Pages

Saturday, June 25, 2011

මැකී නොයන යසෝදරා වත

ශ්‍රී ලාංකීය ජනකවි සාහිත්‍යයේ සුවිශේෂත ම ජන කාව්‍ය යසෝධරාවතයි. අඥාත ජනකවියකු ගේ සුවිශේෂ ප්‍රතිභාව එහි ගැබ් ව පවතී. මේ අනගි ජනකාව්‍යයේ පහස විවිධාකාරයෙන් ලබා ගැනීමට එදා සිට අද දක්වා කවියෝ, ගේය පද රචකයෝ සමත් වූහ. රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ “ළා දළු බෝපත්” නම් වූ නිර්මාණය ද එබඳු වූ එක් අවස්ථාවකි.
බෞද්ධ සාහිත්‍යකරුවන් සිද්ධාර්ථ චරිතය වීර චරිතයක් බවට පත්කරන්නට වැරවෑයම් කරද්දී යසෝදරාවගේ චරිතය හිතාමතා ම අමතක කරනු ලබයි. ඇය ලවා නරසීහ ගාථා කියවා එයින් ද බුද්ධ චරිතය ආලෝකවත් කර නිහඬ වෙයි.
එහෙත් ඒ යසෝදරා ගේ චරිතය නැවත ප්‍රතිනිර්මාණය කිරීමට ප්‍රථමයෙන් ම සමත්වන්නේ සිංහල ජනකවියා ය. ආදරය ඉදිරියේ හඬා වැටෙමින් වුවද ආදරය වෛරයට පෙරළා නොගත් උත්තරීතර ගැහැනියක යසෝදරාවතෙන් ජනකවියා නිර්මාණය කරයි. ඒ තමා හැරගිය සැමියා පිළිබඳ ව තවමත් දයාව ආදරය දක්වන සාම්ප්‍රදායික ආසියානු කාන්තාව ගේ ප්‍රතිමූර්තියයි.
”කැලේ තිබෙන කොයි දේවත් රසවේවා

මලේ බමරු ලෙස පිරිවර ඇති වේවා
අව්වේ තිබෙන රැස් මාලා අඩු වේවා
ගව්වෙන් ගව්ව දිව මාළිග සෑදේවා”
(යසෝදරාවත)
යසෝදරාව රඹුකන සිද්ධාර්ථ හිමියෝ නැවත වරක් මෙසේ ප්‍රතිනිර්මාණය කරති.
ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ

යසෝදරා දේවී
වාවනු බැරිතැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී
ඇය ද මිනිස් දුවකි. ආලයේ වේදනාව ඇයට ද දැනෙයි. තමාට අහිමිව ගිය ආදරය පිළිබඳව ඈ තුළ ද කම්පාවක් පවතී. එහෙත් ඇගේ හඬා වැලපීම සිද්ධාර්ථ හිමියන් සමාන කරනු ලබන්නේ ළා දළු බෝපතක් මඳ සුළඟට හෙමින් සැලීමටයි. ඒ උපමාලංකාරය තුළින් ඇය කෙරෙහි කම්පාවක් මෙන් ම භක්තියක් රසිකයා සිතෙහි හටගනී. එසේම ඇය හඬා වැටෙන්නේ රහසේ ය. ප්‍රසිද්ධියේ හඬා වැලපෙමින් තම සැමියාට අගෞරවයක් කිරීමට ඈ නොසිතයි. ජනකවියා මේ අවස්ථාව නිරූපණය කරන්නේ මේ අයුරිනි.
more
”තෙමා වැටේ මගෙ සළුපිළි නෙත් පුරවා

අමා රසක් වැනි හිමිසඳ සිහි වෙනවා
දමා කුමරු වැඩියා මට සිහිවෙනවා
මෙමා හැර ලියෝ ලෙව් තුªළ ඇතිද තවා

සැබැවින් ම සිද්ධාර්ථයන් ගේ අභිනිෂ්ක්‍රමණයේ දී යසෝදරාවන් කුමන ප්‍රතිචාරයක් දැක්වූවා ද යන්න අපි නොදනිමු. එය ජනකවියා මෙන් ම සිද්ධාර්ථ හිමියෝ ද නොදනිනි. එහෙත් බෝධිසත්වයකුට පාද පරිචාරිකාවක වූ මේ ගැහැනියට වඩාත් වැඩි වටිනාකමක් ලබාදීමට ගැමි කවියා මෙන්ම සිද්ධාර්ථ හිමියෝ ද සමත් වෙති. එය බී.එච්. අමරසේන නම් වූ කොළඹ යුගයේ මධ්‍යකාලීන කවියා යසෝදරා දුටු ආකාරය ඉක්මවා යන්නකි.
”පෙරමින් කඳුළු කිරි දරුවෙකු අතේ දරා

පෙරළා නොගොස් පෙම්බර මව්පියන් කරා
දරදඬු ගැසුණු අතපය හාමතේ දරා
නරකාදියකි හිමියනි අද යසෝදරා

(බී.එච්. අමරසේන)
එහෙත් එවැනි ගොරහැඬි ගැහැනිය වෙනුවට සංසාරයෙන් සංසාරයට ආදරය දෝතින් රැගෙන ආ සංයමශීලි ගැහැනියක සිද්ධාර්ථ හිමියෝ අප ඉදිරියට ගෙන එති.
”ලේන කුලේ සිට ආගිය මග තොට

සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසු පස ආවා සෙවණැල්ලක් සේ”

ඇය හදේ සිරකරගෙන සිටියා වූ ශෝකය සැබෑ ලෙස පිටාර ගලන්නේ කිඹුල්වත් පුර ගමනේ දී බුදුහිමියන් ඈ බැහැදකින්නට ගිය විට ය. ඇය බුදුහිමියන් ගේ දෙපාමුල හඬා වැටෙන්නේ අහිමි වූ ආදරය නිසා ඇති වූ මානසික ආතතිය මුදා හරිමිනි. එහෙත් මේ අවස්ථාව ඉතා ම සංයමශීලී ව තම පදමාලාවට එක්කර ගැනීමට සිද්ධාර්ථ හිමියෝ සමත්වෙති. ඇය බුදුහිමියන් ගේ දෙපා ළඟ ඇද වැටෙද්දී සාධුකාර දෙමින් නිවන් මල් පිපුණු බව පැවසීමෙන් ඒ අනුවේදනීය අවස්ථාව බොදු බැතිය වඩවන අවස්ථාවක් බවට පත්කරගනී.
”තැලී සෙනේ සිත සැලී හඬන විට

වැටී දෙපා ළඟ යසෝදරාවෝ
පිපී නිවන් මල් සාධුකාර දී
නිවී පහන් විය උදෑසනක් සේ....”

මේ ආකාරයෙන් ආදරය හා භක්තිය මනාව සම්මිශ්‍රණය කර කැටයම් කිරීමට පැරණි සිංහල ජනකවියා ද සමත් වෙයි.
”කාරණාව බුදු වෙනවා ලකුණු පෙනේ

නෑර කැටුව ආවා මම සරණ ගෙනේ
භාවනාව තොර නොකරමි සිතින් අනේ
මාළිගාව අද අඳුරුයි සුවාමිනි....”

(යසෝදරාවත)
මේ ගීතයේ සංගීතය මෙන්ම ගායන ලතාවද සුවිශේෂ ය. මේ තුළ පැරණි වැලපුම් කවියක ඇති වැලපීම නො ඇසේ. ඒ වෙනුවට ආදරය දයාව කැටුවුණු කරුණා රසයක් මුළු ගීතයේ ම ආත්මය බවට පත්වෙයි. මට සුනිල් සරත් පෙරේරා කිවිඳුන්ගේ පදමාලාවක කොටසක් සිහිවේ.
”හිතේ නැගුණු කලකිරීම සොදුරිය

ඔබ පමණයි දැන සිටියේ පෙර සිට යසෝදරා
එයින් මිදෙන මං පෙත සොයනා කල
ඔබෙන් ලැබුණි නිබඳවම සියලු වෙර
සමාධියෙන් සිත ඈත දුවන කල...
කෙමෙන් මැකී යයි යසෝදරාවත

(ගායනය - සනත් නන්දසිරි)
බවුන් වඩන බෝධිසත්වයන් ගේ සිතින් යසෝදරා කෙමෙන් බැහැර වුවද රසිකයන් ගේ සිත් තුළ නොමැකෙන පරමාදර්ශී ආසියානු ගැහැනියක මෙබඳු නිර්මාණ තුළින් හඳුනාගත හැකිය.
සාමාන්‍ය ගැහැනියකට තමා දමා ගිය සැමියා ගැන මෙසේ දයාබරිත වීමට නොහැකිවන්නට පුළුවන. එහෙත් ආදරයේ උත්තරීතත්වය හඳුනා ගත් ගැහැනියක කෙබඳු විය යුතුද යන්න යසෝදරා ගේ චරිතය අපට පසක් කර දෙයි.
මේ මොහොතේ මා ඉදිරියේ මැවෙන්නේ කිඹුල්වත් පුර සුවිසල් රජ මැදුරකි. වේලාව මධ්‍යම රාත්‍රියයි. එහි කවුළුවක් අසල සඳ දෙස බලාගෙන යසෝදරා නිදිවර්ජිතව සිටින්නී ය. කවුළුවෙන් රිංගා යන සඳ එළිය පුංචි රාහුල පුතු නිදන සිරියහනට පතිත වෙයි. ඒ සරා සඳ වසා දමන්නට හෙමින් ඇදෙන කළුවලාවකි. යසෝදරා ගේ දෑස් අග රැඳුණ කඳුළක් තරුවක් සේ මොහොතක් දිලිසී බිමට වැටෙයි.