‘බස් රථයක මගී රාක්කයක බිලිඳු මළ සිරුරක්’
‘මවක් සිය පස්මස් වියැති බිලිඳිය රුපියල් ලක්ෂයකට විකුණයි’
(කොළඹ-ලංකාපුවත්) ඉහතින් දැක්වෙන්නේ පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත් කිහිපයක පළවූ එකිනෙක වෙනස් වූ ආකාරයේ මහත් සංවේගයක් උපදින ප්‍රවෘත්ති කිහිපයකි.
උතුම් වූ මව් පදවිය අතිශයින් පූජනීය වේ. සියලු කාන්තාවන්ගේ එකම ප්‍රාර්ථනාව වන්නේ ද කෙදිනක හෝ මව් පදවිය උරුම කර ගැනීමයි. කාන්තාවක් දරුවෙකු තම කුසෙහි කළලයක්ව වැඩෙන අවස්ථාවේ සිට දරුවා බිහි කරන අවස්ථාව දක්වා විඳින ශාරීරික හා මානසික වේදනා අපමණය. ඇය කරන කැපවීම් අති විශාලය. ඇය ඒ සියලු දුක් වේදනා දරා ගන්නේ කුසයේ සිටින දරුවාට ඇති අපමණ ආදරය හා කරුණාව නිසාවෙනි.
මෙසේ අනේකවිද දුක් විඳ මෙළොවට බිහිකළ කිරිකැටි බිළිඳා වැසිකිලි වලකට දමා මරා දැමීමට, ගෙල සිරකර මරා දැමීමට, කසළ බඳුනකට දමා යෑමට හෝ මහ මඟ දමා යෑමට තරම් දරුණු සිතක් මවක් තුළ හට ගන්නේද යන්න පිළිබඳව සිතිය හැකිද? එය විශ්වාස කළ හැකි දෙයක්ද?.
වන සිව්පාවා පවා තම පැටවුන්ට දක්වන්නේ අසීමිත සෙනෙහසකි. නිවෙස්වලත්, මහා මාර්ගයේත් සිටින සුනඛයින් මෙන්ම බළලුන් තම පැටවුන්ට දක්වන ආදරය හා ලබාදෙන රැකවරණය අප සියලු දෙනා දැක ඇත.
ඒ ගැන සිතන විට සමස්ත මිනිස් වර්ගයා තුළම දැඩි කළකිරීමක් ඇතිවනවා සේම අපට අප ගැනම ඇතිවන්නේ ලැජ්ජාවකි. මහා අවිහිංසාවාදී දර්ශනයක්, දහමක් අපට දායාද කළ බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය තෙවරක් ලැබූ මෙම ධර්මද්වීපයේ මෙවැනි සිදුවීම් අසන්නට ලැබීමත් අභාග්‍ය සම්පන්න කරුණකි.
ජාතික පුවත්පතක් ගෙන බැලූ විට එක් දිනකට රටේ විවිධ ප්‍රදේශවලින් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් පිළිබඳ විස්තර 03ක් හෝ 04ක් පිළිබඳව පළ වන පුවත්වලින් මෙවැනි සිදුවීම් ඉතා සුලභ බව වැටහී යයි.
මෙය ඉතා සංවේදී තත්වයක් මෙන්ම සමාජීය ගැටළුවකි. මෙවැනි සිදුවීමක් පිළිබඳ කණ වැකුණු විගස එම ක්‍රියාව සිදුකළ කාන්තාවට දෝෂාරෝපණය කිරීම සමාජයේ සාමාන්‍යයෙන් සිදුවන්නකි. නමුත් එම කාන්තාව සැබවින්ම එවැනි ක්‍රියාවක් සඳහා පෙළඹුණු කාරණාව පිළිබඳ සොයා බලා ඇයට ඇහුම්කන් දීමට කිසිවෙක් ඉදිරිපත් වන්නේ නැත.
මෙම සිදුවීම් සාධාරණීකරණය කිරීමට අප උත්සාහ නොකරන නමුත් ඕනෑම ප්‍රශ්නයක් දෙස එක් කෝණයකින් පමණක් බැලීම සාධාරණ නොවේ. අනියම් සබඳතා පැවැත්වීමෙන් හෝ දූෂණයට ලක් වීමෙන් උපදින දරුවන් පිළිබඳව සමාජය දක්වන ආකල්ප මෙන්ම මෙම දරුවන් ජීවත් කරවීමට තරම් ආර්ථික ශක්තියක් මව්වරුන්ට නොවීම හේතුවෙන් මෙවැනි දේ සිදුකිරීමට කාන්තාවන් පෙළඹෙන බව සමාජ විද්‍යාඥයින්ගේ අදහසයි.
කාන්තාවන් මෙවැනි දේ සිදුකිරීමට සමාජයද යම් පමණකට වගකිව යුතු යැයි පැවසිය යුතුය. පියෙකු නොමැති අවජාතක දරුවෙකු දෙස සමාජය බලන ආකාරය හා නගන අපවාද පිළිබඳ අප සියලු දෙනාට අවබෝධයක් ඇත. එවැනි අපවාදයන්ගෙන් හා චෝදනාවලින් තම දරුවා මුදා ගැනීමටද ඇතැම් කාන්තාවන් මෙවැනි පාපතර ක්‍රියාවන් සිදුකිරීමට පෙළඹේ.
තම බිළිඳා මුදලට විකුණා ජීවත් වීමට උත්හාස කරන මව්වරුන් පිළිබඳවද අසන්නට ලැබීම කොතරම් අවාසනාවන්ත සිදුවීමක්ද. තම බිළිඳා මුදල්වලට විකිණීමට තරම් දරදඬු සිතක් මවකට ඇතිවිය හැකිද? නමුත් වර්තමාන ආර්ථික ක්‍රමයත් සමඟම මවකගේ සෙනෙහසට මෙන්ම කුඩා බිළිදෙකුටත් මුදලක් නියමව ඇත.
සිය මව විසින් කළු ගඟට විසිකළ අමිල සඳරුවන් දරුවාගේ ඛේදවාචකය පසුගිය කාලයේදී මහත් ආන්දෝලනයකට ලක්වූ සිදුවීමකි. එම දරුවාට තවත් සහෝදර සහෝදරියන් සිව් දෙනෙකු සිටින බවත් ඔවුන්ව ජීවත් කරවීමට තරම් දෙමාපියන්ට ස්ථීර ආදායම් මාර්ගයක් නොමැති වීමෙන් අදාළ කාන්තාව මෙවන් අපරාධයක් සිදුකිරීමට පෙළඹුණු බවද වාර්තා විය.
වැලේ ගෙඩි වැලට බර නැතැයි කියමනක් තිබුනද අද සමාජයේ සිදුවන දේ දෙස බලන විට මෙම කියමන අසත්‍යයක් යැයි හැඟෙන තරමටම හේතු කාරණා දක්නට ලැබේ.
මේ පිළිබඳව වන නීතිමය පසුබිම පිළිබඳව අවධානය යොමු කළ යුතුය. ළමුන් හා යෞවනයන් පිළිබඳ ආඥා පනතේ 34 වන වගන්තිය යටතේ දෙමාපියන්ට අමතරව දරුවෙකුට වෙනත් භාරකරුවෙකු සෙවිය හැකි අවස්ථා දෙකක් ඇත. ඉන් පළමුවැන්න දරුවාගේ මව සහ පියා යන දෙදෙනාම අහිමි වීමයි. දෙවැන්න දරුවාගේ භාරකරුවාට දරුවාට රැකවරණය දීමට නොහැකි නම් දරුවා සුදුසු අධිකරණයකට ඉදිරිපත් කිරීමට පරිවාසයට හැකියාව ඇත. එහිදී ඥාතියෙකුට හෝ කැමැත්තෙන් ඉදිරිපත් වන වෙනත් භාරකරුවෙකුට දරුවා භාර දිය හැකි අතර එසේ නැතිනම් ළමා නිවාසයකට ළමයා යොමු කළ හැකියි.
හදාවඩා ගැනීමට තරම් ආර්ථික ශක්තියක් නොමැති වීම නිසාත්, සමාජයේ අපවාදයන්ගෙන් මිදීමටත් උපන් අවස්ථාවේදීම කුඩා බිළිඳුන් මරා දැමීමට පෙළඹීම කිසිදු අයුරකින් අනුමත කළ නොහැකි අතර එසේ සිදුකරන්නන්ට නීතියෙන් හෝ තම හෘද සාක්ෂියෙන් කිසිදා ගැලවීමක් නොමැත.
දරුවෙකුගේ භාරකාරත්වය පැවරීමට පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුව විසින් පළාත් සභාවලට බලතල පවරා දී ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ නිලධාරියෙක් පත්කර ඇත.
කිසියම් කාන්තාවක් දරුවෙකු ප්‍රසූත කිරීමෙන් පසු එම දරුවා රැකබලා ගැනීමට ඇයට හැකියාවක් නොමැති නම් දරුවාට අපරාධයක් කිරීමට උත්හාස නොකර දරුවාව පරිවාස නිලධාරියාට ඉදිරිපත් කළ හැකි අතර එම නිලධාරියාට ඒ ගැන පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කළ යුතුයි.
මෙවැනි සහන රජය විසින් ලබාදී තිබියදීත් මව්වරුන් පාපතර ක්‍රියා සිදුකිරීමට පෙළඹෙන්නේ නූගත්කම හා මේවා පිළිබඳ නිසි දැනුවත්භාවයක් නොමැතිවීම හේතුවෙනි. වර්තමානයේ මහත් ඛේදවාචකයක් මෙන්ම සමාජීය ගැටළුවක් බවට පත්ව ඇති මෙම පැනය දෙස මානුෂිකව අවධානය යොමු කර නිසි පියවර ගැනීමට වගකිවයුත්තන්ගේ අවධානය කඩිනමින් යොමුවිය යුතුය.
අයේෂානි නවගමුව / http://www.lankapuvath.lk