Pages

Sunday, June 05, 2011

කලාවැවේ නිල් දියවර අපෙ අම්මා


ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා

ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
සිත නෑ නිදි විඳගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දේ හීන දකින්නේ
මහමායාවනි කවදාදෝ ඔය නෙත්
දරු සෙනෙහසින් මිදින්නේ
වෙල් එළිවල ඇවිදින දෙපා රිදෙන විට
විහඟ ගීත බණ පද වේවා
බෝ මලුවක ඇවිලෙන පහන් වැටක් සේ
තුන් සිත නිවී සැදේවා
මතු උපදින සසරේ විශාඛාව වී
මෙත් මඟ නෙත් හමුවේවා
ඇත් රැජිනියනේ ඔබෙ නැළවිලි ගීතය
ලොවම නිවන කවියක් වේවා

පද රචනය හා සංගීතය - සුනිල් දයානන්ද කෝණාර
ගායනය – කරුණාරත්න දිවුල්ගනේ

අම්මා” තරම් ආදරණීය වචනයක් තවත් කොහිද? අලුත උපන් දරුවා බහ තෝරද්දී කිරි සුවඳ මුවෙන් ප්‍රථමයෙන් ගිලිහෙන වචනය අම්මාය. ඇය ආදරයේ උල්පත බව ප්‍රේමකීර්ති ලියා තැබුවේය. මක්සිම් ගෝර්කි “අම්මා” යනුවෙන් නවකතාවක් වෙන් කළේය. අම්මා ගැන ලියවුණු ගී කව් අප්‍රමාණය. ඒ අතර අමරණීය ගීත රචනාවන් රාශියක් පවතී. ඉන් කීපයක් මේ සටහන ආරම්භයේ සිහිපත් කරමි.

ආදරයේ උල්පත වූ අම්මා - වික්ටර් (ප්‍රේමකීර්ති)
අම්මාවරුනේ - නන්දා මාලිනී (ධර්මසිරි ගමගේ)
මිහිමඬලේ අඳුරු කුසේ - නන්දා මාලිනී (ඩබ්.ඒ.අබේසිංහ)
දෙවැනි බුදුන් ලෙස - සුනිල් එදිරිසිංහ (සුනිල් ආරියරත්න)
දවසක් පැල නැති හේනේ - ගුණදාස කපුගේ (රන්බණ්ඩා සෙනවිරත්න)

මා මෙහි සඳහන් කළේ නිර්මාණ කීපයක් පමණි. ග්‍රේෂන් ගැයූ බිළිඳුනේ දරුවනේ, ඇන්ජලීන් ගැයූ “අම්මලා දුක්ගන්නේ” වැනි ගීතවල සිට “ජීවිතේ මල් අම්ම ඉන්න කල්” දක්වාම මවු ගුණ ගී ගැයී ඇත. සිංහල පද්‍ය සාහිත්‍යයේ ද අම්මා පිළිබඳ ලියැවුණු අවස්ථා අප්‍රමාණය. ඒ අතර පසුකාලීන බොහෝ රචකයන්ගේ නිර්මාණ සඳහා පෝෂණය සැපයූ අපූරු කාව්‍යයක් මෙහිදී සිහිපත් කරමි.
more
”ඇවිද ලඳු දෙණි කැලෑ බිම්වල
රැගෙන විත් තුන්හිරිය පන්කොළ

වියා නෙක් විසිතුරු රටා පැදුරු
රටාවක් බව මේ මහා විශ්වය
කුඩා කල සිට ම මට
කියා දුන් අම්මා ඔබය


(ප්‍රබුද්ධ – මහගම සේකර)

දරුවකු වැදූ පමණින් මවක නොවන බවත් මවක වීමේ සුදුසුකම දරුවකු වෙනුවෙන් අපරිමිතව කැපවීම බව බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් නැමැති ජර්මානු නාට්‍යකරුවා හුණුවටයේ කතාවේ දී සිහිපත් කළේය.

මවුගුණය ඇති අය
දරුවන් දිනිය යුතු වෙය
ගොවි දන මනා වූ
ලැබිය යුතු වූ සේම ගම් බිම්

(බර්ටොල්ට් බ්‍රෙෂ්ට් ගේ හුණුවටයේ කතාව)
හෙන්රි ජයසේන පරිවර්තනය)


මවු ගුණය ඇති සැබෑ මවුවරුන් ගැන ගැයුණු ගී පදමාලාවන් අතර අතිවිශිෂ්ට පදමාලාවක් ලෙස සුනිල් දයානන්ද කෝණාරයන්ගේ “ගමට කලින්” ගීතය හඳුන්වා දිය හැකිය. බෞද්ධ සංස්කෘතියෙන් හික්මුණු අපගේ ග්‍රාමීය මාතාවන්ගේ උතුරා යන මවුගුණය මෙතරම් ගැඹුරින් ඇගැයීමට ලක් වූ නිර්මාණ අල්පය.
”ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩිනා
ඒ හිරු එළියෙන් නැණමල් පොඩි පිපුණා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලාවැවේ නිල් දියවර අපෙ අම්මා


මෙම ඉර පායන්නට පෙර නිවසේ මුළුතැන්ගෙට පායන හිරු මඬල අම්මා ය. හිරු එළියෙන් විකසිත වෙන අනේකවිධ පුෂ්පයන් සේ ඇය දරුවන්ව පාසල් යවයි.

”අඬන විට මා කුඩා අවදියේ බඩගිනිව
තම්බා බතල දලු
ලුණු දියර ඉස
පොල් හා මුසුකොට කවා
බඩගිනි නිවූ අම්මා ඔබය

(ප්‍රබුද්ධ – මහගමසේකර)

ඇය එසේ හැදූ වැඩූ දරුවන් සමාජයට වැඩදායක පුරවැසියන් බවට පත්වූ විට ඇය නිහඬව විඳින්නේ ලොව්තුරු සුවයකි. එසේ නම් සරුසාර කෙත්වතු දහස් ගණනක් අස්වැද්දූ කලාවැවේ නිල්දියවර ඈ නොවේද? කෝණාරයන් ලාංකීක ශිෂ්ටාචාරය හා බෞද්ධ සංස්කෘතිය මත මේ උදාරතර මවුගුණය බද්ධ කිරීමට නිර්මාණයේ ආරම්භයේ පටන්ම සමත්වී තිබේ. මේ නිසා සැබෑ ලාංකික මවකගේ උත්තරීතරත්වය, හා ගුණ සුවඳ නිර්මාණයෙන් වහනය වෙයි. එය විටෙක සැබෑ ආසියාතික මවගේ ද මවුගුණය ද මේ නිර්මාණයේ ගැබ් වේ.

රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු - සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් - සිත නෑ නිදි විඳගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන - නින්දේ හීන දකින්නේ
මහමායාවනි කවදා දෝ ඔය නෙත් - දරු සෙනෙහසින් මිදෙන්න


දරුවන් ලොකු මහත් වූ පමණින් මේ මවුගුණය හමාර නොවේ. ඔවුන්ගේ ජීවිත පුරාම ඇය සෙවණැල්ලක් බවට පත්වෙයි. තම රැකීරක්ෂා නිමකොට දරුවන් නිවසට එනතුරු ඈ මඟබලා සිටින්නීය. දරුවන් ප්‍රමාද වී නම් කළුවර හඬා වැටුණත් ඈ නොනිදන්නීය. දරු සෙනෙහසින් නොමිදෙන ඇයව රචකයා “මහාමායා”වට සමාන කරනුයේ ඇගේ උත්තරීතර මවුගුණය වෙනුවෙන් ඇය ඇමතීමට සුදුසුම වචනය එය බැවිනි. දරුවන්ට සියල්ල පිරිනමා දරුවන්ගෙන් කිසිවක් බලාපොරොත්තු නොවන මේ මවුගුණයට ආශිර්වාද කරනු විනා දරුවන් වෙන කුමක් කරන්නද? එම නිසාම රචකයා එම මවු ගුණයට ආශිර්වාද කරයි.

”වෙල් එළිවල ඇවිදින දෙපා රිදෙන විට
විහඟ ගීත බණ පද වේවා
බෝ මළුවක ඇවිළෙන පහන් වැටක් සේ
තුන්සිත නිවී සැදේවා

මතු උපදින සසරේ විශාඛාව වී
මෙත් මඟ නෙත් හමුවේවා
ඇත් රැජිනියනේ ඔබෙ නැළවිලි ගීතය
ලොවම නිවන කවියක් වේවා


මේ “අම්මා” සිංහල බෞද්ධ සංස්කෘතියේ නිර්මාණයකි. ඒ නිසා රචකයා බුදුදහම හා සම්බන්ධ යෙදුම් ඇයට ආශිර්වාද කිරීම සඳහා යොදාගනී. විහඟ ගීත බණ පද වන්නටත් පහන් වැටක ඇති සංයමය සිතට ලබන්නටත් බුදුන් දැක නිවන් දකින්නටත්, අනුන්ට නිවන් මඟ පෙන්වන්නටත් ඇයට හැකියාව ලැබේවා! යනුවෙන් ප්‍රාර්ථනා කරන්නේ එබැවිනි. රචකයා භාවිතා කරන ‘ඇත් රැජිනියනේ’ නැමැති යෙදුම කලාතුරකින් ඇස ගැසෙන කාව්‍යෝක්තියකි.
”මගෙ ඇත් රජුනි හිමි සඳ අද කොතැනකද?
(යසෝදරාවත – ජනකවි)

අප්‍රමාණ දුක් ගැහැට විඳ දරා ගැනීමට යෝධබල යෝධ සවිය තිබූ ඈ වෙනුවෙන් ජනශ්‍රැතියෙන් උකහා ගත් ඒ යෙදුම වඩාත් යෝග්‍ය ය.
සුනිල් දයානන්දයන් මෙන්ම කරුණාරත්න දිවුල්ගනේ නම් ගායකයාණන් ද මේ මවුගුණය, ගැමි සුවඳ හොඳින් හඳුනාගත් මිනිසුන් වීම නිර්මාණයේ සුගායනයට බෙහෙවින් හේතුවී තිබේ. උදෑසනක මේ ගීතය ශ්‍රවණය වෙද්දී එය අමාදහරක් මෙන් හදවත තෙමා ගලා හැලෙයි. මේ සටහන අවසන් කිරීමට පෙර මම සුනිල් දයානන්ද කෝණාරයන් වෙනුවෙන් සටහනක් තබමි.
ඔහු ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසලේ සංගීත ගුරුවරයාය. ගැඹුරු මුහුදක් මෙන් නිසලය. කීර්තිය ජනප්‍රියත්වය සොයා යාමට අබමල් රේණුවක වෙහෙසක් නොගනියි. නිහඬව තම මෙහෙවර ඉටු කරයි. අඩුවෙන් කතාකරයි. වැඩියෙන් වැඩ කරයි. කලා වෙළඳ පොළේ විකුණුම් භාණ්ඩයක් වීමට උත්සාහ නොකරයි. බෙලිකටුවලින් පිරි කලාව නැමැති සාගරයේ ඔහු මුතුකැටයකි. සංගීත ඥානයෙන් ද සාහිත්‍ය ඥානයෙන් ද පිරිපුන් මිනිසෙකි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ බොහෝ දෙනා ඔහු ගැන නොදනිති.
නැතිනම් නොදන්නවා සේ සිටිති. ඔහුගේ පාසලේ ඇතැම් ශිෂ්‍යයන් ද ඔහුව හඳුනන්නේ සාමාන්‍ය ගුරුවරයෙකු ලෙස පමණක් බව මම පෞද්ගලිකව දනිමි. ශිෂ්‍යයෝ බහුතරයක් ඔහු තුළ සිටින නිර්මාණශීලී මිනිසා නොදකිති. පාසල් ගුරුවරුන් හෝ මේ මිනිසාගේ වටිනාකම දන්නවා දැයි නොදනිමි. මේ කිසිවක් ඔහුට නම් අදාළ නොවේ. ඔහු වැඩ ඉල්ලාගෙන යන්නෙක් නොවේ. ඔහුගෙන් වැඩක් ගැනීම සත්කෝරළයේ පමණක් නොව මුළු මහත් ශ්‍රී ලංකාවේ ම වගකීමකි. එසේ නොමැති නම් ඔහු වටා තිබෙන ලෝකයේ මෝඩ උද්ධච්ච බවට හා කුහකත්වයට ගොදුරු වී මේ ජාතික සම්පත අප අපතේ හැරියා වනු ඇත. මේ අහිංසක මිනිසා හුදෙකලා වනු ඇත.