Pages

Saturday, July 23, 2011

අවිනිශ්චිත ප්‍රේමයක සුබ ප්‍රාර්ථනාව

ආදරය සැලසුම් සහගත ව හටගන්නක් නොවේ. එය කොහේ කොතැනදී හටගනීදැයි අපි නොදනිමු. එහෙත් එය කොතැනදී හෝ හට ගනී. ආලය රාගයෙන් වෙනස් වන්නේ එය තාවකාලික උවමනාවක් නොවන බැවිනි. රාගය රාගයෙන් නැසිය හැකිය. එහෙත් ආලය ආලයෙන් නැසිය නොහැකි ය. ඒ නිසා ආලය හටගත්තේ කොතැනවක වුවද එය ඇට මස් නහර සිසාරා ගමන් කරයි. ඒ නිසාම ආලය අරඹන තැනදීම ආලවන්ත සිත් බියට පත්වෙයි. ඒ ආලය අහිමිවී යාවිය යන බියයි. එය සාධාරණ බියකි. ඒ සාධාරණ බිය විපුල ධර්මපි‍්‍රය ඉතා ම අපූර්වත්වයෙන් ප්‍රති නිර්මාණය කරයි.
”සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනි දැල්
ඔබම කෙරේ සිත බැඳුණු දිනේ සිට
මගෙම හැඟෙයි ඔබ නම්”
මේ හසරැල් සැඟවීයාවිද, ගිනිදැල් දැල්වී යාවිද යන බිය ඔහුගේ සිතේ හොල්මන් කරයි. එහෙත් ඔහුට දැනෙන්නේ ඇය ඔහුගේ බවයි. ඇයට එවැනි හැඟීමක් නොමැති දැයි යන සැකය ඔහු තුළ හටගනී.
”මගෙම හැඟේ ඔබ නම්”
නැමැති යෙදුම කදිම භාවාතිශය යෙදුමකි. ප්‍රේමයේ සංවේදනා පෞද්ගලිකව නොවිඳි රචකයෙකුට එබඳු යෙදුමක් භාවිතා කළ නොහැකිය.
මේ සංකාව පෙම්වතාගේ සිතුවිලි දිගින් දිගට ම පීඩාවට පත්කරයි. මේ ප්‍රේමයේ ඇරඹුම ඔහු සිහිපත් කරයි. එය අනපේක්‍ෂිත ඇරඹුමකි.
”සඳ එළිය වගේ ඇවිදින්

හද නොපැතු දිනෙක රහසින්
බැස නොයන් මසිත් අහසින්
අත පොවනු නොහැකි දුරකින්”
මට මිල්ටන් පෙරේරා ශූරින් ගේ පද මාලාවක් සිහිවේ.
”දෙපිය නගා යන්නට බැරි
කටු අකුල් කැලේ
සසර වසන තුරු නුඹ නොපිපියන්
සුදු මලේ”
more
කෝඩුකාර පෙම්වතුන් තුළ ඇතිවන අනියත බිය විපුල ධර්මපි‍්‍රය මනා ව ස්පර්ශ කර තිබේ. සැකය බිය, ඊර්ෂාව, ප්‍රාථමික ප්‍රේමයේ අනිවාර්ය ලක්‍ෂණයි. ප්‍රේමයේ සුන්දර ජවනිකා මැවෙන්නේ මේ පසුතලය මතයි. මේ සීමාව පසුකළ විට උත්තරීතර ප්‍රේමය හටගනී. බෝසත්කමට ළං වන ඒ ප්‍රේමය තුළ ගැටුම් නොමැත. එය ක්ෂේම භූමියකි. අභය භූමියකි. එතෙනට ළං වීම අසීරු ය. එම නිසා මේ පෙම්වතා ප්‍රාථමික අවධිය ගත කරමින් සිටී.
එහෙත් පෘථග්ජන ප්‍රේමය තුළ සැක සංකා හටගනී. ලෝකය සිතන තරම් සුන්දර ස්ථානයක් නොවේ. ආදරවන්තයන් වෙන් කිරීමට අවි අමෝරාගත් සතුරු බලවේගයන් ඕනෑ ම මොහොතක සූදානම් ය. ඒ අභියෝගයන්ට මුහුණ දීමට අහිංසක පෙම්වතුන් සූදානම් විය යුතුය. මේ ලෝකයේ බිහිවී ඇති ගීත කවි සියල්ල තුළ මේ දුක් කන්දරාව ඒකරාශී ව පවතී. මුතු බෙල්ලකු වේදනා විඳිමින් මුතු රකින්නාක් මෙන් මේ වේදනා සමුදාය දරාගත යුතු ය. ඒ ප්‍රේමයේ ස්වභාවයයි.
මේ තිගැස්ම වූ කලී සුන්දර තිගැස්මකි. මෙයින් අත් මිදීමට සිත බොහෝදුර දියුණු කළ යුතුය.
සිලි සිලිය පවා සුළඟින්

තනි මැකුවෙ ඔබගෙ සුවඳින්
මේ දිවිය අතර මඟකින්
මග නතර නොකොට හිනැහෙන්
හමා එන මඳ සුළඟේ මුසුවී තිබුණේ ඇගේ සුවඳයි. ඉතින් මේ ආරම්භ කළ ප්‍රේම ලෝකය අතරමග නතර කළ හැකිද? මේ පෙම්වතාට නම් එය කළ නොහැක්කකි. මේ ආදර දිවිය මග නතර නොකිරීම ඔහුගේ ශුභ ප්‍රාර්ථනයයි. එය සෑම අව්‍යාජ පෙම්වතකුගේ ම ප්‍රාර්ථනය නොවේද?
මේ නිර්මාණයේ මීළඟ සුවිශේෂත්වය හටගන්නේ තනු නිර්මාණය තුළයි. සංසාර පුරුද්දෙන් පෙරී ගලා හැලෙන ස්වර රටා සමුදායක් මේ නිර්මාණයේ අන්තර්ගතව පවතී. එය ශ්‍රවණේන්ද්‍රිය තුළින් ඇතුළු වී හද ගැබ කරා ගොස් මනසේ සියුම් කේශනාලිකා සොයා ගමන් කරයි. එච්.එම්. ජයවර්ධනයන් මේ පෙන්වන්නේ මැදිවියට හසුනොවන හදවතේ තාරුණ්‍යයයි. එබැවින් ජයවර්ධනයන් ගේ ස්වර පෞර්ෂය මුළු නිර්මාණයේ ම ආත්මය බවට පත්වෙයි. එසේම ඒ සමඟ බද්ධ වන දිවුල්ගනේ ගේ ගායන ලාලිත්‍යය ඒ ආකාරයෙන්ම සර්වාංගයේ සැරිසරයි.
විපුල ධර්මපි‍්‍රය ජයසේකර නිර්මාණ ගොන්නක් රචනා කළ රචකයකු නොවුවද අනාගතයේ ගී කෙත සරු කිරීමට අවශ්‍ය බොහෝ ගුණාංග ඔහු තුළ පවතින බව පැහැදිලි ය.
පංචේන්ද්‍රියන් පිනවන්නා වූ වස්තූන් ජීවිතයට අවශ්‍ය ය. නිර්මාණයට නොයන්නේ නම් ඒ වස්තුන් අතර සෞන්දර්යය භුක්ති විඳිමින් සිටීමේ වරදක් නැත. ඒ නිසා ඇය ඔහුගේ ම බවට පත්කර ගැනීමට දරන වෑයමක කවර නම් වරදක් ද?
කවදා හෝ මේ සියල්ල හැර දමා අප යායුතුයි. කිසිවක් සදාකාලික නොවේ. එහෙත්, එකිනෙකාට උරුමකම් කීම ළෙන්ගතුවීම ජීවිතය සඳහා පසුබිම සකස් කරයි. ජීවිතයේ ඒකාකාරිත්වය බිඳ දමයි.
මේ සඳ එළිය ඔහුගේ ජීවිතයට අත්‍යවශ්‍ය ය. මේ සුවඳ ඔහුට අවශ්‍ය ය. මේ මොහොතේ මොහු ජීවත් කරවන්නේ මේ සියල්ලයි.
සීත සුළඟක් හමා එයි. එහි කාගේ දෝ සුවඳ ගැබ් වී තිබේ. රෑ අහසේ සඳවතිය සිනාසෙමින් සිටියි. කළුවලාකුළු ඇදී එයි. මේ සඳ වැසීයාවිද? බැස යාවිද? මගේ හිත ද තිගැස්සෙයි.