Pages

Wednesday, June 15, 2011

සමාජ සංවර්ධනයට මඟ හෙළි කළ පොසොන් දර්ශනය

නුබුදු මිහිඳු මාහිමියන්, දෙවන පෑතිස් රජතුමාගේ නුවණ සැක හැර දැන ගැනීමටත්, රජු හා සමීප වීමටත් සිතා අඹ පැනය හා ඥාති පැනය විමසා සිටියහ. රජතුමා, ඒ සඳහා දුන් පිළිතුරු ඔහුගේ බුද්ධිමත් භාවය මනා ලෙස ප්‍රකාශ කරන්නක් විය. දෙදෙනා අතර වූ බුද්ධිමය සංවාදය ශ්‍රී ලාංකේය ඉතිහාසයේ මතු නොව, ලෝක ඉතිහාසයේද සඳහන් මනෝ විද්‍යාත්මක පරීක්ෂණයකි. මිස්සක පවුව සමීපයෙහි අඹ තුරක් පෙන් වූ මිහිඳු හිමියෝ මෙසේ විචාළහ.
මිහිඳු මාහිමි - “මහරජ, මේ තුරෙහි නම කුමක්ද?”
රජු - ස්වාමිනි, මෙය අඹ තුරකි.
මිහිඳු මාහිමි - මේ තුර හැර තවත් අඹතුරු තිබේද?
රජු - එසේය, තවත් බොහෝ අඹ තුරු ඇත.
මිහිඳු මාහිමි - මේ අඹ තුරත්, ඒ අඹ තුරුත් හැර තවත් තුරු තිබේද?
රජු - බොහෝ තුරු ඇත. එහෙත් ඒවා අඹ තුරු නොවේ.
මිහිඳු මාහිමි - රජතුමනි, ඒ අඹ තුරුත් අඹ නොවන තුරුත් හැර වෙනත් තුරු තිබේද?
රජු - එසේය ස්වාමිනී, ඒ මේ අඹ තුරයි.
අනතුරුව අනුබුදු මිහිඳු මාහිමියෝ, දෙවනි පෑතිස් රජතුමාගෙන් තමා පිළිබඳත් තම ඥාතීන් පිළිබඳත් විමසා සිටියහ. ඒ පැන මේවාය.
මිහිඳු මාහිමි - රජතුමනි, ඔබට නෑයෝ සිටිත්ද?
රජු - එසේය ස්වාමිනී, බොහෝ නෑයෝ සිටිති.
මිහිඳු මාහිමි - මහරජ, ඔබට නොනෑයෝත් සිටිත්ද?
රජු - එසේය ස්වාමිනී, නොනෑයෝ සිටිති.
මිහිඳු මාහිමි - ඒ නෑයොත් නොනෑයෝත් හැර වෙන කිසිවෙක් සිටීද?
රජු - එසේය ස්වාමිනී, ඒ මම ය.
දෙවන පෑතිස් රජතුමාගේ පිළිතුරුවලින් බොහෝ පැහැදුනු මිහිඳු මාහිමියන් පෙරලා මෙසේ ප්‍රකාශ කළහ.
“මහරජ, ඔබ ඥානවන්තයෙකි”
more
එදා මුවන් දඩකෙළියේ ගිය දෙවන පෑතිස් රජුගේ බුද්ධි මණ්ඩලය විමසීමෙන් අනතුරුව, අනුබුදු මිහිඳු මාහිමියෝ ‘ඇත් පද සුතුර’ නොඑසේනම් ‘චුල්ලහත්ථිපදෝපම සූත්‍රය’ දේශනා කළ සේක. ඉතා සියුම් ඥානයකින් හෙබි රජුට දහම් දෙසීම මත මිහිඳු මාහිමියෝ ගම් නියම්ගම් දනව්, පසල් දනව්, පුර විසල් පුර ආදිය ඔස්සේ ‘ධර්මය ප්‍රචාරය’ කළහ. මෙරට ජනයා මිත්‍යා දෘෂ්ටියෙන් සම්‍යක් දෘෂ්ටියට යොමු කිරීම සඳහා උන්වහන්සේ දැඩි පරිශ්‍රමයක් ගන්නා ලදී. මහින්දාගමනයට පෙර මේ රට ප්‍රාථමික ඇදහිලි හා විශ්වාස බොහෝ ය. මහාවංශයට අනුව මේ කාලයේ ශ්‍රී ලාංකේය ජනයා චිත්ත රාජ කාලවේල , වලවා මුඛී වැනි යක්ෂයන්ට වන්දනාමාන කර ඇත. එසේම කර්මාන්තවලට අධිපතියැයි සැලකෙන කම්මකාර දේව වන්දනය කර තිබේ. නිගන්ඨ ආරාම තිබිණි. මළවුන්ට පුද පූජා පවත්වා ඇත. ගස්, ගල්, පර්වත හා ගින්නට වැඳුම් පිදුම් කිරීම් ද මෙ’කල පැවැතිණි.
සොබා දහම ඇසුරේ සිට ඉන් කිසියම් සහනයක් අපේක්ෂා කළ ජන කොට්ඨාසයක් හේතුඵල සම්මත දහමකට නැඹුරු කිරීම පහසු කටයුත්තක් නොවන බව දැනගත් අනුබුදු මිහිඳු හිමියෝ අනුගාමිකයන් සමුදායක් තනන්නට සිතූ සේක. මහ වන පෙත් එළි පෙහෙළි කළහ. ගල්ලෙන පවිත්‍රකොට මහ සඟරුවන වැඩම කර ජනයාට ධර්මය දේශනා කරන්නට මංපෙත් පාදවන ලදි. ධර්මය උකහා ගැනීමට හැකියාවක් නැති ජනයාට දහම කෙසේ අවබෝධ කළ යුතුද යන්න එදා මිහිඳු මාහිමියන් මුහුණ දුන් ගැටලුවකි. එහෙත් උන්වහන්සේ ගෙන ගිය බුද්ධි සම්පන්න වැඩ පිළිවෙළ විසින් එකී ගැටලුව නිරාකරණය විය. කුමන දේශයකට හෝ වංශ කතාවක් අවශ්‍යය. මහානාම මාහිමියන් අතින් සිංහල මහාවංශය ලියවුණේ එහි ඵල ලෙසිනි. පළමුකොට මහා විහාර ඉදිවිය. ඉන් සමාජ, ආගමික , ආර්ථික , සංස්කෘතික දේශපාලනික විපර්යාසයකට බලපෑමක් ඇති කෙරිණි.
ධර්ම දේශනයෙන් අනතුරුව ධර්ම පුස්තක ලියැවෙන්නට පෙළඹුණේ ධර්මය ශ්‍රවණය කිරීමට ආදේශකයක් ලෙස ඇසින් බලා රස විඳීමේ ශෛලියක් අරඹමිණි. ඉන් ඇසින් බලා රස විඳීමෙන් ධර්මය උකහා ගැනීමේ මාර්ගයකට දොර කවුළු විවෘත විය. අනතුරුව ධර්ම පුස්තක බිහිවන්නට වූයේ ය. එයින් ජනයා වඩාත් දහමට නැඹුරු වූහ. වෙහෙර විහාර දාගැබ් තැනුණි. සඟරුවන ඒ ඇසුරේ වාසය කරන්නට සකසා ජනයාත්, සඟරුවනත් අතර සමීප සම්බන්ධතාවක් ඇති කිරීමට කටයුතු කරන ලදී. වැව, දාගැබ , කෙත ආශි‍්‍රතව ශ්‍රීලාංකේය සංස්කෘතියක් ගොඩනැඟුණි. වැවක් තනා ඉන් ගොඩ දමාගත් පසින් දාගැබක් නිර්මාණය කෙරිණි. වැව ආශි‍්‍රත ජලයෙන් කෙත් යායක් ඉදිකිරීම මත මිනිසා ආර්ථික වශයෙන් ස්වයං පෝෂිත කිරීමේ කාර්යයටද නැඹුරු වූයේ ය. කුස ගින්දරේ සිට ධර්මය උකහා ගෙන අවබෝධ කරගත නොහැක. බුදු රජාණන්වහන්සේ පුද්ගලයන්ට ධර්මය දේශනා කළේ මේ පරමාර්ථයේ පිහිටාය. උන්වහන්සේ, කසී භාරද්වාජ නම් බමුණාට බණ දේශනා කළේ ඔහුගේ කුස ගින්දර නිවා සනසාය.
මෙකී පදනමේ පිහිටා රට බත බුලතින් සශ්‍රීක කොටගත් මිහිඳු මාහිමි ධර්මය නොඑසේනම් පොසොන් දර්ශනය ජනයා මානසික වශයෙන්ද විපර්යාසයකට බඳුන් කරණ ලදි. සංවේදී සමාජයක් ඇති විය. රළු කටුක ගතිගුණවලින් දුරුව ඉවසීමේ ගුණය පුහුණු කළේ මෙම පොසොන් දර්ශනය විසිනි. සඳකඩ පහණ, මුරගල, ගල්කණු, කොරවක්ගල, පමණක් නොව බුදුරජාන්වහන්සේගේ අප්‍රමාණ ගුණ සමුදායෙන් අංශු මාත්‍රයක් කළු ගලකට දී ශෛලමය බුදු රුවක් නිර්මාණය වූයේත්, ජනයා සංවේදී මනුෂ්‍යයකු වූ බැවිණි. බුදු පිළිම පමණක් නොව විවිධ ශෛලමය නිර්මාණ බිහි වූයේ ද පොසොන් පෝයදා උදා වූ නව සංස්කෘතියක අරුණැල්ල හේතුකොට ගෙනය. ජනයා, සැදැහැ සිතින් සඳකඩ පහණට ප්‍රවිශ්ඨව මුරගල, කොරවක්ගල පසුකර පියගැටපෙළ නැඟ බුදුරුව වන්දනාමාන කරන්නට ගියේ නිවන අවබෝධ කර ගැනීමේ අදහසිනි. පොසොන් දර්ශනයෙන් නව ශිෂ්ටාචාරයක් ද බිහිවිය.
රාජ්‍ය පාලනයකට නැඹුරු වී වැඩවසම් පාලන තන්ත්‍රයක් බිහි වූ වද, එයට ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් ලැබුණේ බුදු දහම ආභාෂයෙනි. පාලනය රජු වටා කේන්ද්‍රගත විය. මැති ඇමැතිවරුන් පරිපාලනයට ඒකාබද්ධකොටගෙන පාලනය දැහැමි ස්වරූපයක් ගන්නා ලදි. අඹ තුරක් මූලික කර ගෙන අඹ පැන සංවාදයෙන් ආරම්භ වූ ගමන් මඟ ශ්‍රී ලාංකේය ඉතිහාස කතාවක් සටහන්කොට තබන්නට මූලික විය. නුඹ කුස පවා සිඹින්නට තරම් වන මහා දාගැබ් ඉදිවී සමුදුර පරදවන තරම් මහා වැව් තැනී බුදු ගුණ සමුදායන් දිගන්තයේ පැතිරෙන ශෛලමය බුදු පිළිම ඉදිවී, මහා වනාන්තර , කෙත්වතු බවට පෙරළා ජනයාගේ අධ්‍යාත්මික ගුණය ප්‍රගුණ කරන්නට අනුබුදු මිහිඳු මාහිමියන් කළ ප්‍රාතිහාර්යය කෙතරම්ද?