Pages

Monday, June 13, 2016

බුදුහාමුදුරුවො අපිත් දකින්නැති....

“අම්මේ අර අපි සාදු කියන කොට 
බුදුහාමුදුරුවො මල් දැකලා 
දුටුවද ටික ටික හිනැහෙන ලස්සන 
ඉස්සර කියු බණ මතක් වෙලා”

ඉකුත් ‘ගේය පද ලීලා’ තීරුවෙහි උපුටා දැක්වුණු ඉහත කී ගී කඩ තවමත් ඔබ සිත්හි රැව් දෙනවා වන්ට පිළිවන. කුඩා දරුවා සිය මෑණියන්ට කියන්නේ, ඔවුන් පිදූ මල් දුටු බුදුහාමුදුරුවන් ටික ටික හිනැහුණු බවය. බුදු හිමියන්ගේ ඒ සිනාව ලස්සන බවත් දරුවා කියයි; ලස්සන වන්නට හේතුවත් කියයි. ඒ දවස්වල තමන් වහන්සේ දෙසූ බණ බුදුහාමුදුරුවන්ටම සිහි ව ඇත්තේ ය. සිනා සෙන්නේ එහෙයිනි.

මානවසිංහයන්ගේ ඒ ගීතයෙහි පද රසය වින්දනය කළ අපි, කිසි විටෙක බුදුහාමුදුරුවන් සිනා සෙන්ට ඇතැයි නොඅදහමු. එහෙත් දරුවාට පෙනෙන්නේ, පිළිම ගෙයි වැඩ සිටින බුදුහාමුදුරුවන් සිනා සුණු බවකි. අපි ඒ ගැන පොඩි දරුවා සමඟ උරණ නොවෙමු; දොස්ද නොකියමු. මන්ද යත්: පරිකල්පනය පිළිබඳ ඒ නිදහස, අප කවියාට සපුරාම පිරිනමන හෙයිනි.

ඒ තරමටම අහිංසක වූ කවි කල්පනයක් අද දින තීරුවට විෂය කරගනිමු. ඒ, අපේ රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවන් විසින් පබඳින ලද ඉතා සුප්‍රකට ‘බුදුහාමුදුරුවො අපිත් දකින්නැති’ නමැති ගීතයයි. ගීතය අප හදෙහි තැන්පත් ව යළි-යළිත් දෝංකාර දෙන ලෙස ගායනා කරන්නේ වික්ටර් රත්නායකය.

බුදුහාමුදුරුවන් සිනා සුණැයි කියන්නට අර දරුවාට පුළුවන් නම්, බුදුහාමුදුරුවො අපිත් දකින්න ඇතැයි කියන්නට සිද්ධාර්ථ හාමුදුරුවන්ට බැරි මොකද?

අසූ ගණන්වල මැද භාගයේදී මේ ගීතය අසන හැම වාරයකම මෙහි රචකයා කවරෙක්දැයි මසිත විමසන්න විය. ගීත රචකයා සිද්ධාර්ථ හාමුදුරුවන් බව මා දැනගත්තේ කලකට පසුවය. මා උන් වහන්සේ හඳුනාගත්තේ ඒ ගී පද රචනය හඳුනාගෙනත් කලකට පසුවය.

‘බුදුහාමුදුරුවො අපිත් දකින්නැති 
බණත් අහන්නැති ඒ කාලේ...’

ඒ නම් මොන තරම් අපූරු කවි කල්පනයක්ද! සැබවින්ම මම තිගැස්සී සිටියෙමි. කවීන් වන අපටත් එවැනි කල්පනා ඇති නොවන්නේ ඇයි? බුදු වසින් දෙදහස් පන්සියයක් ඉකුත් වුණු තැනේදීත්, බුදුහාමුදුරුවන් අපිත් දකින්න ඇතැයි කියන කියුම, හිතාගන්නත් බැරි තරම් අමුතුම ආකාරයේ කවි කල්පනයකි.

මගේ කල්පනාව නම්, ශ්‍රාවකයන් අතර මේ ගීතය වඩාත්ම හද බැඳගත්තේ, ගීතයට අදාළ සියලු කාරණාත් ඉක්මවා යන, පරිකල්පනයේ අපූර්වත්වය නිසා ය. ඇත්තටම කෙනකුට එහෙමත් හිතන්න පුළුවන්ද? එයට දිය හැකි පිළිතුර ඇත්තේත් මානවසිංහයන්ගේ කලින් සඳහන් කළ ‘බුදු මිහිර’ නමැති කවි පෙළෙහිය. එහි ලා මතු කරන ලද සියලු අසිරිය කුළුගන්වමින්, “බුදුහාමුදුරුවො ඉපදුණු කාලෙට කවදත් ඔහොමයි පුතුනි මගේ” යනුවෙන් පිළිතුරු දෙමින් දරුවා නිහඬ කරන්නේ අම්මාය.

සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ ගීතය ගැන යමක් කියන්නට පෙර, උන් වහන්සේ ගැන යමක් නොලියා මේ රචනය පෙළගස්වන්නට බැරිය. උන් වහන්සේගේ මුල්ම ගීත සංග්‍රහය නිකුත් වූයේ, ‘සංසාරේ අපි’ යන හිසිනි. අද දින අපගේ සාකච්ඡාවට බඳුන් වන උන් වහන්සේගේ මේ ගීතයද මවිසින් උපුටා ගෙන ඇත්තේ ඒ කෘතියෙනි. එදවස අතිශය කාන්තිමත් නිමාවෙන් යුතුව නිකුත් වුණු එහි පිටපතක් උන් වහන්සේ විසින් මවෙතද තිළිණ කර ඇත. අපේ සිද්ධාර්ථ හාමුදුරුවන් ඒ පොත තිළිණ කරමින් මගේ නම ලියන්ට පෙර ‘අපේ’ යන වදනද මුලට යොදා ඇත. මේ ‘අපේකම’ එදා සිටම අප අතර නොනැසී නොබිඳී පවතින්නේමැයි. බොහෝ සාම්ප්‍රදායික හාමුදුරුවන්ට සිය දායකයන් හැමදෙනාම ‘අපේ’ ය. ඒ දායකයන්ටත්, ඒ සියලු හාමුදුරුවරු ‘අපේ හාමුදුරුවෝ’ ය.

මේ අපේකම, සිද්ධාර්ථ හාමුදුරුවන් හිතන්නේ සංසාර බන්ධනයක් හැටියටය. මාත් ඇතුළු උන් වහන්සේගේ සියලු සමීපතමයන් සිතන ආකාරයට මේ සංසාරයේම එකට අත්වැල් බැඳගෙන සිටියවුන්ය. උන් වහන්සේටත් ඔවුන්ටත් මතු සංසාරයේ ගමනද කරන්ට සිදු වන්නේ එකට අත්වැල් බැඳගෙනය. ඒ තරමටම මේ සංසාර බන්ධනය දැඩිය. සිද්ධාර්ථ හාමුදුරුවනුත් අපත් අතර ඇති ඒ සංසාර බන්ධනය ගැන කතා කරන්ට ගියොත් උන් වහන්සේගේ ගීතය ගැන කිසිවක් ලියන්නට ඉඩක් ලැබෙන්නේ නැත. එහෙත් මෙහි ලා අවශ්‍යයෙන්ම කිව යුතු එක කාරණයක් ඇත්තේය. සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ අතිවිශාල ගීත සම්භාරය විභූතිමත් වී ඇත්තේත් අතිශයින්ම හෘදයංගම වී ඇත්තේත් උන් වහන්සේගේ ජීවිතයත් පරිකල්පනයත් මෙහෙයවන කිසියම් ආකාරයක සංසාර චින්තනයක් නිසාය.

මේ ‘සංසාර චින්තනයේ’ දෙපැත්තක් ඇතැයි මට සිතෙයි. ඇත්තටම එය දෙපැත්ත කැපෙන කඩුවක් වැන්න. එක පැත්තකින් සංසාරයෙන් මිදීමය; අනෙක් පැත්තෙන් සංසාරයෙහි ගැලී සිටීමය. මේ දෙකම, මගේ කල්පනාව නම්, බොදු පිළිවෙතෙහි රැඳී සිටින සියලු පුහුදුන් දනන්ගේ ජීවිතය පිළිබඳ ප්‍රතිවිරෝධයක් හෙවත් ඇතැම් නවීන විචාරකයන්ගේ බසින් කිව හොත් ‘උභ‍තෝකෝටිකයකි’.

අපේ බුදුහාමුදුරුවන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්ම පෙරුම් පිරුවේ තමන් වහන්සේ මෙන්ම සියලු සත්වගද සංසාරයෙන් ගලවන්ටය. සංසාරයෙන් ගැලවිය හැක්කේ, සමූහ වශයෙන් නොව තනි-තනිවය. බුදුන් දෙසූ තාක් සියලු බණ පද තමන්ගේ මතකය නමැති භාණ්ඩාගාරයෙහි තැන්පත් කරගෙන සිටි ආනන්ද හාමුදුරුවන්ටත් සංසාරයෙන් ගැලවෙන්ට අවස්ථාවක් පෑදුණේ, බුද්ධ පරිනිර්වාණයෙන් ඉක්බිතිව යෙදුණු මුල්ම ධර්ම සංගායනාවට දින කිහිපයකට පෙරය. සැබැවින්ම සංගායනාවේදී බුදු බණ පද ඉදිරිපත් කරන්නට උන් වහන්සේ සුදුසුකම් ලැබුවේ ඒ ආකාරයෙනි. ඒ ව්‍යායාමය ආනන්ද හාමුදුරුවන්ට පවා තනිවම කරන්ට සිදු විය. බුදුන් වහන්සේ සමඟ පැවති අවශ්‍ය ඥාතිත්වයවත්, සමීපභාවයවත් එයට පිටිවහලක් වුණේ නැත. සංසාරයේ හැටි එසේය.

අපේ සිද්ධාර්ථ හාමුදුරුවන් දුක් වන්නේත්, බුදුහාමුදුරුවන් දැකලාත්, බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලාත්, නිවන් දකින්ට බැරි වීම ගැනය. අපට මේ වරද සිදුව ඇත්තේ, අවුරුදු දෙදහස් පන්සියයකටත් පෙරය. තවමත් අප සිටින්නේ සංසාරයේමය.

එමතුද? ඒ කාලයේ බුදුන් වඳින්නට අප හැම දෙනා දෙව්රම් වෙහෙරටත් යන්ට-එන්ට ඇත. ඒ අතර අපේ යාළුවන්ගෙන් කිහිප දෙනෙක්වත් බුදුහාමුදුරුවන්ගෙන් බණ අසා නිවන් දකින්ටත් ඇත. එහෙත් අප තවමත් සංසාරයේය.

ඒ ඇයි? ගී පද රචක සිද්ධාර්ථ හාමුදුරුවන් කියන්නේ, අප විසින් එදවස කරන ලද පින් මදි බවය. එසේ නොවන්නට, මෙලහකටත් අප හැමදෙනාම නිවන් දැක අවසන්ය.

මේ ගීතය ගැන සිදු වුණු කතාබහකදී, දිනක් පණ්ඩිතයෙක් මගෙන් ප්‍රශ්නයක් ඇසුවේය: පින් කළ පමණින්ම නිවන් දැක්ක හැකිද?

එතැනත් ඇත්තක් නැත්තේම නොවෙයි. මන්ද යත්: නිවන් දකින්ට නම් - නිවන් අවබෝධ කරන්ට නම් - පින් පව් දෙකම අවසන් කළ යුතු බවය. අප හැමදෙන මේ සංසාරය තුළ කරකවමින් ඉදිරියට ගෙන යන්නේ අප කරන පින් පව් දෙකම විසිනි. පව් කළත් සසර දික් වෙයි. පින් කළත් සිදු වන්නේ, ඒ ටිකමය. එසේ නම්, දික් වන මේ සසර කෙටි කරගත හැක්කේ, බණ පොතේ කියන ආකාරයට ‘සවාසනා සකලක්ලේශයන්’ ප්‍රහීණ කිරීමෙන් පමණි. ධර්මයේ ගැඹුරුම සත්‍යය නම් එයයි.

දැන් ඉතින් ඒ කාරණය, දශක කිහිපයක්ම මහණ දම් පුරන අපේ සිද්ධාර්ථ හාමුදුරුවන්ට අමතක වුණේ කොහොමද? ඒ ‘ආභිධම්මික සත්‍යය’ උන් වහන්සේගෙන් ගිලිහී ගියේ කොහොමද?

ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්ට ගියොත්, අපට මේ ගීතයේ පද රසය මෙන්ම ගී රසයද විඳගන්ට ලැබෙන්නේ නැත.

සිද්ධාර්ථ හාමුදුරුවන් මේ ගීතය නිර්මාණය කරන්නේ අර ආභිධම්මික පණ්ඩිතයන්ට වත්, විනයවර්ධනකාරයන්ට වත් නොවෙයි. උන් වහන්සේගේ රචනය හුදී දනන් උදෙසාය; බුදුන් දැක නිවන් දකින්ට බලා සිටින සුවහසක් උපාසක-උපාසිකාවන් උදෙසාය; ඒ හැමටමත් වඩා, අභූතපූර්ව වූ කාව්‍ය පරිකල්පනයකින් චමත්කාරයක් ලබන සහෘදයන් උදෙසාය. ඒ සහෘදය පර්ෂදයට සිද්ධාර්ථ හාමුදුරුවන් ඇඳ දක්වන චිත්‍රය ඒ අයුරින්ම දැකගත හැකිය.

මොහොතකට සිතන්න: බුදුහාමුදුරුවන් වැඩ සිටි එදවස, අප සැවැත් නුවර දෙව්රමට යන්ට-එන්ට ඇත. ඒ කියන්නේ, අප ඒ තරමටම බුදුහාමුදුරුවන්ටත් දෙව්රමටත් සමීපව සිටි වගය. අප ගියේ තනිවම ‍නොවෙයි. අපගේ යහළුවන් කැලතක්ද කැටුවය. අප බුදුන් වඳින්ටත් ඇත; දෙව්රම් වෙහෙරෙහි අනෙක් වතාවත් කරන්ටත් ඇත. ඒත් පින් මදි නිසා නිවන් දකින්නට නොලැබෙන්නට ඇත. ඒ නිසා අපේ හාමුදුරුවන් කියන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවන් දැකලා වත් නිවන් දකින්නට පින් කරමු කියාය.

සිද්ධාර්ථ හාමුදුරුවන් මේ අහිංසක සිතිවිල්ල සිතන්නේ, සිවුරක් පෙරවාගත් භික්ෂුවක හැටියට වත්, හොඳට තෙම්පරාදු වුණු වැඩිහිටියකු හැටියට වත් නොවෙයි. උන් වහන්සේ ඒ සිතිවිල්ල සිතන්නේ, මානවසිංහගේ රචනයෙහි මුණගැහුණු කුඩා දරුවාගේ චරිතයට සම වැදීමෙනි. එවිට, මේ සියල්ල අතිශයින්ම රමණීයය. කවි සිතිවිල්ලේත් ගී පබැඳිල්ලේත් ඒ රමණීයත්වය නිසාම මේ ගීතය අප හැමගේම මන බඳින්නේ වෙයි.

ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ