Pages

Saturday, January 04, 2014

සමනළ සංධවනිය අසම්මත සෙනෙහසක දෝංකාරය

ජීවිතය කවියක්‌, ගීතයක්‌ බඳු යෑයි කියන සහෘදයෝ බොහෝය. එහෙත් වත්මන අප නෙත සිත ගැටෙන බොහෝ සිංහල ටෙලි නාට්‍ය සේම චිත්‍රපටද ඒ සොඳුරු සංකල්පනා උපන්ගෙයිම මිලින කරවයි. හේතුව එබඳු නිර්මාණ බොහෝමයක්‌ ගම්‍ය කරවන්නේ ජීවිතය අදෝනාවක්‌ය, ෙ€දාන්තයක්‌ය යන්න වීමයි. සමනළ සංධවනිය චිත්‍රපටය ඒ අප්‍රසන්න වූ ඒකාකාරිත්වයෙන් සිංහල සිනමාව අලුත් මාවතකට ප්‍රවිශ්ඨ කළ නෙත ගැටෙන තරමට සිත සුවඳවත් කරනා සඳුන් හරක්‌ බඳුය. ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි මහතා සමනළ සංධවනිය සමග විචිත්‍ර ආදරණීය අත්දැකීමක්‌ සංවේදීව මනා සංයමයෙන් ප්‍රේක්‍ෂකයන්ට තිලිණ කර ඇත. සාම්ප්‍රදායික ජන සමාජයක්‌ නොකළඹා විළි ළන මුත් නූපදින සමාජ කතිකාවකට ගැනීමට බිය මාතෘකාවක්‌ විශිෂ්ට සිනමා කෘතියකට ගැබ් කිරීමට ඔහු සමත් වීමම ඔහුගේ ප්‍රතිභාව පෙන්නුම් කරවයි.

ඔපෙරා සංගීතයට නුහුරු පොදුජන ප්‍රේක්‍ෂක මනසට අලුත් සංගීතමය අත්දැකීමක්‌ ලබා දෙමින් අලුත් ආරක කතා පුවතක්‌ අධ්‍යක්‍ෂකවරයා චිත්‍රණය කර ඇත. සැබැවින්ම සමනළ සංධවනිය එක්‌ අතකින් ගීතමය චිත්‍රපටයකැයි කීම වැරදි නැත. ප්‍රේක්‍ෂක නෙත සිත මනස ඇද බැඳ ගන්නට හැකි එහෙත් සිංහල චිත්‍රපටයක එලෙස ප්‍රතිපල නොගත් කදිම උපාය මගක්‌ වන ගීතය, සංගීතය සමනළ සංධවනිය භාවාත්මක හා ගුණාත්මක තලයට ගෙන ඒමට අති විශාල දායකත්වයක්‌ සපයා ඇතැයි කීම සාවද්‍ය නොවේ. ප්‍රේක්‍ෂකයන් සමනළ සංධවනිය නරඹමින් සුන්දර සිහිනයක දැවටෙයි. එතරම් හෘදයංගමව, සෞන්දර්යාත්මකව, සියුම්ව සමනළ සංවනිය සිතුවම චිත්‍රණය කර ඇත. එනිසා සමනළ සංවනිය රූ පෙළහරකැයි නොකීම නොහොබී.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත වන වාදීෂ ද පුන්‍යා ද සිනාසෙන කඳුළින් අපට අපූර්ව ප්‍රේමයක වත ගොත හෙළි කරයි. පුන්‍යා පුන්‍යවන්ත දසුනක්‌ කරන්නට යශෝධා විමලධර්ම දක්‌වා ඇති කැපවීම ගැන කිවයුතු අති සාර්ථකය යන්නම පමණි. එබඳු හැඟුම්බර චරිතයකට සුදුස්‌සිය තේරීමට ජයන්ත චන්ද්‍රසිරි සිනමාවේදියාගේ සමත් බව, ඔහුගේ සුවිශේෂී පරිකල්පන ප්‍රතිනිර්මාණ කුසලතාවේ මහිමය පෙන්වා දෙයි. පුන්‍යා සමනළ සංධවනියේ විශාල පරාසයක භූමිකාවක්‌ නොකළ ද ඇය වාදීෂගේ තරමටත් වඩා ප්‍රේක්‍ෂක හිත්වල ඉඩකඩ උදුරා ගන්නේ නිරායාසයෙනි. යශෝධාගේ බිඳෙන කටහඬ පසුබිම්ව පුන්‍යා ප්‍රේක්‍ෂකයා අබියස දේවතාවියක මවයි.

වාදීෂගේ ළමා විය නිරූපනය කරන සූර්යා දයා රුවන් සිංහල සිනමාව ලද ලා ඉරකැයි නොකිවහොත් වරදකි. අධ්‍යක්‍ෂකවරයා ඔහු මෙහෙයවා ඇති අයුරු ප්‍රවීණයකුට සමය. රංගනයේ පැහැබර හෙටක්‌ ඔහුට නිසැකව හිමිය. අපි ඔහුට සුබ පතමු. ළමා වාදීෂ තරුණ වාදීෂ වෙත පෞර්ෂ්‍යය ඉහිරෙන ජීවිතයක යෂ්ටිය තරුණ වාදීෂට පවරා නික්‌ම යයි. උද්දික ප්‍රේමරත්න කළ උපරිම රංගනය තුරුණු වාදීෂ බවට ප්‍රේක්‍ෂකයෝ සහතික වනු නිසැකය. ප්‍රතිසංවේදී රංගධර හින්දි සිනමා නළු ෂාරුක්‌ කාන්ලාට සමව ප්‍රේක්‍ෂක දෙනෙත් හිත් තෙමන නළුවෝ අප සිනමාව ද සතු බව උද්දික අඩුවක්‌ නැතිවම ප්‍රකට කරයි. ඔහු නිසා වාදීෂ ප්‍රේක්‍ෂකයන් ඉදිරියේ සැබැවින්ම දැවැන්ත චරිතයක්‌ විණි. මේ නවක නළුවා සතු සැඟවුණු කුසලතාව ඔප මට්‌ටම් කළ ජයන්ත චන්ද්‍රසිරි සිනමාවේදියාට තුති පුදන අතරම ඔහුගෙන් විපුල ඵල ලබන මෙන් අනෙකුත් සිනමාවේදීන්ගෙන් ඉල්ලා සිටිය යුතුය.

බුද්ධදාස විතානාච්චි සහ පුබුදු චතුරංග සුළු වපසරියක නමුදු සමනළ සංධවනියට දෙන ආලෝකය සුළුපටු නැති බවද පැවසිය යුතුමය.

සමනළ සංවනියේ සිද්ධි පෙළ ගැස්‌ම මනාව ගැලපෙයි. බෝඩිමේ හා උයනේ සිදුවීම් යම් තරමක අභව්‍ය වුව සම්භාව්‍ය තලයක රැඳෙන නිර්මාණයක්‌ රස විඳින, එය නුහුරු පොදු ජන මනස මඳකට කිතිකවන්නට එබඳු අවස්‌ථා උදාකර ප්‍රේක්‍ෂකයන් එක දිගට බඳවා තබා ගැනීමට එය හිතා මතා කළායි මම සිතමි. ඒ ක්‍රමවේදය ද ඒ අනුසාරව වරදකැයි කිව නොහැකිය.

සියලුම ගැයුම් සුගායනීයය. අති මිහිරි සංගීතයක උල්පතක්‌ ජයන්ත චන්ද්‍රසිරි සිනමාකරුවා සමනළ සංධවනිය තුළින් අලුතින් හඳුන්වාදී ඇත.

කාලයකට මතක හිටිනා සොඳුරු සිනමාපටයකට දායක වූ නිෂ්පාදකයන්ට ද ජන රුචියට ඉඩකඩ දුන් සිනමා හල්වලට ද පැසසීම උචිතය. රළු පරළු බව පිරි සමාජය තුළ අහිංසක සමනළයන් දෙස සානුකම්පිත, ආදරණීය නෙත් යොමු කළ ජයන්ත චන්ද්‍රසිරි සිනමාවේදියාට හෘදයාංගම ප්‍රණාමය අවසන් කොටත් පළ කරමි.

මිනිස්‌ හිත් සුමුදු සංවේදී ඉසව් කරා යොමු කරවන සමනළ සංධවනිය වන් සිනමා නිර්මාණ සිනමා හල් කරා ප්‍රේක්‍ෂකයන් ආකර්ෂණය කොට නොනැවතී ජීවිතය විඳවන මිනිසුන් ගණන තුනී කර ජීවිතය විඳින්නෝ බහුල කරනට දායක වන ජනහිතවාදී කලා කෘතීන් සේ දැකීම අගැයීම වටී.

උපාලි පෙරමුණ