Pages

Sunday, February 20, 2011

යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ....



යාළු බාල සඳෙ
කඳු මුදුනේ මොකද කරන්නේ
මා දෙසම නොවෙ ද නෙත් නොසලා
බලා සිටින්නේ
ඈ සිටින තැනට මටත් හොරා
මා ගෙන යන්නේ
ඇගෙ නළල් තලේ අහස් වලා
පෙළේ අඳින්නේ
දුරක සිටින මගෙ තනිකම
අහසෙ සිටින ඔබට පමණි
දැනුණේ යාළු
විරහ තාපයේ දැඩිකම
හිත් පිත් ඇති අයටත් නෑ
දැනුණේ යාළු
ඈ දැකුමට නළියන හිත
ඇගෙ නළලේ හැඩරුව දැක
සැනසෙයි යාළු
ඇගේ රුවින් බිඳුවක් ගෙන
හෙටත් ඈත කඳු මුදුණේ
හිනැහෙන් යාළු 
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - සෝමතිලක ජයමහ
ගායනය - සෝමතිලක ජයමහ

සඳ පිළිබඳ ව “තත්සර ඇසුරේ” බොහෝ කතිකාවත් වල අප නිරත වූ වග ඔබට මතක ඇති. සඳ ගැන කතිකාවත අප පටන්ගත්තේ කුලරත්න ආරියවංශයන් රචනා කළ සඳ හොරෙන් හොරෙන් බලා ගීතයෙනි. ඒත් හඳ අපට අමතක කළ හැකිද? නොහැකි ය. එසේ වන්නේ රාත්‍රියේ හඳපායන නිසා ම නොවේ. ප්‍රේමය සහ හඳ අතර අන්‍යොන්‍ය බැඳීමක් පවතින බැවිනි. මට මේ මොහොතේ ඩෝල්ටන් අල්විස් ශූරීන්ගේ කවිපන්තියක් සිහිවෙයි.
”සඳරැස් වැටී මිදුලේ දිය විය අඳුර


සුළඟට වැනේ වැට අද්දර උණ පඳුර
අද ගෙයි නිදනු බෑ ඇහුන ද ප්‍රිය සොඳුර
පිල උඩ එළා දෙනු මගෙ බොරු පන් පැදුර”


(ඩෝල්ටන් අල්විස්)
මේ කවි පන්තිය ඩෝල්ටන් අල්විස් නම්කර තිබුණේ “ප්‍රේමය හා සඳ එළිය” යනුවෙනි. ඒ තරම්ම සඳ හා සඳඑළිය ප්‍රේමය සමඟ බද්ධ වී පවතී. සඳඑළිය වූ කලී පෙම්වතුන් ගේ සිත් මෝහනය කරන්නකි. විරහ විරහනීන් ගේ විරහව අවුළුවන්නකි. එසේම සඳ ස්ත්‍රීන්ගේ මුහුණට යෙදූ සුලබ උපමාවකි. තම ආදරවන්තිය සිහිකරවන අපූර්ව වස්තුවකි. කවියන්ගේ කවි සිතුවිලි අවදිකරවන්නකි. මට රත්න ශ්‍රී විජේසිංහයන්ගේ අපූර්ව පදමාලාවක් සිහිවේ.
දුරු කතර ගෙවාගෙන


මං නොකියම ආවට
මට සමාවෙයන් බණ්ඩර මැණිකේ
අර බලන්න අර පුර හඳ අහසේ
(රත්න ශ්‍රී විජේසිංහ)

පුරහඳ පමණක් නොව අඩහඳ ද කාව්‍යක්කාරයන් අතහැරියේ නැත. ස්ත්‍රීන් ගේ පටු නළල ඔවුහු අඩහඳට සමාන කළහ. මේ ඉපැරැණි කාව්‍යාලංකාරය නව්‍ය මුහුණුවරකින් ඉදිරිපත් කිරීමට සුනිල් ආරියරත්නයෝ සමත්වෙති. උත්ප්‍රේක්ෂාලංකාර හා වක්‍රෝතීන් මනාව හසුරවමින් රචකයා අඩහඳ මිතුරකු බවට පත්කර ගනී. ඒ අඩහඳ තරුණ පෙම්වතකු ගේ යහළුවකු බවට පත්කොට අපූර්ව කාව්‍යොක්තියක් ගේය පදයකට සම්මිශ්‍රණය කරනු ලබයි.
යාළු බාල සඳේ කඳු මුදුනේ


මොකද කරන්නේ
මා දෙසම නොවෙද නෙත් නොසලා
බලා සිටින්නේ
ඈ සිටින තැනට මටත් හොරා
මා ගෙන යන්නේ
ඇගෙ නළල් තලේ අහස් වලා
පෙළේ අඳින්නේ

ගී පද මාලාවෙන් මුණගැසෙන්නේ තම පෙම්වතිය දැකගැනීමට නොහැකි ව ළතවන යෞවනයෙකි. විරහ වේදනාවෙන් මිරිකෙමින් සිටින ඔහුට කඳුමුදුනට පායා ඇති අඩසඳ ඇසගැටෙයි. ඒ අඩසඳ ඔහුට සිහිගන්වන්නේ තම සුන්දරියගේ නළල් තලයයි. ඇය සිටින දුර ඈත ඉසව්වට ඔහුගේ සිතුවිලි කැඳවාගෙන යාමට මේ අඩසඳ සමත්වෙයි. මේ සඳපළුව ඔහුට යාළු බාල සඳක් වන්නේ එබැවිනි. ඔහුගේ සුන්දරියගේ පටු නළල අඩසඳක් හා සමාන බව රචකයා ව්‍යංගයෙන් සන්නිවේදනය කර සිටියි.
දුරක වෙසෙන මගෙ තනිකම


අහසෙ සිටින ඔබට පමණි දැනුණේ යාළු
විරහ තාපයේ දැඩිකම
හිත් පිත් ඇති අයටත් නෑ දැනුණේ යාළු

සෝමතිලක ජයමහ
සුනිල් ආරියරත්න
ඔහු මේ බාල සඳට තම කෘතවේදී බව පළකර සිටී. ඔුගේ හදවත තුළ කැටිගැසුණු ආදරයේ වපසරිය එයින් මොනවට ප්‍රත්‍යක්ෂ වෙයි. ඒ අතර ඔහු සමාජයට චෝදනා කරයි. විරහ වේදනාවක බරපතළකම සිත්පිත් ඇති මිනිසුන් වටහා නොගත්ත ද මේ අජීවී අඩසඳ ඒ වේදනාවේ ගැඹුර වටහාගත් බව ඔහු ප්‍රකාශ කරයි.
චිකමත්සු නම් ජපන් නාට්‍යකරුවා පවසා ඇත්තේ කලාව වූ කලී සත්‍යයේ හා කල්පිතයේ සංයෝගයක් බවයි. මේ යෞවනයාගේ විරහ වේදනාවේ වපසරිය සුනිල් ආරියරත්නයන් තම කල්පිතයට මනාව හසුකර ගනී. වර්තමාන ගේය පද රචකයන්ට අපූර්ව පාඩමක් මේ ගේය පද රචනාව තුළ අන්තර්ගතය. බාලසඳට ඔහු දක්වන කෘතවේදීතාවයේ මේ යෞවනිය 
කෙරෙහි යෞවනයා දක්වන අපරිමිත ආදරය ගැබ්වී තිබේ.
දෛවයේ සරදමක් විසින් ඇය ඔහුගෙන් මේ මොහොතේ දුරස්කර තිබේ. ඔහුගේ සිතුවිලි ඈ දැකගැනීමේ ආශාවෙන් නළියයි. එහෙත් මේ යෞවනයා උපේක්ෂාව ප්‍රදර්ශනය කරයි. මේ අඩසඳ දැකීමෙන් ඔහු හිත හදාගැනීමට සැරසෙයි. ඒ සුන්දර නළල් තලාව අඩහඳෙන් දැකීමෙන් ඔහු සැනසීම ළඟා කරගනී.”ඈ දැකුමට නළියන හිත


ඇගෙ නළලේ හැඩරුව දැක සැනසෙයි යාළු
ඇගේ රුවින් බිඳුවක් ගෙන
හෙටත් ඈත කඳු මුදුණේ

යළි කවදා ඈ දකින්නට හැකිවේදැයි ඔහුට නිගමනය කළ නොහැකි ය. එතෙක් ඔහුගේ හිත හදන්නට සිටින එක ම මිතුරා යාළු බාල සඳයි.
”ඇගේ රුවින් බිඳුවක් ගෙන


හෙටත් ඈත කඳුමුණේ හිනැහෙන් යාළු”

නැමැති ප්‍රකාශයෙන් ඔහුගේ අසරණ බව මූර්තිමත් වෙයි. ඒ සමඟ ම භද්‍රයෞවනය උරුම සෞන්දර්යාත්මක ප්‍රේමයක විරහ වේදනාව මනාව සටහන් වේ.
අප තත්සර ඇසුරේ ලියා තැබූ බොහෝ ගීත මෙන්ම මෙය ද අපට නෑසෙන ගීයකි. මට මගේ යෞවනය සිහිවෙයි. මගේ මවුපියෝ ඈත පිටිසර පාසලක ගුරු නිවාසයක නවාතැන් ගෙන උන්හ. ඒ ගුරු නිවාසයේ ඉස්තෝප්පුවේ කොට බිත්තියක හිඳගෙන රාත්‍රියේ ගුවන් විදුලියට සවන්දීමේ පුරුද්දක් මට තිබිණි. පාසලේ පිට්ටනිය ඒ ඉදිරිපිටින් පැවැති අතර ඊට එපිටින් කුඩා කඳු ගැටයක් පැවතිණි. මේ කුඩා කඳුගැටය මතට පුරහඳ මෙන්ම අඩහඳ ද උදාවූ රාත්‍රී ගණනාවක් පැවතිණි.
එවැනි සඳ ඇති රාත්‍රියක මම මේ ගීතය එකල රජරට සේවයෙන් ශ්‍රවණය කළ අයුරු මට තාමත් මතක ය.
එකල කොහේ හෝ යෞවනියක ගේ රුවක් මා සිත තුළ ද අරක්ගෙන තිබිණි. “යාළුබාල සඳෙ” ගීතය ඇසෙද්දී මා තුළ ශෝකයක් ද සුන්දරත්වයක් ද අපරිමිත ලෙස රැඳුණු අයුරු මට මතක ය. ඒ සොඳුරු බව ඈ මේ ගීතය සිහිවෙද්දී මගේ මතකය සසල කරවයි. අද ඇසෙන නිර්මාණයක ඒ ආස්වාදය සොයාගත හැකිද?
”ලියාගන්න සින්නක්කර
දෙනවද මට ඔය ඇස් දෙක”
මෙබඳු පදමාලා ඇසෙද්දී අර පැරණි සුන්දරත්වය ශෝකයකට පෙරළි අනතුරු ව කෝපයක් බවට පත්වෙයි. මේ පෑනට පිහිතලයක් සවිකළ හැකි නම් මම මේ පද රචකයන් හා ගායකයන් ඝාතනය කරමි. නැතිනම් මම මගේ ගෙල සිඳගනිමි.