරු කතරට වහින වැස්‌ස අම්මා..."
ඒ ගේය පද කිහිපය කවරකු හෝ මුමුණන්නාක් මෙන් මට දැනිණි. සැබෑවකි...· වියළී මිලිනවී... කෘශව... ඇදහැලෙන්නට ඔන්න මෙන්න තත්ත්වයේ පවතින මේ ලෝ ධාතුව පණගන්වමින් ඇදහැලෙන දියදහර අම්මා ය. එමතු නොව යන්නේ කොයි දැයි හරිහැටි නොදැන කතරක මං මුලාවී සිටින්නවුන්ගේ ගත සිත සනසාලන මහා වැස්‌සද අම්මා මය. "උණුහපුලුවාට උගේ පැටියා මැණිකක්..." යෑයි කියන්නාක් මෙන් කොයි අම්මාට වුවද දැනෙන දරු සෙනෙහස අපිරිමිතය. තම දරු පැටියා සේම ලොව සුවහස් දරු පැටවුන් ද අම්මා කෙනෙකුට තමන්ගේම දරු පැටියෙකි. මහ මඟ කුණු බක්‌කියෙන් හමුවූ අසරණ දරු පැටවකු දුටු කල.... කබරුන්ට කන්නට කැලයකට වීසිකොට සිටියදී පෙර පිනක් නිසා හෝ දිවි ගලවාගත් දරු පැටවකු දුටු කල.... දෙනෙත්වලින් කඳුළු දහරාවෝ රූරා ඇද හැලෙන්නේත්.. රත් පැහැති රුධිර දහරාවෝ ශ්වේත වර්ණ කිරි බවට පත්වන්නේත්... එමතු නොව, සිප වැළඳගනිමින් අපිරිමිත ලෙස සෙනෙහෙ පාන්නේත් අම්මලාගේ පැතුම අනෙකක් නොව දරුවන්ගේ යහපතම වන නිසාය. කාගේ වුවද දරුවෙක්‌ය යන්න තරයේම අදහන නිසාමය. එමතු නොව දරුවකු මෙලොවට ජනිත කරන්නට කවර අම්මා කෙනෙකු වුව දරන්නාවූ වෙහෙස... විඳින්නාවූ වේදනාවෝ කොතෙක්‌ද යන්නත් හො¹කාරවම දන්නා නිසාවෙනි.
අහෝ...· එබදු අම්මලා හමුවේ මේ අම්මා...?" මිනිස් වෙස් ගත් යකිනියක්‌දොa...?" විටෙක කවරෙකුට වුව සිතුනොත් පුදුමයට කරුණක් නම් නොවේ. "අම්මලා මෙතරම්ම සැහැසිදොa.....?" කවුරු කවුරුත් විමතියට පත්ව කල්පනා කරනවා සිකුරුය. රජරට ප්‍රදේශයේ කවර හෝ ගම්මානයක සිදු වූ මේ සිද්ධිය ඔබේ හදවත කකියවන එකක් වනවා සිකුරුය. "ගෙදර බුදුන් අම්මා..." යෑයි කියන්නේ හැබෑවටම දැයි මොහොතකට හෝ සිතනවා ඒකාන්තය.
අපේ කථා නායිකාව වන මේ මව දියණියන් දෙදෙනකුගේ හා එක් පුතෙකුගේ මවකි. සැමියා හෝටලයක සේවය කළ අතර නිතර නිවසට අවේ ගියේද නැත. කාලය ක්‍රමක්‍රමයෙන් ගෙවී යද්දී බාල දියණිය ප්‍රථමයෙනුත්... වැඩිමහල් දියණිය ඉනික්‌බිතිත්.... විවාහ කර දීමට මේ අම්මා කටයුතු කළාය. වැඩිමල් දියණිය විවාහ කරදුන් දිනයේ රුපියල් ලක්‍ෂ හතරක පමණ දැවැද්දක්‌ද ඈට දීමට මේ අම්මා කටයුතු කළාය. "අනේ....· ඇති යාන්තං.... ඔළුවේ තිබුණු ලොකු බරකින් මාව නිදහස් වුණා..." ඒ අම්මා එසේ සිතුවාය.
අහෝ...· අවාසනාවක මහත..... සියලු දෙනාම එකම නිවෙසක ජීවත් වෙමින් සිටින අතරතුරේදී වැඩිමල් දියණිය හා ඇගේ සැමියා එක්‌ව උනුන්ගේ පරිහරණය උදෙසා නව නිවසක් තනන්නට වූහ. මේ අතරතුරේදී ආර්ථික ප්‍රශ්නද ක්‍රම ක්‍රමයෙන් උග්‍රවන්නට වූයෙන් අම්මලා... දුවලා අතරේ අඬ දබරද දලුලා වැඩෙන්නට විණි. කාලය ක්‍රම ක්‍රමයෙන් ගෙවී ගියේය. කවර හෝ හේතුවක් මත වැඩිමල් දියණියට අගේ සැමියාගෙන් දික්‌කසාද වීමටද සිදුවිණි.
මේ අතරතුරේදී වැඩිමල් දියණිය මැදපෙරදිග රැකියාවකට ගොස් නැවතත් මව් රට බලා ආවාය. මව... බාල දියණිය සහ පුතුද ඒවනවිට වැඩිමල් දියණිය තැනූ නිවසට වී උන්හ.
"ලොකු දුව.... ඔයාට දැවැදි දෙන්න ගිහිල්ලා අපේ අතේ තිබුණු සේසතම ඉවර වුණා.... ඔයාලා හදපු ගේ අපට දෙන්න...." මව එසේ පැවසුවාය. "විකාර කතා කරනවාද...? ඒක කීයටවත් කරන්න බෑ..." වැඩිමල් දියණිය අකැමැති සිතින් යුතුව පැවැසුවාය. එදා පටන් ඔවුන් එකිනෙකා හා හොඳින් සිටි දවසක් නොතිබුණු තරම්ය. දිගින් දිගටම ඇතිවූ අඬදබර සේම ගුටි බැට හුවමාරු කර ගැනීම්ද මේ කැදැල්ලේ සතුට සොරාගත්තේ උනුන් කවුරුන්හෝ නොසිතූ... නොපැතූ... පරිද්දෙනි.
මාරයාගේ හෝරාව එළැඹී තිබිණි. වෙනදා මෙන් නොව එදින නිවසේ සෙසු උදවිය අහළ පහළ උදවියද හා එක්‌ව මංගල උත්සවයකට සහභාගී වී සිටියහ. මුදල් ප්‍රශ්නයක් හේතු කොටගෙන අම්මා සහ දියණිය රණ්‌ඩු කරගන්නට වූහ. රණ්‌ඩුව කෙමෙන් කෙමෙන් දුරදිග ගියේය. දියණිය තම මවගේ අත සපා කෑවාය. මවගේ කෝපය දෙගුණ තෙගුණ විණි. ඕ තම දියණියට හොඳහැටි අතින් පයින් පහර දුන්නාය. කුස්‌සිය මුල්ලෙහි වූ දොර පොල්ල දුටු ඕ වහ වහා එය අතට ගත්තාය. දැත බදා දුන් පහරින් දියණිය අඩ පණවී ඇද වැටුණාය. ප්‍රාණය නිරුද්ධ මල සිරුර වැසිකිළි වළක් තුළ සැඟව ගියේ ඉන් අනතුරුවය.
සියල්ල කාලයේ වැලි තලා මතින් වැසී යනු ඇතැයි ඒ අම්මා ද සිතුවාට කිසිත් සැක සංකා නොමැත. එහෙත්, එය කවරදාකනම් එලෙසින්ම සිදුවන්නක්‌ද....? "අපරාධයට දඬුවම නියතය..." යන කියමන මොනවට පසක් කරමින් සියල්ල අවසන ඕ පොලිස් අත්අඩංගුවට පත් වුණාය. අද වනවිට රක්‍ෂිත බන්ධනාගාරයට වී සිටින ඇයට" අනේ...· මම ඉක්‌මන් නොවී තව ටිකක් ඉවසුවානම්..." යන සිතූවිල්ල පහළ වී ඇතුවාට කිසිත් සැකයක් නැත.
අපි දැන් වෙනතකට හැරෙමු...· කවර ජාතියකට... ආගමකට... සංස්‌කෘතියකට අයත් වුවද කාන්තාවනට ඇත්තේ සියුමැලි සිත් සතන් යෑයි කවුරු කවුරුත් අදහති. ඉදින්, එවන් වූ සියුමැලි චිත්ත සන්තානයෝ මෙපමණ කටම වියරු වැටී ගිය තත්ත්වයකට පත්වුණේ කෙලෙසද...? ආර්ථික ප්‍රශ්න... සමාජ ප්‍රශ්න... නොසලකා හැරීම්... අඩන්තේට්‌ටම්... නිසාද...? නැතහොත් තම උත්තරීතර බව... වන්දනීය බව... හරිහමන් ලෙස අවබෝධ කොට නොගත් නිසාද....? කවුරු කවුරුත් විමසා බැලිය යුතුව ඇති බව නම් තවදුරටත් රහසක් වීමට නම් පුළුවන් කමක් ඇත්තේම නැත.
මේ කතාවද කවුරු කවුරුත් පාහේ නිරතුරුවම කියන එකකි. "අම්මලාට අනික් හැමෝටම වඩා දුර දක්‌නා නුවණ තියෙනවා... දරුවෝ ගැන වූණත් වැඩිපුර කැක්‌කුමක් තියෙන්නේ අම්මලාට...." සැබෑවකි...· දරිද්‍රතාවයේ පතුළටම ඇද වැටී අපාදුක් විඳි පවුල් ඒකක වෙතට අරුණාලෝකය උදාකළ අම්මලා අප සමාජය තුළ කොතෙකුත් සිටිනවාට කිසිත් සැකයක් නැත. එමතු නොව, බීඩි ඔතමින්... වල් කපමින්.... එකතුකර ගත් රුපියල් ශතවලින් දරුමල්ලන්ට හොඳ අධ්‍යාපනයක් ලබදී ඔවුන් අභිමානවත් පුරවැසියන් බවට පත්කළ අම්මලාද කොතෙකුත් සිටිති. ඉදින්, කාන්තාවන්ගේ... අම්මලාගේ... දුර දක්‌නා නුවණ කියා පෑමට තව අටුවා ටීකා කුමටද...? එහෙත්, ඒ අම්මලාගේ දුර දක්‌නා නුවණ ගිලිහී ගිය කල....? අපේ දරුපරපුරේ අනාගතය කොයි බටද...? "තොටිල්ල පදවන අත ලොව ආණ්‌ඩු කෙරේ..." යන්න කෙලෙසක නම් යථාර්ථවත් කරන්නද...?
දසමස කුසදරා... රුහිරු කිරිකර පොවා... දරුවන් ඇති දැඩි කරන්නට අම්මා ඉසිලූ දුක් කන්දරාව අපරිමිතය. ඒ ගැන කීමට වදන් වැකි ද නැතිවාට කිසිත් සැකයක් නැත. මේ සියලු දුක්‌වේදනා ඕ ඉවසන්නේ දාරකප්‍රේමය නිසාමය. එනයින් ගත් කල "අම්මා" යනු ඉවසීමේ ප්‍රතිමූර්ති යයි. පවුල් ඒකක තුළ අතොරක් නැතිව ගැටුම් ඇතිවෙද්දී ඒ සියල්ල ඕ ඉවසන්නේ අහිංසක දරුවන්ගේ නාමයෙනි. ඉදින්, එහෙව් අම්මලා අතින්ම දරුවන් මරු තුරුලට පත්වේ නම්...? සලෙලුන්ගේ මනදොල සිඳුවාලන වෙසඟනන්ගේ තත්ත්වයට පත්වේ නම්...? ඊට වඩා ෙ€දයක් තවත් තිබිය හැකි වෙද...?
"ලෝකය බිහිකළ මව්නි ගරු...
ඔබේ නමට මුල් ලොවම වඳී..."
එබැවින්ම. අම්මලා සැවොම පාහේ තම හෘද සාක්‍ෂිය අවදිකළ යුතුව ඇත. මන්ද, "අම්මා" යන උත්තරීතර පදවියේ ගරුත්වය අම්මලා විසින්ම කෙලෙසා ගනු ලබන තත්ත්වයක් උද්ගතවී ඇති හෙයිනි.
අමිල දොලපිහිල්ල - Courtesy - Divaina