Pages

Monday, February 14, 2011

ආදරයේ බෝධිසත්ත්ව ප්‍රාර්ථනාව

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියා දෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ//


හිතේ කඳුළු බිඳු
රෑ තනි යහනේ
ඉහ ඉද්දර ඉඳ
ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් පේ‍්‍රම පුරාණේ
ඔබට විරහ ගී නොගෙනේවා


තනිකම රජයන
පාළු විමානේ
ගොම්මන් කළුවර
හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ පැතුම් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා


පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස
ගායනය - පණ්ඩිත් අමරදේව
පණ්ඩිත් අමරදේව
ප්‍රේමය තරම් සොඳුරු කතිකාවතක් තවත් නම් කොයින් ද? උදෑසන සිට රාත්‍රිය වනතුරු මෙන්ම, රාත්‍රිය පහන්වන තුරු ම පේ‍්‍රමය ගැන කතා කළ හැකි ය. පේ‍්‍රමය රණබිමක් නම් ඒ රණබිමේ දිග්විජය ලබන්නෝ ද පරාජිතයෝ ද සිටිති. ඔවුන්ගේ උදාන ගීතිකාවන්ගෙන් ද, දුක් කඳුළු හා සුසුම්වලින් ද මේ විශ්වය වැසී පවතී.
මේ අතර පේ‍්‍රමය අහිමිව, එකිනෙකාට ශාප කරගන්නෝ ද, වෛර කරගන්නෝ ද බොහෝ වෙති. “පේ‍්‍රමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි” යනුවෙන් එක්තරා ගීයක සඳහන් වන්නේ එබැවිනි.
පේ‍්‍රමය සමඟ ස්වාර්ථය බැඳී පැවතීම ස්වාභාවික ය. එහෙත් පේ‍්‍රමය වඩාත් රමණීය වන්නේ මේ ස්වාර්ථය හා වෛරී ගුණය එයින් බැහැර වන තරමටයි. මේ පිළිබඳ “තත්සර ඇසුර” තුළ කතිකාවත් කීපයක් ම අපි ගොඩනැඟීමු.
අජන්තා රණසිංහයන්ගේ මේ ගී පද තත්සර ඇසුරට යොමුකර ගන්නේ ඒ කතිකාවත තවදුරටත් ඉදිරියට ගෙනයාම පිණිසයි. පේ‍්‍රමය උත්තරීතර පරිත්‍යාගයක් බවට පත්වේ නම් එය කෙතරම් රමණීය ද? අජන්තා රණසිංහයන් මේ සිහිපත් කරනුයේ එබඳු උත්තරීතර පරිත්‍යාගයක එක් ජවනිකාවක් නොවේ ද? මේ තුළ හමුවන පෙම්වතාට අප වඩාත් ම ළං විය යුත්තේ ඔහු අපට පේ‍්‍රමය කුමක්දැයි උගන්වන බැවින් නොවේ ද?

“විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියා දෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ...”


මට එක්වර ම මාර්ටින් වික්‍රමසිංහයන් ගේ ගම්පෙරළිය නවකතාව සිහි වෙයි. තමා ආදරය කළ නන්දා ජිනදාසට විවාහ කර දෙන්නට යන පුවත ඇසු විට පියල් තුළ ඇතිවන හැඟීම් කතුවරයා මෙසේ විස්තර කරයි.
“කාලය නැමැති සිහිල් දියෙන් තෙමී නිවුණු ආලය නැමැති ගින්න ඔහුගේ හද මැදුරේ යළිදු මෙළවිණ. මෙවර ඒ ගින්න ඊර්ෂ්‍යාව ද සංකාව ද නඟන පිඬුමෙන් තියුණු වන්නකි”
ගම්පෙරළිය - මාර්ටින් වික්‍රමසිංහ
පේ‍්‍රමසිරි කේමදාස
වික්‍රමසිංහයන් ඉදිරිපත් කරන්නේ පොදු මිනිස් යථාර්ථයයි. එහෙත් මේ ගීයෙහි දක්නට ලැබෙන්නේ ඒ යථාර්ථය ඉක්මවා, පේ‍්‍රමය වඩා උත්තම මනෝභාවයක් බවට පත්වූ අවස්ථාවකි. අතීත ජනකවියා මේ උතුම් මනෝභාවය හඳුනාගත් අයුරු ඒ ඉපැරණි සාහිත්‍යයේ දක්නට හැකිය.

“ඉරටත් හොරෙන් ඉර මුදුනෙන් ගිරව් ගියා
සඳටත් හොරෙන් සඳ මුදුනෙන් සාවො ගියා
මලටත් හොරෙන් මල මුදුනෙන් බමරු ගියා
මටත් හොරෙන් රන් එතනා දීග ගියා

(ජනකවි)
රන් එතනාට වෛර නොකළ ජනකවියා පාරිසරික සංසිද්ධීන් මෙනෙහි කරමින් හිත හදා ගනී. ඉරට හොරෙන් ගිරව් ගියා නම් තමාටත් නොකියා රන් එතනා දීග යාම අරුමයක් ලෙස ඔහු නොසලකයි.
මේ ගීයෙහි හමුවන කථකයා ද ආදරයේ නාමයෙන් විකසිත වූ පියුම් දහසක් හදවතෙහි රුවා ගත්තෙකි. එහෙත් ඒ පියුම් සහස ම ඇගේ පයට පෑඟී පොඩි වී ගොසිනි. ඔහුට දෛවය හිමි නොකළ ඇය පතිනියක වී දැන් පතිකුලයට යාමට සැරසෙයි. එහෙත් තමා කලක් ආදරය කළ ඇයට කුරිරු, නපුරු ගැහැනියක ලෙස චෝදනා කිරීමට ඔහුට සිත් නොදේ. ළතෙත් බවෙන් යුතුව ඔහු ඇයට අමතන්නේ “මගේ සොඳුරු ළඳුනේ” යනුවෙනි. මෙය පරාදීන මනෝභාවයක් නොව කෙනකුට ස්පර්ශ කිරීමට අසීරු උතුම් මනෝභාවයකි.

“හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර ඉඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් පේ‍්‍රම පුරාණේ
ඔබට විරහ ගී නොගෙනේවා”


මේ, කඳුළුත් අඬන මොහොතකි. ඉකි බිඳිමින් අඬන මොහොතකි. ආදර සැමරුම් පේ‍්‍රම පුරාණයක් ඔවුන් හමුවේ පවතී. ඒ විරහ වේදනාව ඇයට හිමි නොවී ඔහුට පමණක් උරුම කරගැනීමට ඔහු සූදානම් ය. මට තවත් විරහ ගීයක් සිහි වේ. මේ විරහ ගීයේ අපට හමුවන්නේ කවුරුන් ද?

“මතකයන් ඔබේ
හිතේ දරාගෙන
දුක්විඳිනා මා ඔබගේ
පළමු පෙම්වතා”

(චාමර වීරසිංහ)
අජන්තා රණසිංහ
පෝළිමේ පළවෙනියෙන් සිටි පමණින් සැබෑ පෙම්වතකු බවට පත් නොවේ. සැබෑ පෙම්වතුන් මෙසේ ජීවිතය පුරා හඹා එන පිසාචයන්, අවතාර, මළපෙරේතයන් සහ කුම්භාණ්ඩයන් බවට පත්වන්නේ නැත.
ඉහත ගීයට අනුව ප්‍රථම පේ‍්‍රමයෙන් ගැලවීමට ඇයට ඉඩක් නොදෙන පෙම්වතා තමා අංක එක බව සිහිපත් කරමින් ඇය ව පාරවමින් පසුපසින් යයි. ඔහු අභිමානය කෙළසා ගත් පේ‍්‍රම යාචකයෙකි. එහෙත් අජන්තා රණසිංහයන් පේ‍්‍රමයේ සැබෑ පෞර්ෂය මනාව මතුකර ගනී.

“තනිකම රජයන පාළු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ පැතුම් විජිතයේ
මැණික් පහන්වැට දැල්වේවා!”


මේ පේ‍්‍රමය වෙනුවෙන් සියලු දුක් වේදනා අත්විඳින්නට ඔහු සූදානම් ය. තම ජීවිතය කළුවර වෙද්දී ඇගේ පැතුම් විජිතයේ මැණික් පහන් දැල්වෙනු දකින්නට ඔහු සූදානම් ය. ස්ත්‍රී පුරුෂ පේ‍්‍රමය යනු ආදරය, රාගය, කරුණාව, මෛත්‍රිය ආදී සියල්ලන්ගේ ම සංයෝගයකි. එය රාගය පමණක් ම වූ කල්හි ආදරය, කරුණාව, මෛත්‍රිය පළා යයි.
රාගය ද ඒකාකාරී වූ කල්හි එය ද එපා වූ විට වෛරය හැර කිසිවක් ඉතිරි නොවේ. එහෙත් කරුණාව, මෛත්‍රිය සහිත පේ‍්‍රමයක කිසි දිනෙක වෛරයේ බීජ ගැබ්විය නොහැකි ය. මේ ආත්ම සංයමය අජන්තා රණසිංහයන් තමා ඇසුරු කළ ජනකවි සාහිත්‍යයෙන් ම උකහාගත්තා විය යුතු ය. “බොල් වී අහුරු” “රෑ පැල් රකින” “පාරමී දම්” වැනි සෑම නිර්මාණයකට ම මේ දයා කරුණාව අජන්තා රණසිංහයෝ දායාද කරති.
පේ‍්‍රමය සුන්දර වන්නේ ඒ සුන්දරත්වය සුරක්ෂිත වන තුරු පමණකි. එය නොකිලිටි වන්නේත්, පිවිතුරු වන්නේත් මෙබඳු දයාබර හදවත් ඇත්තන් පේ‍්‍රමවන්තයන් බවට පත්වේනම් පමණි.
මේ ගීතයේ සංගීතය හා ගායනය ගැන වදනක් හෝ නොලියමි. මක්නිසාද කේමදාසයන් හා අමරදේවයන් උපරීමය ඉක්මවා යන ලෙසින් මේ ගීයට සාධාරණය ඉටුකර ඇති බැවිනි.

ධම්මික බණ්ඩාර Silumina