Pages

Wednesday, April 06, 2011

පොදු ජනතාවගේ මහා කවියා Rabindranath Tagore

මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් රචිත "මානව හිතවාදය හා එතෙර වියත්හු" කෘතියෙන් උපුටාගත් මෙම ලිපිය බදාදා අතිරේකයට යොමු කරන ලද්දේ නුවරඑළියේ හේමපාල විසිනි.

තාගෝර්තුමා නොබෙල් තෑග්ග නොලැබුවේ නම් අප රට ඉංගිරිසි උගතුන්ගෙන් හා සිංහල උගතුන්ගෙන් පමණක්‌ නොව වංග උගතුන්ගෙන් පවා එතරම් ගරු බුහුමන් ලබතියි ඔබ සිතන්නේද?

නොබෙල් තෑග්ග ලබන තෙක්‌ තාගෝර් කල්කටා විශ්වවිද්‍යාලයෙහි ඇදුරන්ගේත් වංග ප්‍රාචීන පඬිවරයන්ගේත් දෝෂ දර්ශනයට හසුවිය. කල්කටා විශ්වවිද්‍යාලයෙහි ප්‍රවේශ විභාගය ගත් මානවකයන්ගේ ප්‍රශ්න පත්‍රවල තාගෝර්ගේ පොතින් උපුටාගත් ගද්‍ය පද්‍ය ඇතුළු කරනු ලැබීය. වියරණ වැරැදි නිදොස්‌ කොට ඒ පාඨ ශිෂ්ට වංග බසින් ලියනුයි ශිෂ්‍යයන්ට අණ කරනු ලැබීය.

සමහර ඉංගිරිසි උගත්තු තාගෝර්ගේ පද්‍යයෙහි ඉංගිරිසි ප්‍රංශ සාහිත්‍යයෙහි බලපෑම සොයන රහස්‌ පරීක්‌ෂකයෝ වූහ. සමහරු ඔහුගේ නවකතා ඉංගිරිසි නවකතාවටත්, රුසියන් නවකතාවටත් ණයගැති යයි කියන්ට වූහ.Read more

තාගෝර් බංකිම්චන්ද්‍ර මෙන් බටහිර සාහිත්‍යයෙන් උපනිෂද් දර්ශනයෙන් හා බෞද්ධ කාව්‍යයෙන් ද ලත් පෝෂණය නිසා සුනි සිත බුද්ධිය හා හැඟීම් ඇත්තෙක්‌ වීය. තාගෝර් තම කාව්‍යයන් හා පද්‍යයන් උදෙසා පොදු ජනයා වහරන බසට හුරු සරල බසක්‌ උපයෝගී කොට ගත්තේය. බංකිම්චන්ද්‍ර ඇතුළු සියලුම ඉංගිරිසි උගත් වංග ලේඛකයන්ගේ භාෂා රීතිය කෙරෙහි ඉංගිරිසි රීතිය බලපෑහයි ප්‍රිය රන්ජන් සෙන් කියයි. ඔහු කල්කටා විශ්වවිද්‍යාලයෙහි ආචාර්යවරයෙකි. "යුරෝපීය චින්තනය හා පාණ්‌ඩිත්‍යය නමැති ජලාශයෙහි ගැඹුරු තැන්වලින් බංකිම්චන්ද්‍ර තරම් දිය බිවූ අනෙක්‌ වංගයෙක්‌ නොවීය. සිතුමෙන් හා කියුම් විදියෙන් ඔහු තරම් ඉංග්‍රීසින්ට ළං වූවෙක්‌ නොවීය" යි ප්‍රියරන්ජන් සෙන් කියයි. තාගෝර්ගේ භාෂා රීතිය බංකිම්චන්ද්‍රගේ රීතියට අනුගුණව සකස්‌ විය.

ඉංගිරිසි උගතුන් හා වංග බස පමණක්‌ උගත් පඬුවන් ද විසින් තාගෝර්ගේ ගද්‍ය පද්‍ය රචනයන් හෙළා දකිනු ලැබීමට මා යට කියූ කරුණු හේතු වීය. මේ ආත්ම නාශක විවේචනය බටහිර මිනිසුන් විසින් පාලනය කරනු ලැබූ පෙරදිග රටවල පැතුරුණු මහා උවදුරක්‌ විය. එයින් තාගෝර් හා ඔහුගේ ගද්‍යයන් හා පද්‍යයන් ද බේරා ගන්නා ලද්දේ නොබෙල් තෑග්ග පිළිබඳ උපදේශක මණ්‌ඩලය විසිනි.

මහායාන බුදු සමයට මිශ්‍ර වුණු භක්‌තිවාදය වංගයෙහි පැවැත්තේය. වෛෂ්ණව පුනරුත්ථානය නිසා රණ වෙස්‌ ගත් හින්දුකාරයන් එකොළොස්‌වන සිය වසෙහි දී බෞද්ධයන්ට හිංසා පීඩා කළ බවත්, බෞද්ධයන් මුස්‌ලිම්කාරයන්ගේ උදව් සෙවූ බවත්, වර්තමාන වංග සාහිත්‍යය විවේචනය කරන කශි අබ්දුල් වදුද් කියයි. වෛෂ්ණව පුනරුත්ථානයත්, හින්දුකාරයන් රණ වෙස්‌ ගැනීමත් යන දෙකම මුස්‌ලිම් රජුන්ගේ ජයග්‍රහණයෙහිත්, රූපවලට වැඳුම් පිදුම් කරනු නොඉවසූ මුස්‌ලිම් ආගම්කාරයන් දේව රූප විනාශ කිරීමෙහිත් විපාක යයි සමහර හින්දු විවේචකයෝ කියති. වෛෂ්ණව සමය නැගීම නිසා විෂ්ණු, රාම දෙවියන් හා කාලි, දුර්ගා ආදී ප්‍රචණ්‌ඩ දෙවඟනන් පිදීම වංගයෙහි පැතිරිණි. එහි පළ වශයෙන් භක්‌තිවාදය පොදු ජනයාගේ පමණක්‌ නොව උගතුන්ගේ ද සිත් ගත්තේය. පොදු ජනයාට ද වැටහෙන සරල බසින් රචිත භක්‌ති ගීත වංගයෙහි පමණක්‌ නොව උතුරු ඉන්දියාවෙහි ද ලැව් ගින්නක්‌ ලෙස පැතිරිණි. 

වංගයෙහි පැතිරුණු භක්‌තිවාදය පැරැණි තන්ත්‍රවාදය ඇසුරෙන් උපන් ගුඪ කාමවාදය හා ගෑවුණකි. දෙවියන් හා දෙවඟනන් නිසා උපන් බැති පෙම් ගැප් වූ භක්‌ති ගීත සරාගික භක්‌ති ප්‍රේමයෙන් දනවන පද්‍ය විශේෂයක්‌ වීය. ප්‍රකෘති සෞන්දර්යය වර්ණනා කෙරෙන තාගෝර්ගේ පද්‍යයන්ට මේ සරාගික ගුඪ හැඟීම් පිවිස ඇත්තේ විනීත වියොවග ගීතයක්‌ ලෙසිනියි ඉංගිරිසියට නගන ලද තාගෝර්ගේ ඇතැම් පද්‍යයන් කියවද්දී මට හැඟී ගියේය. ඒ වියොවග ගීතය තියුණු හැඟීම ඇති පාඨකයාගේ සිතැඟිය. බ්‍රහ්මන් නොහොත් පරමාර්ථය සත්‍යය කෙරෙහි යොමු කරවයි. තාගෝර්ට පෙර නොබෙල් තෑග්ග දිනූ සමහර බටහිර ලේඛකයෝ ඊශ්වරවාදය බැහැර කළේය. සමහරුන් ඊශ්වරවාදය දෙස බැලුවේ දැඩි උදාසීනත්වයෙනි. බටහිර ලේඛකයෝ තර්කයත්, විද්‍යාවත් ගුරු කොටගත් අන්වීක්‍ෂකයෝ වූහ. තාගෝර් වෛදික දහමටත් බුදු දහමටත් ආවේණික අන්තර්ඥනය ගුරු කොටගෙන පරමාර්ථය සත්‍යය හඟින්ට වෑයම් කළ කවියෙකි.

තාගෝර්ගේ පද්‍යයන්ට පමණක්‌ නොව නාටකයන්ට ද දුර්බෝධ අර්ථ හා ගුඪ හැඟීම් පිවිසෙන්නේ ඔහුගේ භාවාත්මක ගුඪවාදය නිසාය. තාගෝර්ගේ නාටකයන් හා පද්‍යයන් විවේචනයෙන් ආශ්වාදයක්‌ ලැබීමට ඔහුගේ ප්‍රතිභා ශක්‌තියෙහි මේ අංගය වටහාගත යුතු යයි මම සිතමි.

පද්‍යයන්ටත්, නාටකයන්ටත් වඩා මම තාගෝර්ගේ කෙටිකතා හා විවේචනාත්මක නිබන්ධ උසස්‌ කොට සලකමි. ඔහුගේ වර්ණනාත්මක පද්‍යයන්ගෙන් වාච්‍ය අර්ථයට යටින් ඇති ගුඪ හැඟීම් ඇතැම් විට මට දැනෙන්නේ බොළඳ හැඟීමක්‌ ලෙසිනි. තාගෝර් තම කෙටිකතාවලින් හා නාටකයන්ගෙන් පීඩිත ජනයාට, නූගතුන්ට, ගැමියන්ට, කුලහීනයන්ට, දුර්වලයන්ට හා සමාජය අවඥවෙන් බැහැර කරන ගණිකාවන් ඇතුළු හැම වර්ගයේම පවුකාරයන්ට දැඩි අනුකම්පාව දක්‌වයි. මේ අනුකම්පාවට තුඩුදෙන ඔහුගේ මානව භක්‌තියත්, සංස්‌කෘතියත් හින්දු සාහිත්‍යය නොව බෞද්ධ සාහිත්‍යය ඇසුරෙන් සකස්‌ වූහයි සිතමි. උපනිෂද් මුනිවරයන් හැර අනික්‌ වෛදික බමුණන් නිපද වූ සාහිත්‍යය දහස්‌ ගණනින් සතුන් පමණක්‌ නොව ඇතැම් විට මිනිසුන්ද මරා යාග කිරීමට අනුබල දෙන්නක්‌ විය. 

වංග දේශයේ හින්දුකාරයෝ සතුන් පමණක්‌ නොව ඇතැම් විට මිනිසුන් ද මරා කාලිය පිදූහ. මේ නරබිලි පිදුම තහනම් කළේ බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව යයි වංග භක්‌ති ගීත සාහිත්‍යය යන හිසින් පොතක්‌ ලියූ ඊ. ෙ-. තොම්සන් දේවගැතිතුමා කියයි. මිනිසුන්ට සාප කිරීමෙන් ඔවුන් ගස්‌ ගල් කළ කුරිරු හින්දු තවුසන් පිළිබඳ කතා හින්දු සාහිත්‍යයෙහි හිඟ නොවේ. මිනිසුන්ගේ වෙසින් මෙලොවට බට හින්දු දෙවිවරුන් දුෂ්ට රජුන් මෙන් මිනිසුන්ට හිංසා පීඩා කළ බව දහහත්වන දහඅටවන සියවස්‌වල ඉන්දියාවේ හින්දුකාරයන් රචිත ඇතැම් නාටකවලින් හා කාව්‍යයන්ගෙන් හෙළි වෙයි. ජාතක කතා ඇතුළු බෞද්ධ කතා සාහිත්‍යය වනාහි වෙසඟනන්, හීන කුලීනයන්, ගැමියන්, නූගතුන්, මිනීමරුවන්, දුගියන් ඇතුළු සියලුම පීඩිත ජනකායට දැඩි දයානුකම්පාවක්‌ දක්‌වන්නකි. තාගෝර් මේ බෞද්ධ සාහිත්‍යයෙන් ලත් පෝෂණයෙන් සකස්‌ වුණු මානව භක්‌තිය ඇත්තෙකි. තාගෝර්ගේ ඇතැම් පද්‍ය කාව්‍යයක රීතිය ජාතක පාලියෙහි රීතියට නෑකම් ඇත්තෙකි. එය බටහිරින් ණයට ගත්තක්‌ යයි සිතන්නට තුඩුදෙන කරුණක්‌ මට හසු නොවීය.

පණ්‌ඩිතකමත්, බුද්ධියත් නිසා අහංකාර වූවන් උපහාසයට හසු කෙරෙන කතා තාගෝර්ගේ කෙටිකතා අතර ඇත. අලංකාර ශාස්‌ත්‍රයෙහි භාෂාවෙහි හා තර්කයෙහි ද කෙල පැමිණි පඬිවරයකු හා ඒ කිසිවකු කෙල නොපැමිණි නමුත් කවි ප්‍රතිභාව දියුණු කරගත් නිවාත වුත්තියෙන් යුතු කවියකු අතර සිදුවූ වාදයක නියායෙන් තාගෝර් ලියූ කෙටි කතාවක්‌ ඇත. ඔහු කතාව අවසාන කරන්නේ පණ්‌ඩිතයා තර්කය හා බුද්ධිය වහල් කොටගෙන අර කවියාගේ කවීත්වය සුන්බුන් කොට ජය ලැබීම පිළිබඳ වර්ණනයකිනි. ගුත්තිල මූසිල කතාව සිහි කරවන මේ කෙටි කතාවේ පණ්‌ඩිතයාගේත් කවියාගේත් වාදය සිදු වන්නේ රජකු ඉදිරියෙහිය.

මේ කෙටිකතාව තාගෝර් ලියන්ට ඇත්තේ ඇතැම් වංග පඬුවනට තමා ගැන කළ නිර්දය විවේචනයන් සිහි කරමිනියි සිතමි. තාගෝර්ගේ "උයන් ගොව්වා" පද්‍යයේ ඉංගිරිසි පරිවර්තනයෙහි මේ කියුම් දක්‌නා ලැබේ.

"අවදිවුණු මට අරුණලු සමග ඔහුගේ ලියුම ලැබිණ. එය කුමක්‌ කියන්නේ දැයි අකුරු නොදන්නා මම නොදනිමි. මම පණ්‌ඩිතයා ඔහුගේ පොතුත් සමග මඟ හරින්නෙමි. මම ඔහු නොවෙහෙසමි. මේ ලියුම් කියවන්ට ඔහු දන්නේ ද? ඒක දන්නේ කවරෙක්‌ ද?"

"ලියුම් මගේ නළලට අල්ලා හදට තබා තද කරන්ට මට ඉඩ දෙන්න."

ඇතැම් වංග පඬුවන් තාගෝර්ගේ කවීත්වයත් පොදු වගු බස්‌ වහරට හුරුවන සේ සකස්‌ වුණු ඔහුගේ බසත් හඳුනා ගත්තේ නොබෙල් තෑග්ග පිරිනමනු ලැබූ පසුයි. මෙය වංග දේශයෙහි පමණක්‌ සිදු වූවක්‌ හා සිදු වන්නක්‌ නොවේ. බටහිර මිනිසුන් විසින් පාලනය කරනු ලැබූ අනික්‌ පෙරදිග රටවල තවම වුවද සිදු වන්නකි. බටහිර පාලන ක්‍රමය පෙරදිග රටවල ජනයා එක්‌ කරන්නක්‌ නොව බෙදන්නක්‌ වීය. එසේ බෙදෙන්නෝ කටින් හටන් කරන ඊර්ෂ්‍යාකාරයෝ වෙති. බටහිර සංස්‌කෘතියත් භාෂා සාහිත්‍යයත් මෙසේ භින්නවත් වූවත් අනුකරණයෙහි ශූරයන් කළේය. සිංහල කතා කරන ගැමියාත් පණ්‌ඩිතයාත් ඉංගිරිසි උගතාත්, නාගරිකයාත් යන සියල්ලෝ සිංහලයෝය. මොවුන් වහරන්නේ එකම සිංහල බසයි. ඒ බසින් හැඳින් වෙන්නේ එකම පොදු සංස්‌කෘතියකි. සිංහලයන් අතර දැනුම, උගැන්ම, රුචිය, ඇඳුම් පැළඳුම් විසින් නොයෙක්‌ වෙනස්‌කම් ඇතත් ඒ සියල්ලට යටින් එකමිතියක්‌ නොහොත් අද්වෛත ධර්මයක්‌ ඇත. ජාතිය, බස, සාහිත්‍යය, සංස්‌කෘතිය ද එක්‌කොට එකම සංස්‌ථාවක්‌ කරන්නේ මේ අද්වෛත ධර්මයයි. තාගෝර් තම ධී ශක්‌තියෙන් හෙළි කළේ වංග ජාතිය පිළිබඳ මේ අද්වෛත ධර්මයයි. ඔහු තම කවි කල්පනයන් කියන්ට වහල් කොට ගත්තේ පණ්‌ඩිතයන්ගේ බස නොව පොදු ජනයාගේ බසයි.

යුරෝපීයයන්ගේ හෝ ආසියාතිකයන්ගේ හෝ ජන කවියක්‌ අනික්‌ බසකට නැගුවහොත් එය මුළු ලොව ජනයාට සාධාරණ කවියක්‌ වන්නේය. පරිවර්තනයෙහිදී පවා ජන කවිය මුළු ලොව ජනයාට සාධාරණ එකක්‌ වන්නේ කෙසේද? ඊට එක්‌ හේතුවක්‌ අසංකීර්ණ ගැමි ජනයාගේ හැඟුම්වල හා බසෙහි සරලත්වයයි. මෙකල බටහිර රටවල යන්ත්‍රයෙන් වියනු ලබන පලස්‌, ඇතිරිලි, චීත්ත රෙදි ආදියෙහි මෝස්‌තරවලින් රාශියක්‌ මුළු ලොව ගැමි ජනයා පැදුරු, මලු, පෙට්‌ටි, පට්‌ටා, ඉණහැඳ ආදිය වියනු සඳහා නිපදවූ රටා වෙයි. නොඑසේ නම් එවැනි රටාවන්ගේ විපරිණාම වෙයි.

කවියෙකු නොහොත් සාහිත්‍යකාරයකු වශයෙන් තාගෝර්ගේ චරිතයෙහි එක්‌ අංගයක්‌ අප රට සාහිත්‍යකාරයන්ගේත්, පොත්පත් කියවන්නන්ගේත් විශේෂ සැලකිල්ලට භාජන විය යුත්තකි. ඉංග්‍රීසින්ගේ පාලනයත්, ඔවුන්ගේ භාෂාව හා සාහිත්‍ය කලා පැතිරීමත් නිසා පෙරදිග හැම රටක වාගේ සිදු වුණු අවුලක්‌ තාගෝර්ගේ සාහිත්යික චරිතයෙන් හෙළිවෙයි.

තාගෝර් දහහත් හැවිරිදි වියෙහි පටන් කවි රචනා කළේය. විසිපස්‌ හැවිරිදි වියෙහි ඔහු ප්‍රකෘතිය (ස්‌වභාව ධර්මය) කෙරෙහි ඇල්මක්‌ ඇති, නිදහස්‌ මත සලකන, තරුණ කවියකු මෙන් ප්‍රකට විය. ඔහු තරුණ වියෙහි කවි, කෙටි කතා හා නිබන්ධ රචනා කළේ "කලාව කලාව උදෙසාය" යන බටහිර සමහර කවීන්ගේ මතය ගුරු කොටගෙන යයි කශි අබ්දුල් වදූද් නමැති විචාරකයා කියයි. Contemporary Indian Literature, A Symposium. (Sahitya Akademi)

අවුරුදු 25 ඉක්‌ම වූ පසු තාගෝර්ගේ අදහස්‌ හා මතාන්තර කෙමෙන් වෙනස්‌ විය. බටහිර සංස්‌කෘතිය පිළිබඳ ඔහුගේ අදහස්‌ ද වෙනස්‌ විය. රටත්, ජාතියත් පිළිබඳ ඔහුගේ හැඟීම් දියුණු විය. 

හින්දු ආගම ගැන කළකිරුණු ඔහුට උපනිෂද් ධර්මයක්‌ බුදු දහමත් ප්‍රිය විය. ඔහු ඒ දෙ දහමින් ආශ්වාදයක්‌ ලැබුවේය. ඒ ආශ්වාදය ඔහුගේ කවි ප්‍රතිභාව තියුණු කළේය. "බ්‍රහ්මන්", "නිර්වාණය" යන දහම් ඔහුගේ ආගමික හැඟීම් ගුඪ වාදයට යොමු කළේය. ඔහු පසු කාලයෙහි රචනා කළ කවි අතරින් මේ ගුඪ වාදීය හැඟීම, යපටක්‌ ඔස්‌සේ දිවෙන විදුලිය බලයක්‌ මෙන් දිවීය. තාගෝර්ගේ සමහර නාටකයන් කෙරෙහිත් පද්‍ය රචනා කෙරෙහිත් බෞද්ධ කථා වස්‌තු, ජාතක පෙළ, ථෙරි ගාථා හා ථෙර ගාථා ද බලපෑවේය. තාගෝර් තුමාගේ එක්‌ නිබන්ධ සංග්‍රහයක ප්‍රස්‌තාවනාවෙහිලා ඒ බලපෑම ගැන වෙසෙසින් සඳහන් කළේය.

තාගෝර්, තමාගේ කව්, නවකතා ආදිය රචනා කළේ පොදු ජනයා වහරන වංග බසිනි. ඔහු පැරැණි වියරණයත්, සකු වදනුත් එතරම් ගුරු කොට නොසැලකුවේය. පොදු වගු බස්‌ වහර ගුරු කොටගත් ඔහුගේ රීතිය ඉංගිරිසි රීතිය අනුව සකස්‌ වූවකි.

"වංග නවකතාවෙහි බටහිර ප්‍රභාව" යන මැයෙන් ප්‍රිය රංජන් සෙන් (ඇම්. ඒ.) 1932 දී ලියූ නිබන්ධයක්‌ කල්කටා විශ්වවිද්‍යාලයෙහි සාහිත්යික සංග්‍රහයෙහි පළවිය. ඒ විශ්වවිද්‍යාලයෙහි කථිකාචාර්යවරයකු වූ ඔහු බංකිම්චන්ද්‍රගේ පහත දැක්‌වෙන කියුම ගෙනඇරපායි.

"දැනුදු මගේ ලිපි, ඇත්ත වශයෙන්, වංග රීතිය නොවෙයි. දැනුදු මගේ පොත්වල අතරින් පතර ඉංගිරිසි රීතියෙහි පරිවර්තනයන් ලෙස සැලකිය යුතු පාඨ දක්‌නා ලැබේ. මේ දෝෂය ඉංගිරිසි උගැන්මක්‌ ලැබූ හැම වංගයකුගේ වගු බසෙහි දක්‌නා ලැබේ. චන්ද්‍රනාථගේ "ශකුන්තලාව ඔබ කියවන්නට ඇතැයි සිතමි. චන්ද්‍රනාථ වංගු අකුරින් ඉංගිරිසි ලියුවේ ය." (Journal of the Department of Letters, Calcutta University. Vol XXII)
වංග බසත්, සකුවත්, ඉංගිරීසියත් හොඳින් උගත් බංකිම්චන්ද්‍ර මෙසේ කියුවේ ජාතික හැඟීමෙන් උද්දාමව ඉංගිරිසිය බැහැර කොට ඒ බසින් ලියුම් ලිවීම පවා නවත්වා කලකට පසුයි. බංකිම් චන්ද්‍ර ගැන "ඉන්ඩියන් මිරර්" ඉංගිරිසි පතෙහි කතු ඇන්. ඇන්. සෙන් ලියූ විවේචනයකින් කොටසක්‌ ප්‍රිය රංජන් සෙන් තම නිබන්ධයෙහි බහා තිබේ. එයින් ගත් පාඨයක භාවය මෙසේය.

"බංකිම් බාබුගේ චරිතයෙන් උගත හැකි එක පාඩමක්‌ නොසැලකීම සමාව නොලැබිය යුතු වරදකි. බටහිර සංස්‌කෘතියෙහි බලපෑම හින්දු සිතේ නිර්මාණාත්මක ශක්‌තිය හා ජාතික හැඟීම ද මරන්නක්‌ නොවීය. බාබු බංකිම්චන්ද්‍ර මෙන් යුරෝපයේ චින්තනය හා පාණ්‌ඩිත්‍යය නමැති පොකුණෙහි ගැඹුරුම තැනින් දිය බිවූ අනිකෙක්‌ නොවීය. සිතුම් විදියෙන් හා සිතුම් කියන විදියෙන් ඔහු ඉංගිරිසියෙක්‌ විය. ඔහු මැරෙන්නට පෙර ලියූ වේදය පිළිබඳ නිබන්ධය ඉංගිරිසි නිබන්ධයක සංක්‍ෂිප්ත රීතිය ඇත්තකි." (Journal of the Department of Letters, Calcutta University - Vol.XXII)

බංකිම්චන්ද්‍රගේ රීතිය නවීන වංග ලේඛකයන් කෙරෙහි බලපෑවේය. රවීන්ද්‍රනාත් තාගෝර්ගේ රීතිය ද බංකිම්චන්ද්‍රගේ රීතියට අනුගුණව සකස්‌ විය. ප්‍රිය රන්ජන් මෙසේ කියයි.

"රවීන්ද්‍ර හා බංකිම් යන දෙදෙනාම මහා විචාරකයන් වූහ. ඔවුන්ගේ සාහිත්‍ය සමාලෝචනා අන්‍යයෝ පිළිගත්හ. ඔවුන්ගේ මත පොදුවේ සැලකිලි ලැබීය. ඔවුන්ගේ කියුම් සාහිත්‍ය ලෝකයෙහි සිද්ධාන්ත විය. "සාධනා" යෙහි පළකරනු ලැබූ බංකිම්ගේ දයාරියෙහි කතා කාන්තෙර් ද ජµලර් හා තවත් එවැනි ලේඛනවල භාෂා රීතිය රවීන්ද්‍රගේ රීතිය නොහොත් කියුම් විදිය කෙරෙහි බලපෑවේය."

බංකිම් චන්ද්‍ර සකු බසෙහි ද හසළ දැනුම ඇත්තෙක්‌ විය. ඉංගිරිසි භාෂා රීතියට අනු ගුණව සකස්‌වුණු ඔහුගේ රීතිය වංග පඬුවන්ගේ සැලකිල්ලට හසුවූයේ ඔහුගේ සකු බස්‌ දැනුම නිසා විය හැකිය. තාගෝර් 1913 වන තෙක්‌ සමහර වංග පඬුවන්ගේ නින්දාවට භාජන වීය. ඊට එක්‌ හේතුවක්‌ වූයේ තාගෝර් සකු බසත්, සකු වියරණයත් නොතකා පොදු ජනයා වහරන බසින් කවි හා නවකතා රචනා කිරීම විය යුතුය. වගු බස දත් සිංහල උගතුන් දෙතුන් දෙනකුගේ මතය අනුව තාගෝර්ගේ පද්‍ය රචනාවල පමණක්‌ නොව ගද්‍ය භාෂාවෙහි ද ගීත රසයක්‌ ඇත. එය පොදු ජනයා වහරන වගු බසට හිමි ස්‌වර මාධූර්යය වෙයි. වගු බස ගැන දැනුමක්‌ නැති මට මේ මතය විනිශ්චය කිරීමට පුළුවන්කමක්‌ නැත.

1913 දී නොබෙල් තෑග්ග ලබන තුරු තාගෝර් වංග පඬුවන්ගේ දෝෂ දර්ශනයටත් අතැම් විට ඇනුම් පදයටත් භාජන වීය. තාගෝර්ගේ පොත්වලින් උපුටාගත් පාඨ කල්කටා විශ්වවිද්‍යාලයෙහි මැට්‌රික්‌ විභාග ප්‍රශ්න පත්‍රවල ඇතුළත් කරනු ලැබීය. එයින් සමහර ප්‍රශ්න පත්‍රයක ලා වගු පඬුවෝ මේ පාඨවල වියරණ දොස්‌ නිදොස්‌ කරමින් ශිෂ වංග භාෂාවෙන් නැවත ලියනුයි සිසුන් නියම කළෝය. මේ කරුණ තොම්සාන් දේවගැති තුමාගේ රවීන්ද්‍ර චරිතයෙහි විස්‌තර කොට ඇත. මේ පඬුවෝ 1913 දී නොබෙල් තෑග්ග දිනූ පසු තාගෝර්ට ගරු බුහුමන් කරන්නට වූහ යි තොම්සන් දේවගැතිතුමා කියයි.

මෙය මඳක්‌ විමසිය යුතු පුවතකි. ඉංගිරිසින්ගේ ආණ්‌ඩු සසුනත්, ඔවුන්ගේ සිරිත් හා භාෂා සාහිත්‍යයත් නිසා ඉන්දියාව පමණක්‌ නොව ලංකාව වැනි රටවලත්, මිනිසුන් වරිගවලට බෙදී ජීවත් වීමෙහි ඇතැම් විපාක ඒ විමසීමෙන් දත හැකිය. සිරිත්, බස හා ඇඳුම් පැළඳුම් විසින් වරිගවලට බෙදුණු උගතුන් අතර ඊර්ෂ්‍යාව, කුහකකම, බොරු මානය හා ව්‍යාජත්වය ද දියුණු වීය. සිතින් හදින් පිරිහුණු මොවුන් අතර ඉංගිරිසි භාෂා සාහිත්‍යය උගතුන් මෙන් ප්‍රාචීන භාෂා සාහිත්‍යය උගත්තු ද බහුල වූහ. මොවුන් ඉතාම අඩු වූයේ බුද්ධියෙන් නොවැඩුණු පොදු ජනකාය අතරයි. නොබෙල් තෑග්ග ලැබීමට පෙර තාගෝර් මේ පොදු ජනකායගෙන් බොහෝ ගරු බුහුමන් ලැබීය. පොදු ජනකායත් ඔවුන්ගේ ජනකවි, ජනකලා හා බසත් අශිෂ්ට සංස්‌කෘතික අංගයන් ලෙස සලකන්නෝ ඉංගිරිසි භාෂා සාහිත්‍යය උගතුන් අතරත්, සංස්‌කෘත භාෂා සාහිත්‍යය උගතුන් අතරත් බහුල වූහ. මොවුන්ගෙන් සමහරු තාගෝර්ගේ ගද්‍ය පද්‍ය රචනයන්ටත් එහි බස්‌ වහරටත් ගරහන්ට වූහ. තාගෝර්ට වඩා උසස්‌ ලෙස පිළිවෙළින් ඉංගිරිසි භාෂා සාහිත්‍යය උගත් පඬිවරු මෙසේ සිතන්ට ඇත. තමන්ට නොකළ හැකි වූ දෙයක්‌ ඉංගිරිසි භාෂා සාහිත්‍යය ස්‌වෝත්සාහයෙන් උගත් තාගෝර් කරන්නේ කෙසේද? ඔහු තම පද්‍යයන්, නවකතා හා විචාර ලිපි ද රචනා කළේ ඉංගිරිසි සාහිත්‍යයන් ගත් දේ එක්‌කොට ගැලපීමෙනි. ඔහුගේ බස්‌ වහර ද ශිෂ්ට ඉංගිරිසි බස්‌ වහරට අනුගුණව සකස්‌කොට ගත්තකි. ඉංගිරිසි උගතුන් ගෙන් සමහරුන් තාගෝර්ගේ රචනයන්, නොබෙල් තෑග්ග ලබන්නට පෙර විවේචනය කළේ මේ හැඟීමෙහි පිහිටා යයි මම සිතමි. ප්‍රාචීන භාෂා ශාස්‌ත්‍ර උගත් සමහර වංග පඬිවරයන් තාගෝර්ගේ පද්‍යයන්. නවකතා හා නිබන්ධනයන් විවේචනය කළේ එහි වියරණ දොස්‌, අශිෂ්ට ව්‍යවහාර ආදිය හෙළිකරන අදහසිනි.

නොබෙල් තෑග්ග ලේඛකයකුගේ ශේ්‍රෂ්ඨත්වය මැනෙන මිනුමක්‌ නොවේ. නොබෙල් තෑග්ග පිරිනැමීමෙහි දී සාහිත්යික කරුණු පමණක්‌ නොව එයින් පිටස්‌තර කරණු ද සැලකිල්ලට භාජන වෙයි. බටහිර රටවල සමහර උගතුන්ගේ සිත් තාගෝර්ගේ පද්‍යයන්ට ඇදී ගියේ ඒ පද්‍යයන්ට පිවිසි ගූඪවාදිය හැඟීම නිසා ය. එකල බටහිර ශේ්‍රෂ්ඨ කවීහුත් නවකතාකාරයොත් ඊශ්වර වාදය හා ආත්මවාදය නොඉවසන්නෝ වූහ. සමහරු ඊශ්වර වාදයට පහර දෙමින් තමන්ගේ ගද්‍යයන් හා පද්‍යයන් රචනා කළෝය. නොබෙල් තැග්ග දිනූ ඇනටෝල් ප්‍රාන්ස්‌ නමැති ප්‍රංශ ලේඛකයා ඊශ්වරවාදය උපහාසයට හසු කළේය. නොබෙල් තෑග්ග දිනූ තවත් ප්‍රංශ ලේඛකයකු වූ ඇන්ඩ්රේ ජිඩ් ඊශ්වරවාදියකු නොව නිදහස්‌ ගූඪවාදියෙක්‌ වීය. තාගෝර්ගේ ගූඪවාදය බටහිර ලේඛකයන් අතර පැතිරී අතීශ්වර වාදයෙහි සැර අඩු කෙරෙන්නකි. එය ගූඨවාදයත්, ආත්මවාදයත්, භක්‌තියත් කාම රාගයත් යන සතර සංකලනයෙන් උපන් හැඟීමකි. උපනිෂද් ධර්මයත්, ථෙරි ගාථා, ථෙර ගාථා වැනි බෞද්ධ කාව්‍යයනුත්, කාලිදාස, ජයදේව ආදි සකු කවීන්ගේ කාව්‍යයනුත් ඇසුරෙන් ලත් දැනුම තාගෝර්ගේ ගූඪවාදය තියුණු කළේය. ඉංගිරිසි කවීන්ගේ කාව්‍යයන් උගැන්ම නිසා ඒ ගූඪ හැඟීම නවීණ වේසයක්‌ ගත්තේය. අයිරිස්‌ ජාතික කවියකු වූ යේට්‌ස්‌ ගූඪවාදියෙක්‌ විය. ඔහු හා ඔක්‌ස්‌පර්ඩ් විශ්වවිද්‍යාලයේ දේවගැතිවරුන් ද තාගෝර්ගේ ගීතාඤ්ජලිය නොබෙල් තෑග්ග පිළිබඳ සාහිත්යික උපදේශක මණ්‌ඩලයට හඳුන්වා දුන්හයි සමහරු කීහ. කිතු සමයටත් පටහැනි වූ බටහිර සමහර විචාරකයෝ ගීතාඤ්ජලියෙහි සැඟවී ඇති ගූඪ භක්‌තිවාදය අබිං වෙසෙසක්‌ යයි සරදම් කළහ.

නොබෙල් තෑග්ග කවියකු මැනෙන මිනුමක්‌ නොවේ යයි මා කීවේ මෙවැනි කරුණු සලකාය. ළඟදී බොරිස්‌ පැස්‌ටර්නාක්‌ නමැති රුසියන් කවියාට නෝබල් තෑග්ග පිරිනැමීමෙහි දී ජාත්‍යන්තර දේශපාලන කරුණු ද අනුශාසක සභාව කෙරෙහි බලපැවැත් වූ බව පෙනේ. විප්ලවයෙන් පසු යුරෝපයට පළා ගොස්‌ ප්‍රංශයෙහි ජීවත් වූ රුසියන් ලේඛකයන් අතුරෙන් ඉවාන් බුනින් නවකතාකාරයෙකි. ඔහු ද නොබෙල් සාහිත්යික තෑග්ග දිනා ගත්තේය. එහතේ ටෝල්ස්‌ටෝයි, චැකොෆ් සහ ගෝර්කි යන තිදෙනාම නොබෙල් තෑග්ගට හිමිකම් ඇත්තන් ලෙස සලකනු නොලැබූහ.

තාගෝර්ගේ බසටත්, කාව්‍යයන්ටත්, මතයන්ටත් නින්දා කරමින් සිටි විශ්වවිද්‍යාලවල සමහර පඬිවරයන් හා පැරැණි ගුරුකුල පඬිවරයන් ද යන දෙගොල්ලම නොබෙල් තෑග්ග දිනාගත් පසු තාගෝර්ගේ කවීත්වයෙහිත් "අශිෂ්ට" භාෂාවෙහිත් උසස්‌කම් දැකීම විහිළුවක්‌ නොවන්නේද? තාගෝර් නොබෙල් තෑග්ග දිනා ගත්තේය යි මා මෙහි ලියන්නේ ද සමහර වංග පඬුවන්ගේ අදහස්‌ වෙනස්‌ වූයේ ඔහුගේ රචනාවන්ගේ හරයත් ඔහුගේ බසෙහි චාම් සරල බවත් වටහාගත් නිසා නොව වංග බස නොදන්නා බටහිර රටක සාහිත්යික අනුශාසක සභාවකින් තෑග්ගක්‌ ලැබීමේ වාසනාව සලකාගෙන බව මතක්‌ කරන අදහසිනි.

තාගෝර් ඉංගිරිසි කවියෙන්, ප්‍රංශ නවකතාවෙන් හා රුසියන් නවකතාවෙන් උපමා, අලංකාර, අදහස්‌ චරිත ගන්නා ලදැයි සමහරු චෝදනා කළහ. මේ චෝදනා ප්‍රිය රන්ජන් සෙන් යට කියන ලද විශ්වවිද්‍යාල සංග්‍රහයෙහිලා පරීක්‌ෂණයට භාජන කළේය. අනික්‌ රටවල සාහිත්‍යයෙන් එළිය ලැබීම මිස ණයට ගැනීමක්‌ තාගෝර්ගේ රචනාවල නොදක්‌නා ලැබේයයි ඔහු නිගමනය කළේ ද තාගෝර්ට නොබෙල් තෑග්ග හිමිවූ පසුයි.

තමන්ගේ රටේ ලේඛකයන්ට හා කවියන්ට මෙවැනි චෝදනා නැගීම වංග ජනතාව අතරට සීමා වූවක්‌ නොවේ. ඉංගිරිසින් විසින් පාලනය කරනු ලැබූ හැම රටක උගත්තු තමන්ගේ රටේ සාහිත්‍යකාරයන්ට හා කලාකාරයන්ට, එවැනි චෝදනා නැගීම ඇබ්බැහිකමක්‌ කරගත්හ. මේ ඇබ්බැහිකමට අනුබල දෙන සේ ඔවුන්ගේ සිත් හැදුණේ කරුණු රාශියක්‌ නිසා ය. තමන්ගේ බසත්, සාහිත්‍යය හා කලාවනුත් පහත් කොට සැලකීම, ඉංගිරිසින් සතු දේ මහත්කොට සලකා ඒවා අනුකරණය කිරීම, අනුකරණයෙහි රුසියන් වීම නිසා අමුතු දෙයක්‌ ගැන සිතන්ට නොහැකිවීම, උත්පාදන ශක්‌තිය අතුරුදන් වීම, ඊර්ෂ්‍යාව, කුහකකම මේ සියල්ල දියුණු කරන කුල භේදය, පංති භේදය හා ඉංගිරිසි උගත් ලොකු මිනිසුන්ගෙන් තුති පැසසුම් ලැබීමේ ආසාව එයින් කිහිපයකි.

ආසියාවේ ජනයා නිදහස ලැබීමෙන් පසු මෙයින් ඇතම් කරුණු කෙමෙන් නැති වෙයි. එහෙත් මෙවැනි අදහස්‌ හා හැඟීම් අප අතරින් පමණක්‌ නොව බටහිර උගතුන් අතරින් ද දුරු කරන දැනුම පැතිරෙන්නේ නවීන මානව විද්‍යාව නිසාය. බටහිර හැම සංස්‌කෘතියක්‌, සාහිත්‍යයක්‌, කලාවක්‌ ස්‌වාධීනව වැඩුණේ ලොව නොයෙක්‌ රටවලින් ණයට ගත්දේත් ලත් දැනුමත්, උගැන්මත් ඒ ඒ ජාතීන්ට හිමි ශක්‌තීන් විසින් සංකලනය කරනු ලැබමෙනියි මානව විද්‍යාඥයෝ පෙන්වා දුන්හ. ණයට ගැනීම, සොරා ගැනීම, අනුකරණය යන වචන සංස්‌කෘතීන් හා සාහිත්‍ය කලා ද අරබයා ඉතා පරෙස්‌සමෙන් වහරට ගත යුතු කියුම් වෙයි. එක්‌ සාහිත්‍යයකින් ගන්නා දේ අනික්‌ සාහිත්‍යයකට පිවිසෙන්නේ එහි බසටත්, සංස්‌කෘතියට හා කවියාගේ ශක්‌තියටත් අනුරූපව සකස්‌ කරනු ලැබීමෙන් පසුයි. "ස්‌වාධීනත්වය" "උත්පාදනය" යන පදවලින් හැඳින්වෙන්නේ නැති දෙයක්‌ මැවීම නොවේ" ඇති දෙයකට අලුත් අමුතු ස්‌වරූපයක්‌ දීමයි.

කේජු දැන් යුරෝපයේ සාදනු ලබන කෑමකි. ඒ කෑම අපගේ ජීර්ණ යන්ත්‍රයට හසු වීමෙන් ජීර්ණ වෙයි. එහි රසය අපේ ලෙයටත්, තෙලටත්, ඇඟ මසටත් එක්‌ වන්නේ ඒ සකස්‌ වීමෙන් හා වෙනස්‌ වීමෙන් පසුයි. අපේ ලෙයටත්, තෙලටත් ඇඟ මස්‌ සෑදුණු ප්‍රොaටීන් නමැති ධාතුවලටත් එක්‌ වන්නේ ණයට ගත් කේජු මෙන් නොව අපගේ ජීර්ණ යන්ත්‍රය විසින් විච්ඡේදනයෙන් අලුත් උත්පාදනයකට හරවන ලද රස ධාතු ලෙසිනි. සාහිත්‍ය කලාවෙහි ඇතුළු වන ස්‌වාධීන උත්පාදකයෝ මීට නෑකම් ඇත්තෝය.

මානව විද්‍යාව පසුගිය අවුරුදු පනහ තුළ දියුණු වූ දැනුම් වෙසෙසකි. ඉංගිරිසි අධ්‍යාපනඥයෝ ඒ දැනුම පෙරදිග රටවල පැතිරෙනු නොඉවසූහ. අද්විතීයයි සලකනු ලැබූ ඔවුන්ගේ සංස්‌කෘතියට එයින් පහර වැදෙයි. පහත්යයි සලකනු ලැබූ පෙරදිග සංස්‌කෘතීහු උසස්‌ තැන් ලබති. ආත්මවාදය, ආදි කාලීන වැදි මිනිසුන්ගේ "පිශාච වාදය" (animism) ඇසුරෙන් ප්‍රබලව දියුණු වූවකැයි මානව විද්‍යාවෙන් ඉගැන්වෙයි. මේ කරුණු නිසා මානව විද්‍යාව පෙරදිග පැතිරෙනු ඉංගිරිසි පාලකයොත් ඔවුන්ගේ අනුගාමිකයොත් නොඉවසූහ.

තාගෝර්ගේ සාහිත්යික චරිතයෙහි එක්‌ අංගයක්‌ විමසීමෙන් අපට උගත හැකි පාඩම කුමක්‌දැයි ඔබට දැන් වැටහෙතියි සිතමි. අපේ බසත්, සාහිත්‍යයත් දියුණු කරනු පිණිස හොඳම දසාව දැන් ලබා තිබේ. ඒ දසාවෙන් නියම පල ලබාගත හැක්‌කේ ඉංගිරිසිකාරයන් හා ඉංගිරිසි උගතුන් විසින් අප රට වපුරන ලද නිසරු අදහස්‌වලට හා මතවලට වහල්ව ලේඛකයන් හා කලාකාරයන් කුළල් කනු වැළැක්‌වීමෙනි. තාගෝර්ගේ රචනයන්ගෙන් හා ඔහුගේ සාහිත්යික චරිතයෙන් ද උගත යුතු පාඩම මේ අවදියෙහි අප විසින් සිහි කළ යුතුය.

තාගෝර් ජාත්‍යන්තර කීර්තියක්‌ ලැබුවේ නොබෙල් තෑග්ග දිනූ හෙයිනි. ඔහු ඒ ජාත්‍යන්තර කීර්තිය නොලැබුවේ නම් සිංහල උගත්තුත් ඉංගිරීසි උගත්තුත් ඔහු සිහි නොකරති. ඉන්දියාවේ උගතුන් පවා තාගෝර්ගේ භාෂාවත් බටහිර සාහිත්‍යයට ණය ගැතිකමත් නොනවත්වා විවේචනය කරනු ඇත.

මාර්ටින් වික්‍රමසිංහ Divaina