සමාජ හෘද සාක්‍ෂියට කෙරෙන ඇමතුම
"පියාණෙනි මා නැවත උපන්නොත් අසාර වූ මේ සංසාරේ...ඔබේම පුතු වේවා..."
ඒ ගී පද කිහිපය කවරකු විසින් හෝ මුමුණන්නාක් මෙන් මට දැනේ. ඇත්තෙන්ම මේ කියෑවෙන්නේ කුමක්‌ද? කියෑවෙන්නේ අනෙකක් නොව කවරකු හෝ පුතෙකුගේ අහිංසක පැතුමක්‌මය. මේ සසර අසාරමය. එහෙව් සසරක වුව යළි යළි උපදිනවා නම් ඒ පියාගේම පුතු වී උපදින්නට හේතු වාසනා වේවායි මේ පුතු අහිංසක පැතුමක් පතයි. සැබවින්ම, කොපමණ නම් සුන්දරද, එහෙව් පැතුමක් එක් කරන්නට තරම් ඇති සුවිශේෂත්වය කුමක් විය හැකිද? ඒ පියා එපමණකටම ඒ පුතු හා ලෙන්ගතුව විසුවා විය හැක. නොඑසේ නම් මඟ නොමඟ කියාදී ඔහුගේ දිවිමඟහි සරි කරගනු පිණිස නිබඳ අත්වැල සැපයූවා විය හැක. ඊටත් වඩා තම යුතුකම් සේම වගකීම්ද නොපිරිහෙළා ඉටු කරමින් ඒ පියාණෝ සැබෑම පියතුමකුගේ භූමිකාවට පණ පෙව්වාද විය හැක. කවරක් වුවද කම් නැත. තාත්තලා පුතාලා අතර අතොරක් නැතිව ගුටිබැට හුවමාරුවීම් සිදුවන යුගයක ලේ කඳුළු දහදිය වගුරුවා දරුවන් පෝෂණය කළද සියල්ල අවසන ගුණමකු දරුවෝ ආදරණීය පියවරුන්ට මඩු වලිගෙන් පහරදෙන යුගයක...
දැනට ජීවතුන් අතර නැති හිටපු ඇමැතිවරයකුට ඔහුගේ පුතුම එවැන්නක් සිදු කළ බව කලකට ඉහත දී මාධ්‍ය වාර්තා කොට තිබිණි.) පිය පුතු සබැඳියාවේ අපූර්වත්වය පිළිබිඹු වන ගේය පදයක් වුව සවනත වැකීම සතුටට කරුණකි. භාග්‍යයක්‌මය.
අම්මාට අපි ගෙදර බුදුන් යෑයි කියන්නෙමු. මේ සමාජය තුළ අම්මාට හිමිව ඇති තැන ඇයට හිමිව ඇති වන්දනීයත්වය පියාට එලෙසින්ම හිමිවන්නේද. මව සේම පියාද අපට නම් මුළු ලොවටත් වඩා වටී. අම්මා සේම තාත්තාද අපි වෙනුවෙන් හෙලූ කඳුළු කොපමණ විය හැකිද? කාට නම් එය මෙපමණකැයි පමණ කොට කිව හැකි වෙද? "පියවරුන් හඬන්නේ ලොවට හොරෙන්" යෑයි ඇතැම්හු කියති. සැබෑවකි. දරුවන්ගේ දුකේදී පියවරුද අපමණ දුක්‌වෙති.... ලතැවෙති.... සුසුම් හෙළති. එහෙත්, ඒ කඳුළු කැට..... වේදනාවෝ අන් අයට නොපෙන්වීමට පියවරු කටයුතු කරති. ඒ වේදනාවෝ ආයාසයෙන් වුව යටපත් කර ගනිති. ඇතුළාන්තයෙහි ඇති වේදනාවෝ පිටතට නොපෙන්වා ලොවට හොරෙන් අපමණ හඬති.
"අන්දර යායේ......
වැව් තාවුල්ලේ
සක්‌මන් කරනා අප්පච්චී
දොළේ දියයි
මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට...
සත්තකින්ම, පියවරු අපි වෙනුවෙන් කොපමණ නම් දුක් වේදනා වින්දාද... අව් කාෂ්ඨකේ දැවෙමින් හේනේ කුඹුරේ වැඩ කළේත් ඩාබිඳු දහරාවන්ගෙන් මුළු ගතම තෙත්වී යද්දීත් පාරවල් මං පෙත් දිගට හරි හරියටම වැඩ කළේත් අපි වෙනුවෙන්මය. ඔහු පතන ලෝකයේ කිරුළ පැළඳි රජවරු බවට අප පත්වනු දකින්නටය. ඒ දඬු මං බැඳ සක් කුළු පව් බිඳ සිදාදියට එන මං තනන්නට පියවරු දැරූ වෙහෙසට අපි කෙළෙසක නම් කෘතගුණ සලකන්නද?
එහෙත්, අපේ සමාජය පියවරු ගැන කතා කරන්නේ අල්පමය. ඔවුන්ගේ ගුණවයන්නට තරම් ගුණ දකින්නට තරම් අපි කෘතඥ වී නොමැතිදෝ යි විටෙක මට සිතේ. ලේඛකයෝ පොත් ලියති. පොත් ලියා ඒ පොත් මවටම පිළිගන්වති. පියවරුන්ට පොතක පිදුමක් වුව කළ හොත් ඒ ඉතා කලාතුරකිනි. එහෙත් පියවරු අපට සෙනෙහස නොපාතියි අපි කෙළෙසක නම් කියමුද?
"පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ..... පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුණේ...."
ගීත රචකයෝ එලෙස ගී රචනා කරති. ගායකයෝද ඒවා ගයන්නේ අප සිත් ප්‍රමෝදයට පත් කරමිනි. එහෙත්, කිරි පිරුණු පියවරු ගැනද නිතරම නැතිමුත් ඉඳහිට හෝ අපි අසා ඇත්තෙමු. එවන් පියකු ගැන මීට වසර කිහිපයකට ඉහතදී මාධ්‍ය මගින් නිරතුරු ප්‍රචාරය කළා මට මතකය. මව් සෙනෙහස අහිමි වූ ඒ දරුවාට විටෙක මවද විටෙක පියාද වයේ ඒ පියාය. දාරක ප්‍රේමය යනු එයයි. එය මවට සේම පියාටද දැනෙන්නේ එක ලෙසය.
කෙසේ වුවද, තම වගකීම් නිසියාකාර ලෙස ඉටු කරමින් තමන්ද යහමඟ යමින්... දුවා දරුවෝද යහමඟ යවන පියවරු අපමණය. මම හොඳින්ම දන්නා කතාවක් කියමි... කවර හෝ ගමක එක්‌තරා පියකු සිටී. (සදාචාරාත්මක ප්‍රශ්නයක් උද්ගත විය හැකි නිසා නම් ගම් හරියාකාර ලෙස සඳහන් නොකරමි) ඔහුගේ බිරිඳ වසර ගණනාවක්‌ම සිටින්නේ විදේශ රටක ගෘහ සේවයේ නිරත වෙලාය. මේ සැමියා ඇගේ දෙවන සැමියායි. භීෂණ සමයේදී ඇගේ සැමියා අතුරුදන්ව ඇති අතර, දරු මල්ලන් නඩත්තු කර ගැනීම පිණිස නැවතත් විවාහයක් සිදුකරගෙන ඇත්තේය. මුල් විවාහයෙන් ඉපිද ඇත්තේ දියණියකි. දෙවනවර විවාහයෙන්ද ඉපිද ඇත්තේ දියණියකි. එහෙත් මේ පියාට අර දියණියෝ දෙනොම ඔහුගේම දරුපැටව්මය. බාල දියණියට එක් විදයකටත් වැඩිමල්දියණියට තවත් විදියකටත් සැලකීමට ඒ පියා කටයුතු නොකරයි. දරුවෝ දෙදෙනාම "අප්පච්චී" යෑයි කියමින් ගත දැවටෙමින් සුරතල් වන අයුරු බලන්න ලසන්නය. රෑ නින්දට යන්නට සැරසෙද්දී පියාගේ දෙපා නමදිද්දී ඔහු ආශීර්වාද කරනයුරු දුටුවිට දෙනෙතට කඳුළු ගලාගෙන එයි. මෙහෙමත් හිත හොඳ පියවරු අප අතර සිටිනවාද මොහොතකට හෝ සිතේ.
එහෙත්, එහෙව් පියවරු හමුවේ ඇතැම් අමන පියවරු... තම ලෙයින් මසින් වැදූ දරුවෝ වෙසඟනන් බවට පත් කිරීමට තරම් අකාරුණික වෙලාය. මනස් කදම්භ එතරම්ම විකෘති කොට ගෙනය. "බල්ලෝ මරා හෝ සල්ලි සොයමු." යෑයි කියන යුගයක දරුවා පැහැර ගෙන ගොස් හෝ කප්පම් ගැනීමට තරම් ම අදමිටුවෝ වෙලාය. අනේ දෙවියනි..... මේ කුමකින් කුමක්‌දෝ සිදුවෙන්නේ......... දරුවෝ මරුවෝ විලසින් උනුන්ට පෙනෙනවාදෝ කෙලෙස නම් සොයමුද විසඳුම් මේ පැනවලට.
මේ ඉකුත් දිනෙක පුවත්පතක පළව තිබූ පුවතකි. "දාහතර හැවිරිදි දියණියට අතවර කළ පියෙක් අත්අඩංගුවට" පොල් ගෙඩි අකුරෙන් පළව තිබුණු ඒ පුවත මම තවදුරටත් කියවා බැලීමි. එහි සාරාංශය මෙසේය. අදාළ සිද්ධිය පාදුක්‌ක පොලිසියට දැනුම් දී ඇත්තේ දැරියගේ මිත්තණියයි. අපයෝජනයට ලක්‌වූ දැරිය පාසලේ නව වැනි ශ්‍රේණියේ දැරියකි. දැරියගේ මව විදේශගතව ඇත්තේ පවුල් ආරවුලක් හේතුකොට ගෙනය. ඥති නිවෙසක රැකවරණය යටතේ සිටියදී ඇයට මෙම අතවරය සිදුව ඇත. සිත්තැවුලට පත්වූ දියණිය ලිපියක් ලියා එය පියාට තබා ඇති අතර ඇය මිත්තණියගේ සෙවනට පැමිණ ඇත්තේ ඉනික්‌බිතිවය. මිත්තණියට සැක සිතී යමක් විමසා ඇත. දියණිය සියල්ල නොසඟවා පවසා ඇති අතර, පියා අත්අඩංගුවට පත්ව ඇත්තේ මේ සියල්ලෙන් අනතුරුවය.
අෙ¹aමැයි....· නොහික්‌මුණු කුපාඩි ඒ අවලමා තම දියණියගේ ජීවිතයම වනසා දැමූ හැටි. ඉඳින් මේවා දෙස බලා අපි කුමක් කරමුද? සියල්ල කියවා බලා කම්මුලේ අත තබා ගැනීමෙන් පමණක්‌ම පැන විස¹ලිය හැකිද? "ඔයිට වඩා දේවල් වෙන ලෝකෙක ඕවා ගැන කතා කරන්නේ අහවල් එකකටද?" යනුවෙන් කියා අත පිසදාගෙන අහක බලා ගෙන සිටිමුද?.
තම ලෙයින් මසින් උපන් දරුවා උස්‌මහත් වී හොඳින් උගෙන දසන් විදහා සිනාපාගෙන තමන් ඉදිරියට එන කල පියකුට දැනෙන සතුට කොතරම් විය හැකිද? බොහෝ පියවරු එවන් දරුවන් දෙස බලන්නේ දරුවා දෙස බලනවාය යනුවෙන් සිතාගෙන නොවේ. සැබෑ පියවරු දරුවන් තුළින් දකින්නේ අනාගතයයි. දුක්‌ඛ දෝමනස්‌සයෝ සුණුවිසුණු කර දමමින් පැහැබර හෙට දිනක් උදෙසා දරුවෝ පෙරමං තනන අයුරුමය. එහෙව් පියවරු හමුවේ මේ පියා? පියෙක්‌ද නෙඑසේ නම්, පියවෙස් ගත් නරුමයෙක් දැයි කියනු අසීරුය සැබැවින්ම.
"අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී...... ඒ ඉර හඳෙන් ඔබෙ ලෝකය එළිය වුණී..." යෑයි පියවරු කියති. සැබෑවකි. අම්මා නැති කලට අප්පා කවර කල යෑයි කීවද අම්මාවරු සේම දරුවන්ට රැකවරණය සලසන සෙනෙහෙපාන පියවරු මේ මිහිමත නොවෙයි කීමට තරම් අපි කුහකයෝ නොවෙමු. එහෙත් අම්මා සඳක් නම් තාත්තා රිදී ඉරක් නම් චන්ද්‍ර මණ්‌ඩලයෙන් නික්‌මෙන කාන්තිය තරම් සැනසිලිදායක නැතිමුත් ඒ රිදී හිරු මඬලෙන් නික්‌මෙන කාන්තියද දරුවන්ගේ ජීවිතය ආලෝකවත් කරන්නක්‌ම විය යුතුය. අඳුරු අහුමුලු කරා ඇදෙනු වෙනුවට නිසි මඟ මේ යෑයි කීමට තරම් ප්‍රබල ආලෝක දහරාවක්‌ම විය යුතුය එය. එහෙත් ඒ හිරු මඬල අඳුරු වලා පටලයකින් වැසී ගොස් ඇත්නම්... එමතුනොව ඒ වලා පටලය විසල් යක්‍ෂයකු විලසින් දරුවන්ගේ ජීවිත සුණු විසුණු කර දැමීමට සැරසෙනවානම් සැබෑ පිය සෙනෙහසක් ගැන දරුවෝ කෙලෙසක නම් සිහින දකින්නද?
විශ්වසනීයත්වයකින් යුතුව කෙලෙසක නම් අපේ දරුවෝ පියවරු තුරුළට පැමිණේවිද?
මේ පුවතද ඉවසීමෙන් යුතුව කියවා බලන්න. "කප්පම් ඉල්ලා දරුවන් පැහැර ගෙන යැමේ සිද්ධියේ සැකකරුවන් 17 දා දක්‌වා රිමාන්ඩ්. පිරිස අතර දරුවාගේ පියාත්" මේ පුවත පළව තිබුණේ ඉකුත් සතියේ පළ වු ජාතික පුවත්පතය. දරුවා කතෝලික පල්ලියක් භාරයේ සිටි අයෙකි. කප්පම් කල්ලිය මෙහෙය වූ තැනැත්තා බහුදින ධීවර යාත්‍රා ක්‍රියාකරවන්නෙකැයි සහ මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ අයෙකුයෑයිද පුවතේ සඳහන්ව තිබිණි.
"පුත්ථා වත්ථු මනුස්‌සානං" යෑයි කීවේ ලොව්තුරු බුදුහිමියෝය. කුමක් ද එහි අරුත. අරුත අනෙකක් නොව කොපමණ වස්‌තු සම්භාරයක් තිබුණද දෙමව්පියන්ට ඇති වටිනාම වස්‌තුව අනෙකක් නොව තම දුවා දරුවෝමය යන්නයි. එය අතිශයෝක්‌තියක්‌ද නැත. කොයිතරම් වස්‌තු සම්භාරයක් තිබුණද ධනධාන්‍යයෙන් ආඪ්‍යව කුවේරයන් සේ ජීවත්වීමේ හැකියාව තිබුණද දරුවකුගේ පරාජයක් දුටු කල එපමණක් නොව තම ඇස් පනාපිට තම දරුවකුගේ වියෝවක් සිදුවුවහොත් ලොවම අහිමිවූවා යෑයි සිතාගෙන හඬන්නේත් තවද දරුවන්ට අපත්විපත් කරන්නවුන්ට දෙස් දෙවොල් තබන්නේත් දාරක ප්‍රේමය නිසාමය. මුළු ලොවම තිබුණද දරුවෝ නැති කල ඇතිවන රික්‌තය අන් කවරෙකුට වුව පුරවාලිය නොහැකි බැව් තරයේම අදහන නිසාමය.
ඉඳින් එවන් සෙනෙහෙබර මව්පියවරු සිටින ලොවක රුපියල් ශතවලට වහල්වී තම දරුවාගේ ගෙල තමන් විසින්ම සිඳලීමට කවරෙකු වුව වලි කනවානම් සමනළ පැටවුන් බඳු දරුපටවුන්ට වින කරන්නවුන්ට උඩගෙඩි දෙමින් තම තුච්ඡ අධම අරමුණු ඉටුකර ගැනීමට වෙර දරනවා නම් අපට අසන්නට ඇත්තේ එකම එක පැනයකි. ඒ අනෙකක් නොව අපේ දරු පැටව් කවරදාක කෙලෙසක නම් සැක සංකා හැර දමා දයාබරත්වයේ දෙනෙතින් යුතුව අපේ පියවරු දෙස බලනු ඇත්ද?
"රැක්‌මට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි පිය සෙනෙහසට කව් ගී ලියෑවුණා මදී." ඒ පියවරුන්ගේ මුවින් නිරතුරු පිටවෙන දුක්‌ගැනවිල්ලකි. අෙ¹aනාවකි. එහෙත් පියවරු සියලු දෙනාම පාහේ හෘද සාක්‍ෂිය විමසා බැලිය යුතුව ඇත. තම තමන්ගේ හරි වැරැදි මොනවාදැයි නැවත නැවතත් සිතා බැලිය යුතුව ඇත. එසේ නොවුණොත් පියාණෙනි මා මේ භවයේදී ඔබගේ පුතුවී ජනිත වුණා. මතු මතු සසරේ කවදාවත් මා ඔබගේ පුතු නම් නොමවේවා යනුවෙන් අපේ දරුවෝ කියනු නොඅනුමානය.
අමිල දොළපිහිල්ල - Divaina