දරුවන් උපන් විගස ඔවුන් ගැහැනු පිරිමි වශයෙන් නම් කිරීම අපගේ පුරුද්දයි. දරුවකු ඉපදුන විගස හැම දෙනාටම දැනගන්න ට අවශ්‍ය වන්නේ දුව ද පුතා ද යන්නයි. සමහර දෙමවුපියන් දරුවා උපදින්නට පෙර මේ ගැන සොයා බැලීමට උනන්දු වෙයි. අල්ට්‍රා සවුන්ඩ් ස්‌කෑන් පරීක්‌ෂණ මගින් (Ultra sound scan) උපදින දරුවා පුතාද, දුවද යන්න දැන ගැනීමට දැන් දෙමවුපියන්ට පහසුකම් ඇත. මේ හැම අවස්‌ථාවකම අප පුතා සහ දුව වෙන්කර හදුනා ගත්තේ ද දරුවාගේ පිටතින් පෙන්නුම් කරන ලිංගේන්ද්‍රිය වර්ධනයේ ආකාරය අනුවයි. ඇත්තෙන්ම දරුවකු පුතාද, දුවද යන්න මුලින්ම, තීරණය වන්නේ මවගේ බීජයක් (ඩිම්බයක්) සහ පියාගේ බීජයක් (ශුක්‍රාණුවක්) එක් වී කළලය සෑදෙන මුල්ම අවධියේදීය. මවගේ සහ පියාගේ ජාන එක්‌වීම සිදුවන ආකාරය අනුව ජානමය වශයෙන් ගැහැනු පිරිමි දරුවන් ඇතිවීම තීරණය වේ. මෙසේ සෑදෙන කළලය වර්ධනය වන විට එහි ජානවල පාලනය යටතේ ගැහැනු හෝ පිරිමි ලිංගේන්ද්‍රියන් බාහිරව සහ අභ්‍යන්තරව වැඩීම සිදු වේ. බාහිරව පෙනෙන ලිංගේන්ද්‍රියයන්වලට අනුව දරුවා පිරිමි ද ගැහැනු ද යන්න තීරණය වේ. ඉහත ක්‍රියාවලි නිසියාකාරයෙන් සිදුනොවන අවස්‌ථා ඇත. එනම් බාහිර ලිංගේන්ද්‍රියන් ගැහැනු හෝ පිරිමි යන ආකාර දෙකටම සමාන හෝ වෙන්කර හදුනාගත නොහැකි ආකාරයකින් පිහිටා තිබීමය.moreමෙවැනි අවස්‌ථා කලාතුරකින් වුවද දැකිය හැකි අවස්‌ථා ඇත. දැන් නවීන තාක්‌ෂණයට අනුව මෙවැනි තත්ත්ව තීරණය කිරීමට තාක්‌ෂණිකව දියුණු ක්‍රම ඇත. එහි දී කෙරෙන්නේ දරුවාගේ රුධිරය හෝ පටක වර්ගයක් පරීක්‌ෂා කිරීමෙන් දරුවා ජානමය වශයෙන් ගැහැනු ද පිරිමි ද යන්න තීරණය කිරීමය. මින්පසු මෙම ලිංගේන්ද්‍රියේ ඇති ගැටලු සහගත තත්ත්වයට හේතුව සොයා ගත යුතුය. මෙවැනි තත්ත්වයන්ට හේතුන් ගණනාවක් තිබිය හැක. ජානමය වශයෙන් සිදුවන ඒවා ඉන් ප්‍රධාන තැනක් ගනී. එනම් ජානමය වශයෙන් පිsරිමි දරුවකු ලෙස පිළිසිඳ ගත්ත ද වර්ධනය වීමේ දී සිදුවන අඩුපාඩු නිසා එම ලිංගේන්ද්‍රියයන් වර්ධනය නොවී ඒ වෙනුවට ගැහැනු ලිංගේන්ද්‍රියයන් පිටතට පෙන්නුම් කිරිමයි. මෙවැනි ගැහැනු දරුවකු ද්විතික වශයෙන් ලිංගිකව මේරීම සිදු නොවනු ඇත. එනම් එවැනි දරුවකු තුළ මල්වරවීම, පියයුරු වැඩීම, ශරීරයේ වෙනත් වර්ධනයන්, උසින් වැඩීම වැනි වෙනස්‌කම් නිසි වයසේදී සිදු නොවනු ඇත. තවත් සමහර අවස්‌ථාවල බාහිරව ගැහැනු ලක්‌ෂණත් අභ්‍යන්තරව පිරිමි ලක්‌ෂණත් ඇති තත්ත්වයක් පවතී. මෙවැනි අවස්‌ථාවල එම අවයව කොතරම් දුරට වර්ධනය වී ඇත් ද යන්න අනුව එම තත්ත්වයට ප්‍රතිකාර කරනු ලැබේ. බොහෝවිට ශල්‍යකර්ම කිරීමෙන් බාහිර අවයව නිසියාකාරයට සකසා ගත හැක. නමුත් අභ්‍යන්තර ලිංගික අවයව නිසි ලෙස ක්‍රියාකාරී නොවන්නේ නම් එහි බලපෑමෙන් ද්විතියිකව දරුවාගේ වර්ධනයට බාධා සිදුවේ. මෙවැනි ජානමය අවුල් සහිත තත්ත්වයන් හා සම්බන්ධව හෝර්මෝන ක්‍රියාකාරීත්වයද අසාමාන්‍ය වේ. මේ හේතුව නිසා බාහිර පෙනුමට අමතරව දරුවා තුළ වෛද්‍යමය ගැටලු සහිත තත්ත්වයන් ඇති විය හැක. දරුවකු තුළ තමා ගැහැනු ද, පිරිමිද යන්න පිළිබඳ අවබෝධය කීප ආකාරයකින් ලැබේ. දරුවා මව තුළ වැඩෙන අවධියේ දී දරුවා පිරිමි හෝ ගැහැනු දරුවකු ලෙස වර්ධනය වනවිට ඒ හා උපකාරී වන හෝර්මෝනවල බලපෑම මානසිකව ද දරුවාට බලපාන බව එක මතයකි. මෙ අනුව දරුවා ඉපදුණු පසු දරුවා ගැහැනු ද, පිරිමිද යන්න තීරණ ය කිරීම ඉතාම වැදගත් දෙයකි. මන්ද යත් මෙවැනි අවස්‌ථාවලදී දරුවා තුළ මානසිකව පැටලිලි සහිත තත්ත්වයන් ඇතිවිය හැකි බැවින්, මේ සඳහා ජාන පරීක්‌ෂණ බොහෝ ලෙස ප්‍රයෝජනවත් වේ.
මෙම පරීක්‌ෂණ දැන් ලංකාවේ කෙරෙන බැවින් කිසියම් හෝ සැකයක් ඇතිවිට එම සේවාවන් ලබා ගැනීම කළ යුතුයි. යම් හෙයකින් දරුවා තුළ අභ්‍යන්තර ලිංගේන්ද්‍රියන් නිසි අයුරින් වර්ධනය වී නොමැති නම් ද්විතියිකව ලිංගික වශයෙන් මේරීම නොවනු ඇත. මෙවැනි තත්ත්වයන් සමහර විට වැඩිවිය පැමිණෙන වයසේ දී හඳුනා ගැනීම සිදුවේ. මෙවැනි දරුවන්ට හෝර්මෝන මගින් ප්‍රතිකාර කරන අවස්‌ථා ඇත. නමුත් දරුවන් බිහිකිරීමේ හැකියාව මොවුන් තුළ නැතිවිය හැක. මේ සෑම තත්ත්වයක දීම වැදගත් වන්නේ මේ සියල්ල පිළිබඳ දෙමාපියන් දැනුවත් වී දරුවාට හැකි පමණ මානසික සහනයක් ලබා දීමය. දෙමාපියන් සහ අනෙක් සහෝදරියන්ට මෙවැනි අවස්‌ථාවලදී වැඩි වගකීමක් ඇත. ගර්භනී කාලය තුළ මවක විසින් පුරුෂ හෝර්මෝන ඉතා වැඩි ප්‍රමාණයක් භාවිතා කළ විට එහි බලපෑමෙන් ගැහැනු දරුවකු තුළ පුරුෂ ලක්‌ෂණ දක්‌නට ලැබීම සිදුවිය හැක. මෙවැනි අවස්‌ථාවලදී ඉක්‌මනින්ම ජානමය වශයෙන් දරුවා හදුනාගෙන නිසි ප්‍රතිකාරකළ හැකිය. මෙම සියලුම තත්ත්වයන් හිදි මව සහ පියා අතර ඇති අවබෝධය ඉතාම වැදගත්ය. ඒ බැවින් කිසියම් හෝ ගැටලුවක්, සැකයක් ඇත්නම් වහාම වෛද්‍යවරයකු මුණ ගැසීම කළ යුතුය.
වෛද්‍ය චම්පා නෙල්සන්