ගැ - සරස වසන්තය ආයෙත් එනවා නම්
පි - මගේ තරුණ විය මම ඉල්ලා ගන්නම්
දෙදෙනා - අපේ අතීතයෙ මල් මාවත්වල
ඇවිදන් යන්නට
ගැ - සරස වසන්තය ආයෙත් එනවා නම්
ගැ - ලියූ සුපෙම් කවි හසුන් පුරාවට
පොත් පිටු අතරේ හංගා ගන්නට
පි - බොරු විස්සෝපෙන් අහක බලන්නට
ආයෙත් හමු වී හිනා නඟන්නට
දෙදෙනා - සරස වසන්තය ආයෙත් එනවා නම්
ගැ - දෙනෝදහක් මැද හිත් හංගන්නට
සැඟවූ ප්‍රේමය නෙතින් කියන්නට
පි - කාත් කවුරුවත් නැති සීමාවක
හොරෙන්ම හමුවී පෙමින් දොඩන්නට
දෙදෙනා - සරස වසන්තය ආයෙත් එනවා නම්
පදරචනය – නිලාර් එන්.කාසිම්
සංගීතය – ජගත් ජයවර්ධන
ගායනය – අමරසිරි පීරිස් - අනෝමා රාසපුත්‍ර
මා අද මේ සටහන තබන ගීතය ඔබට නිතර නෑසුන ගීයක් විය හැකිය. මා ද මේ ගීතය දෙවරකට වඩා අසා නොමැතිය. එහෙත් මේ ගී පද මට ඇසුණු පළමු දිනයේ ම මෙහි පළමු පද දෙක මගේ මතකය තුළ රැඳුණා පමණක් නොව යම් ශෝකාන්විත හැඟීමක් ද මා තුළ ජනිත විය.
ගැ - සරස වසන්තය ආයෙත් එනවා නම්
පි - මගේ තරුණ විය මම ඉල්ලා ගන්නම්
පි - මගේ තරුණ විය මම ඉල්ලා ගන්නම්
ජීවිතයේ සැඳෑ සමයට ළංවෙමින් සිටින්නා වූ ආදරයෙන් බැඳී ගිය දෙදෙනකු තුළ තමාට අහිමි වූ සුන්දර තරුණ කාලය පිළිබඳ ව ශෝකයෙන් හා ලෝභයෙන් කරන මේ ප්‍රකාශය අතීතය මෙනෙහි කිරීමෙන් ඔවුන් ලබන මානසික ආස්වාදය ද සිහිගන්වන්නකි. වසන්තය යළි නොඑන බව සැබෑවකි. එහෙත් වසන්තය එන්නේ නම් ඔවුන් දෙදෙනාටම ඉල්ලාගන්නට දෙයක් ඇත. ඒ ඔවුන්ගේ තාරුණ්‍යයයි. ඒ මිහිරි අතීතයට යළි ළඟාවිය නොහැකි බැවිනි.
moreආදරය බොළඳ ය. ඒ බොළඳ බව නැතිවන්නට නැතිවන්නට ආදරයේ සෞන්දර්යය පලායයි. විවාහයෙන් පසු බොහෝ ආදරවන්තයන් ගේ ජීවිත ඇල්මැරුණු ඒකාකාරීත්වයකින් වැසීයන්නේ මේ බොළඳ බව පලායාම හේතුවෙනි. මේ ගීයේ පසුබිම්වල දෙදෙනාටම මේ ඒකාකාරීත්වය හොඳින් දැනෙයි.
දෙදෙනා ම වසන්තය ආවොත් තරුණ විය ඉල්ලාගන්නට සැරසෙන්නේ එබැවිනි. අතීතයේ බොළඳ සිදුවීම්වලට ඔවුන් වැඩි වැඩියෙන් ආදරය කරන්නේ එබැවිනි.
ලියූ සුපෙම් කවි හසුන් පුරාවට
පොත් පිටු අතරේ හංගා ගන්නට
බොරු විස්සෝපෙන් අහක බලන්නට
ආයෙත් හමු වී හිනා නඟන්නට
සරස වසන්තය ආයෙත් එනවා නම්..
පොත් පිටු අතරේ හංගා ගන්නට
බොරු විස්සෝපෙන් අහක බලන්නට
ආයෙත් හමු වී හිනා නඟන්නට
සරස වසන්තය ආයෙත් එනවා නම්..
මේ ආදරවන්තයන් ගේ අතීතය එස්.එම්.එස්. යුගයක් නොවේ.
හිත පුරා රැඳුණු ආදරය එකල පිටු පුරා ලියා තැබූ ඔවුන් ඒවා පොත් පිටු අතරේ හංගා ගැනීමෙන් ලැබූ ආස්වාදය මෙනෙහි කරයි. වචනයක් කතා කිරීමට දින, සති, මාස ගණන් පෙරුම්පුරා හොර රහසේ වචන දෙක තුනක් කතාකළ අයුරු සිහිපත් කරයි. ඒ රසය නැවත ජීවිතයේ කවරදාවත් ම ලබාගැනීමට නොහැකිවීම පිළිබඳ ව වේදනාවට පත්වෙයි. දෙදෙනාම ඒ පැරණි ආදරයට යළි යළිත් ආදරය කරයි. මේ පද රචනාවේ විශේෂත්වය එයයි.
කුඩා දෙයකට අමනාප වූ පසු මුහුණ බලන විට අහක බැලීම මේ බොළඳ බවෙහි තවත් අංගයකි. සංගීත් නිපුන් සනත් නන්දසිරිගේ තරමක් පැරණි ගීයක් එක්වරම මට සිහිවෙයි.
පි - “කාගෙද මේ
කෝමල නාමලියා
අහක බලාගෙන හිනැහෙන්නේ
කාගෙද මේ කෝමල නාමලියා
කෝමල නාමලියා
අහක බලාගෙන හිනැහෙන්නේ
කාගෙද මේ කෝමල නාමලියා
ගැ - මූණ බලනකොට – අහක බලන්නම්
අහක බලන කොට – මුහුණ බලන්නම්
කාගෙ උනත් ඇයි දෝ නාමලියා...
අහක බලන කොට – මුහුණ බලන්නම්
කාගෙ උනත් ඇයි දෝ නාමලියා...
ප්‍රේමයේ මෙම බොළඳ තැන් ස්පර්ශ කිරීමෙන් ඒ යුගයට නැවත ළඟාවෙන්නට නොහැකිවීමෙන් මැදිවියේ දී ඇතිවන විස්සෝපයක් නිලාර් එන්.කාසිම් මනාව ස්පර්ශ කරයි.
ශ්‍රී පාද කන්ද මුදුනට තාරපාරක් සාදා බස් ගමන් කරන්නට සැලැස්වුවහොත් සිරිපා ගමනෙ ඇති ආස්වාදය බිඳවැටෙයි. භක්තිය මෙන්ම ආස්වාදය ද ගමන් දුෂ්කරවන තරමට වැඩි දියුණු වෙයි. ආදරයේ සොඳුරු තැන් මතුවන්නට ද එය ඉදිරිපිට මැවෙන බාධාවෝ හේතුවෙති.
”දෙනෝදහක් මැද හිත් හංගන්නට
සැඟවූ ප්‍රේමය නෙතින් කියන්නට
කාත් කවුරුවත් නැති සීමාවක
හොරෙන් ම හමුවී පෙමින් දොඩන්නට
සරස වසන්තය ආයෙත් එනවා නම්
සැඟවූ ප්‍රේමය නෙතින් කියන්නට
කාත් කවුරුවත් නැති සීමාවක
හොරෙන් ම හමුවී පෙමින් දොඩන්නට
සරස වසන්තය ආයෙත් එනවා නම්
ආදරය අවට ලෝකයෙන් සඟවාගත් යුගයේ අත්විඳි රසය ආදරය දිග්විජය කළ පසු ඔවුනට අහිමි වී තිබේ. අද එය සිහිනයේ ගෑ සුවඳකි. මොවුන් මේ ඉවකරන්නේ ඒ සිහිනයේ ගෑ සුවඳටයි.
බොහෝවිට අප දකින නිර්මාණයන්හි අතීතය සිහිවීමෙන් ලබන විරහ වේදනාවන් දක්නට ලැබෙයි.
මෙහි විශේෂත්වය වන්නේ ආදරයේ දිග්විජය ලැබූ දෙදෙනකු එක් ව අතීතයේ මිහිරිතැන් අහිමිවීමෙන් දුක්වන ආකාරය තේමාකර ගැනීමයි. ඒ නිසා ආදරයේ ඒකාකාරිත්වය අත්විඳින ඕනෑ ම පුද්ගලයකු තුළ නැවුම් උත්තේජනයක් ඇතිකිරීමට මේ පදමාලාව සමත්වෙයි.
මේ ගීතය ගයන ගායිකාව ගීත රාශියක් ගැයූ තැනැත්තියක නොවූව ද ඒ ඇගේ ගායනය පදමාලාවේ හා සංගීතයේ රසය සමඟ මනාව බද්ධ වේ. අමරසිරි පීරිස් ගේ ගායනය මේ ගීතයට ආභරණයකි.
මැදිවියේ සිට අතීතයේ මිහිර සිහිගැන්වීමට ඔහුගේ ස්වර ගාම්භීර්යය මනාව දායක වෙයි. ඒ හඬ රසිකයාගේ ජීවිතවලට ද අහිමි ව ගිය බොහෝ රසතැන් පාරාගෙන හදවතේ ගැඹුර ස්පර්ශ කරයි.
නිලාර් එන්. කාසිම් ගේ බොහෝ පද රචනාවලට මම ප්‍රියකරමි. ඔහු මුස්ලිම් සම්භවයක් ඇත්තෙකි. එහෙත් ඔහුගේ භාෂා පරිහරණය හා සාහිත්‍ය අවබෝධයට ඔහුගේ සම්භවය බලපා නොමැත. එක්තරා ආධුනික කවියකු කටුනායක ගුවන්තොටුපළ ගැන ලියූ කවියක් මට සිහිපත් වෙයි.
”බලව් මුන්
අනුන්ගෙ වගේ
රට හැර යන අපූරුව
බලව් උන්
තමන් ගේ වගේ
මේ රටට එන උජාරුව
අනුන්ගෙ වගේ
රට හැර යන අපූරුව
බලව් උන්
තමන් ගේ වගේ
මේ රටට එන උජාරුව
මහා සම්භවයක ඇති මහා සම්මත රචකයන් දේශීයත්වය පාවාදෙමින් ආනයනය කළ සංස්කෘතියක් වැලඳගද්දී ‘නිලාර්’ තම උපන් බිමේ ගීත සාහිත්‍යය නිහඬ ව පෝෂණය කරයි. ඔහු ස්පර්ශ කර පෙන්වන හැඟීම්වලට ජාති, ආගම්, කුල භේද නොමැත. මට මිල්ටන් පෙරේරාගේ පැරණි ගීයක් සිහිවේ.
”මිහිරැති වසන්ත කාලේ
කිම ඔබ මෙතෙක් නොආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවීම වේදනාවේ
කිම ඔබ මෙතෙක් නොආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවීම වේදනාවේ
එහෙත් නිලාර් ගේ පෙම්වතුන්ට තිබෙන ප්‍රශ්නය වන්නේ පැමිණි වසන්තය යළි ළඟා කර ගැනීමට නොහැකි වීමයි. එය අප බහුතරයකගේම අනාගත ප්‍රශ්නය විය හැකිය.
”සරස වසන්තය ආයෙත් එනවා නම්
මගේ තරුණ විය මම ඉල්ලා ගන්නම්”
මගේ තරුණ විය මම ඉල්ලා ගන්නම්”
මම තනිව මේ පදමාලාව මුමුණන්නෙමි. එය මගේ පපුවට දැනෙයි. ඒ සමඟ ම සිංහල සාහිත්‍ය රකින්නට අමුඩ ගසාගෙන දුක්විඳින පෙරමුණේ රාලලා ගැන දුක සිතෙයි.