Pages

Monday, February 07, 2011

දකුණු ලක සයුර ඉම - දෙවුන්දර තුඩුව


මාතර බෝධිය

මාතර ගැන කතා කරන විට මාතර බෝධිය ගැන කතා නොකර කොහොමද? මාතර බෝධියට වඩා බෝධිය රෝපිත භූමිය ගැන හරි අපූරු කතාවක්‌ තියෙනවා. ඒ කතාව ක්‍රිස්‌තු වර්ෂ 515 දක්‌වා ඉතිහාසයක්‌ තියෙන එකක්‌. මහා පඬි කුමාරදාස රඡ්ජුරුවන් ගැන වගේම මහාකවි කාලිදාසයන් ගැනත් ඔබ අහල තියෙනවා ඇති. අනුරාධපුර යුගයට අයත් රජවරයකු වූ කුමාරදාසයන්ගේ සීයා තමයි කලා වැවත් හදපු ධාතුසේන රජතුමා. ධාතුසේන රජුගේ පුත් මුගලන්ගේ පුතා තමයි එතකොට මේ කුමාරදාසයන්. කුමාරදාසයන් තම වැඩිදුර අධ්‍යාපනය ලබන්න භාරතයට පවා ගියාලු. ඒ නිසා තමයි මහා කවි කාලිදාසයන් කුමාරදාසයන්ගේ අඹ යාළුවකු බවට පත් වුණේ. ඉතින් කාලිදාසයන් ලංකාවටත් ආවා. එහෙත් හදිසියේ ඔහු මෙහෙදී මියගියා. තම මිතුරාගේ වියෝගය දරා ගන්න බැරි තරමේ වේදනාවක්‌ වූ නිසා තම බිසවුන් සමග කුමාරදාසයන් කාලිදාසගේ සෑයට පැන දිවි නසා ගත්තාලු. ඒ සෑය ඉදිවූ තැන වශයෙන් සලකන්නේ මේ මාතර බෝධිය රෝපිත භූමියලු.

තාරකා කොටුව
අද අපි මාතර තාරකා කොටුව ගැනත් කතා කරනවා. ලන්දේසි මහ කොටුව ගැන පහුගිය ඉරිදා කතා කළානේ. මේ තාරකා කොටුවත් හැදුවේ ලන්දේසීන්ම තමයි. නිල්වලා ගඟේ බටහිර ඉවුරේ ඊට මීටර් 200 ක්‌ උතුරින් පිහිටා තිබෙන මේ සුවිශේෂ ගෘහ නිර්මාණ ශිල්පීය තාරකා කොටුව නිර්මාණය කළ බව කියන්නේ මාතර කොටුවට ගොඩ බිමෙන් එල්ලවන සතුරු ප්‍රහාරවලට මුහුණ දීම සඳහා.

දිය අගලකින් වටවෙලා, ගණ බිත්ති සහිතව හදා තිබෙන මෙහි හැඩය තාරකාවක්‌ වගේ. අවශ්‍ය වේලාවට දොර (දෙකක්‌) උස්‌ පහත්කර කොටුව වසාදමා දිය අගලෙන් වෙන් කිරීමටත් මෙය තනා තියෙනවා. 1763 දී මෙය රෙඩියුටේ වෑන්එක්‌ නම් ලන්දේසි ආණ්‌ඩුකාරයාගේ අදහසකට අනුව නිර්මාණය වුණු නිසා එය හඳුන්වන්නේ ඒ නමින්ම තමයි. කොටුව ඉදිරියේ ලන්දේසි ලකුණත්, නමත් සටහන් කර තිබෙනවා. කොහොම වුණත් මේ ගොඩනැඟිල්ල ඉදිකරල තියෙන්නෙ ප්‍රාදේශීය පාලකයෙක්‌ වන ඔරුකෙම මුහන්දිරම්. අපේ රටේ ඇති බලකොටු අතර නිර්මාණාත්මක හා කුඩාම ලන්දේසි බලකොටුව මෙයයි.

ප්‍රවේශය, පිටත බෑවුම, දියඅගල, ඇතුළත ප්‍රාකාරය, ආයුධ කවුළු, ආරක්‍ෂක පවුර, හකුලන පාලම, වෙඩි බෙහෙත් ගබඩාව, සොල්දාදු කාමර, ගබඩා කාමර, කාර්යාලය, ළිඳ, වේදිකා, විවෘත මිදුල යන අංග මෙහි තිබුණත් මෙහි ප්‍රමාණය පර්චස්‌ 15 ක්‌ තරම් ඇති.

කොහොමහරි විවිධ කාලවලදී විවිධ දේවලට භාවිතා කළ තාරකා කොටුව දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මාතර දිස්‌ත්‍රික්‌ කෞතුකාගාරය ලෙස භාවිතා කරනවා.

ඕලන්ද වෙළෙඳ මධ්‍යස්‌ථානය

ලන්දේසීන්ගේ මාතර වෙළෙඳ මධ්‍යස්‌ථානය අපට හමුවන්නෙ නූපේ හන්දියේදී. එකල මාතරට ගෙන ආ විදේශීය බඩු භාණ්‌ඩත්, ලංකාවෙන් පිටරටට ගිය බඩු භාණ්‌ඩත් එකතු වූ මධ්‍යස්‌ථානය තමයි මේ ස්‌ථානය. ඉංග්‍රීසි "ඹ" අකුරක හැඩයට ගොඩනැඟිලි තුනකින් සමන්විත මෙය මාතරදී අදත් දැකබලා ගත හැකියි.


සරම්මුදලි වලව්ව රැ රාහුල විදුහල

අද ප්‍රකටම හා උසස්‌ම පාසලක්‌ වන මාතර රාහුල විද්‍යාලය කලෙකට ඉහතදී ප්‍රකට වළව්වක්‌. ඒ සරම් මුදලි නොහොත් සේරම් මුදලි වළව්වයි. ගංගා රෝහණ වර්ණනාව වැනි ප්‍රකට කවි පොත් ලියූ සරම් මුදලිවරයා, මාතර යුගයේ දිවිගෙවූ කවියෙකු ලෙසයි ප්‍රකටව සිටියේ.

වේරගම්පිට රජ මහා විහාරය

අපි පසුගිය සතියෙ කිව්ව ගජමන් නෝනා කාව්‍යකරණය කළේත් ජෝන් ඩොයිලි සිංහල ඉගෙන ගැනීමටත් සම්බන්ධ වේරගම්පිට පන්සලේ සේයාරුවක්‌ තමයි මෙහි දැක්‌වෙන්නේ. ප්‍රකට පැවිදි පඬිරුවනක්‌ වූ කරතොට ප්‍රඥ්Æසීහ නාහිමියන් වැඩවාසය කළේත් මේ පන්සලේ තමයි.


වෙහෙරහේන
වට වන්දනාවේ යන අයට අමතක නොවනම තැනක්‌ තමයි වෙහෙරහේන. ඉතින් අපිත් මාතර ගමනේදී වෙහෙරහේන පූර්වාරාම විහාරස්‌ථානයටත් ගොඩවැදුණා. අසූ අට රියන් පිළිම වහන්සේත්, මහල් විහාරස්‌ථානයත්, පොළෝ ගැබ තුළ නිර්මාණය කර ඇති බිතු සිතුවම්, පිළිම සහිත විශ්මිත විහාරයක්‌ බෞද්ධයින්ට වගේම සංචාරකයන්ටත් කිසිදා අමතක නොවන තැනක්‌. විහාරයේ නිර්මාතෘ පරවාහැර රේවත නාහිමිත් මේ අවස්‌ථාවේ අපි නමස්‌කාර පූර්වකව සිහිපත් කළ කළ යුතුයි.

දෙවුන්දර ප්‍රදීපාගාරය
අපේ රටේ හතර කොන මනින මග ලකුණු අතර, දෙවුන්දර ප්‍රදීපාගාරයට හිමිවන්නේ ප්‍රධාන තැනක්‌. මේ ප්‍රදීපාගාරය තමයි ලංකාවේ උසම ප්‍රදීපාගාරය. 1878 දී තනා ඇති මෙහි උස අඩි 160 ක්‌. යුරෝපීයන් මෙය හඳුන්වා තිබෙන්නේ "ඩොන්ඩ්‍රා ලයිට්‌ හවුස්‌" නමින් ඒ "දෙවුන්දර" කියන හින්දම වෙන්න ඇති. කොහොමවුනත් ගල්වලින් නිර්මිත මෙය, විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පයකින් සමන්විතයි. ඒ අසලම තමයි ලංකාවේ දකුණු කෙළවර සලකුණු කරපු "මායිම් ගලත් තියෙන්නේ.


දෙවිනුවර රජ මහා විහාරය
දෙවිනුවර රජ මහා විහාරය පිහිටල තියෙන්නේ දේවාලයට යාබදවයි. විසල් හිටි පිළිම වහන්සේ සමඟ ගාලු හම්බන්තොට මාර්ගයට දිස්‌වන මේ විහාරයන් පණ්‌ඩිත පරාක්‍රමබාහු සමයේදී විශාල දියුණුවකට ලක්‌ව තිබෙනවා. රට වෙනුවෙන් නැගී සිටි භික්‍ෂූන් වැඩසිටි තවත් එක්‌ පිංබිමක්‌ තමයි මෙම දෙවිනුවර විහාර බිම.
දෙවිනුවර විශ්ණු දේවාලය

මාතර නගරයේ ඉකුත් සතියේ ගත කළ අපි වෙරළ උද්‍යානය දිගේ ඇවිත් ළඟා වුණේ "බ්‍රවුන්ස්‌ හිල්" ප්‍රදේශයට. එතැනින් කිලෝ මීටර් තුනක්‌ විතර ගියාම තමයි දෙවිනුවර හමුවන්නේ.

දෙවිනුවර කාරණා කිහිපයකටම ප්‍රසිද්ධ ස්‌ථානයක්‌. ඉන් ප්‍රධාන තැනක්‌ ගන්නේ දෙවිනුවර මහා විෂ්ණු දේවාලය. උපුල්වන් විෂ්ණු දෙවියන් වැඩ වාසය කරන පුද බිම නොහොත් ප්‍රධාන දෙවොල් බිම තමයි මේ දෙවිනුවර.

රාවණ-රාම යුද්ධයෙන් පස්‌සේ, ක්‍රිස්‌තු පූර්ව පස්‌වැනි සියවසේ මේ දේවාලය බිහිවුණු බවයි කියන්නේ. දකුණේ යුව රජකුව හිටි දාපුලුසෙන් (ක්‍රි.ව. 664) රජුට හීනෙන් ඇවිත් කීව කෙනෙක්‌ මුහුදේ පාවී එන කිහිළි කොටයක ප්‍රතිමාවක්‌ හදා පූජා කරන්නට නියමයක්‌ කර ඇති බව ජනප්‍රවාදයේ එනවා. ඒ අනුව කිරල වැල්ලට මුහුදේ පාවී ආ සඳුන් කොටයක්‌ මඟුල්වැල්ලට ගෙනවිත් දේව රූපය හදන්න කෙනකු හොයන විට විශ්වකර්ම දේව පුත්‍රයා මහලු වේෂයක්‌ මවාගෙන ඇවිත් රූපය නෙළන්න රජුගෙන් අවසර ඉල්ලුවලු. ඒ සඳහා රහස්‌ තැනක්‌ දෙන ලෙසත් ඉල්ලුවලු. කොහොමහරි පහුවෙනිදා බලද්දී අර පුද්ගලයා හිටියේ නැතිලු. දේව රූපය නිමාකරල තිබිල තියෙනවා. ඒ පිළිමය තැන්පත් කරල තමයි මෙතන දේවාලය පටන් ගත්ත කියල කියන්නේ. ඒ දෙවිනුවර දෙවොල් බිම "ජය භූමියක්‌" බවට පත්වෙලා තිබුණ නිසාලු. මෙහෙම ගොඩනැඟුණු දෙවිනුවර විශ්ණු දේවාලය ක්‍රි.ව. 1257-58 වර්ෂ වලදී පණ්‌ඩිත පරාක්‍රමබාහු රජුගේ කාලයේදී යළිත් ප්‍රතිසංස්‌කරණය කර පෙරහැර පටන් ගෙන තිබෙනවා. ඒ රජුගේ ඇතිවුණු නිමා නොවුණු හිසේ රුදාවක්‌ සුවකර ගන්න අගමැතිවරයා වූ දේව පතිරාජ ඇමැතියා දේවාලයට භාරයක්‌ වුණාලු. ඒ භාරය අනුව හිසේ රුදාව නිමාවූ බවත් ඉන්පසු පෙරහැර පටන් ගෙන ප්‍රතිසංස්‌කරණය කළ බවත් කියනවා. නමුත් ඊට පෙර 1586-87 දී පෘතුගීසින් දේවාලය විනාශ කර වෙරළබඩ විහාරවල තිබූ ඇත් දළ, මුතු මැණික්‌ නැව් හතක පුරවාගෙන යද්දී නැව් හතම මුහුදු බත්වූ බව කියනවා. ඒ විතරක්‌ නෙමේ අර සඳුන් දේව ප්‍රතිමාවත් හිස කපා විනාශ කරාලු.

පෘතුගීසීන්ට මේ දේව ප්‍රතිමාව විනාශ කරන්න තවත් ප්‍රධාන අවශ්‍යතාවක්‌ තිබුණාලු. මේ දේවාලය මුහුද දෙසට මුහුණලා පිහිටීමත්, ප්‍රධාන නැව්මාර්ග තුනක්‌ යාවන දකුණු මුහුදට මුහුණලා පිහිටීමත් හේතුවෙන් පෘතුගීසීන්ගේ නැව් විශාල ප්‍රමාණයක්‌ මේ අවටදී මුහුදු බත් වුණාලු. ඉතින් ප්‍රතිමාවේ දෘෂ්ඨිවිතානය වෙනස්‌ කරන්නත් එක්‌ක ප්‍රතිමාව කපා පහත් කර ඇති බව තමයි ප්‍රධාන කපු මහතා අප සමග කීවේ.

පෘතුගීසී හමුදාවන්ගේ ග්‍රහණයට ලක්‌වුණු වෙරළබඩ කලාපය කොළඹ සිට දෙවුන්දර දේවාලය දක්‌වා වෙහෙර, විහාර, දේවාල විනාශයට ලක්‌වුණු බව තමයි කියන්නේ. කොහොම වුනත්, ආයිමත් ලන්දේසි යුගයේදී එනම් 1728 දී නැවත දේවාලය ගොඩනගල පුද පූජා පවත්වලා තියෙනවා. පණ්‌ඩිත පරාක්‍රමබාහු රජුගේ කාලයේ හදපු දේවාලය නැවත 1955 දී ප්‍රතිසංස්‌කරණය කර තිබෙනවා. දැන් අපි දකින්නේ ඒ විශ්ණු දේවාලය තමයි.

රාවණ - රාම හටන
ලාංකීය රාවණයන් සහ දකුණු ඉන්දියාවේ රාමයන්ගේ සුප්‍රකට "රාවණ - රාම යුද්ධය" අපි බොහෝ දෙනෙක්‌ අසා තිබෙනවා. ඒ යුද්ධය සිදුවූ යුද බිම ලෙස සැලකෙන්නේත් මේ දෙවිනුවරම තමයි. අවසන් සටනේදී රාම විසින් දුනුදිය ඇද මුදා හැරී හී පහරෙන් රාවණයන් මැරී වැටුණේ මෙතැනදීලු. එහිදී "ජයබිමක්‌" වූ තැන මෙසේ දේවාලය ඉදිකළාලු. ඒ "උප්පලවණ්‌න" දෙවිඳුන් උදෙසාය. නැතහොත් විෂ්ණු දෙවිඳු උදෙසාය.

ගල්ගේ
රාවණයන් මිය ගිය තැන ඊට මීටර් ගණනක්‌ එපිටින් පිහිටියේලු. ඔව්, ඔය කියන තැනත් අපි හොයාගෙන ගියා. ඒ තමයි තරමක්‌ නුදුරෙන් තියෙන ගල්ගේ කියන තැන. තනිකරම ගලෙන් නිමවා ඇති මෙය අපට සිහිකරන්නේ නාලන්දා ගෙඩිගේ. පොළොන්නරුසම්ප්‍රදායට තනා ඇති මෙතැනත් දේවාලයක්‌ වගේ දිස්‌වුනත්, පාලු හුදකලාවේ පවතින්නේ පුරාවිද්‍යා රැකවරණය යටතේ. කැලණියේදී රාවණයන්ගේ සොයුරු විභීෂණ දෙවිඳුන් වැඳ පටන්ගත් අපගේ ගවේෂණ චාරිකාව අද දෙවුන්දරට ළඟා වෙද්දි ඊටම සම්බන්ධ කතාවකින් මේ මග සලකුණු පසුකරන්න ලැබීම එක්‌ අතකින් ඉතිහාසය ගවේෂණයක්‌ වගේ.

ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න

Divaina