Pages

Sunday, August 05, 2012

වසර 2045 දී මිනිසා නොමැරෙයි!

අමරණීය මනුෂ්‍යයන් බිහි කළ හැකිද? මෙයට වසර හාර පන්දහසකට පෙර ජීවත්වූ මනුෂ්‍යයන් භාෂාව, අත්අකුරු, ලලිත කලා, විද්‍යාව, ගණිතය යන විෂයයන් සමග කිට්‌ටුවෙන් ගනුදෙනු කරන්නට පටන් ගැනීමත් සමගම තවදුරටත් නොමැරී සිටිමට ඇත්නම් යහපතැයි කල්පනා කළා. ඒ අදහස වැඩි වශයෙන් ඇති වුණේ රජවරුන් සිටුවරුන් වැනි අය තුළයි. කාම භෝගී සැප සම්පත් අනුභව කරමින් ගත කළ ජීවිතවලට ඔවුන් වහල් වී සිටියා. සදාකාලික ජීවිතය ලබා ගැනීම සඳහා මන්තර ගුරුකම් කාරයන්ගේ සහයෝගය ලබා ගත් ඔවුන් දරුවන් සහ කන්‍යාවන් යකුන්ට බිලි දෙමින් ලෝකය ලේ විලක්‌ කර අවසානයේදී මියගියා.

විද්‍යාවේ දියුණුවත් සමගම සදාකාලික ජීවිතය උදෙසා පර්යේෂණ කිරීමට විද්‍යාඥයන් යොමු වුණා. ස්‌වාභාවික ලෝකය තුළ මනුෂ්‍යයා මැරෙන ප්‍රධාන ආකාර තුනක්‌ තිබෙනවා. පළමුවැන්න, ශරීරයේ මාංශය ක්‌ෂය වීම හෙවත් තවදුරටත් සෛල අලුත්වැඩියා නොවීම නිසා සිදුවන මරණයයි. දෙවැන්න රෝගාබාධ නිසා සිදුවන මරණයයි. හදිසි අනතුරු හා මරා දැමීමට ලක්‌වීම තෙවැන්නයි. මිනිසාට අමරණීය වීමට කළ හැක්‌කේ ශරීරයේ සෛල වියපත් වීම හෙවත් මාංශය ක්‌ෂය වීම නවත්වා ගැනීමයි. සෙසු ක්‍රම දෙකෙන් සිදුවන මරණය වැළැක්‌වීමට බැහැ.

මාංශය ක්‌ෂය වීම වළක්‌වාගෙන අමරණීය වීම සඳහා ජීව විද්‍යාත්මක ක්‍රම වේද සකස්‌ කිරීම පිණිස ලොව පුරා සිටින ධනවතුන්ගේ ආයෝජනයෙන් මේ වන විටත් රහසේ පරීක්‌ෂණ පැවැත්වෙනවා. ශරීරය වියපත් විම වළක්‌වන ආයුර්වේද ක්‍රියාන්විතයන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ධනවතුන් අතර ජනප්‍රියවී තිබෙනවා.

පෙර කී ආකාරවලින් මිනිසුන්ට අමරණීය විය නොහැකි බව විශ්වාස කරන රුසියානු ධනපතියෙක්‌ සිටිනවා. ඔහුගේ නම දිමිත්‍රි ඉට්‌ස්‌කොව්. තව වසර 33 කින්, එනම් වසර 2045 දී මනුෂ්‍ය සිතුම් පැතුම් ඇති සයිබර් මොළයක්‌ ඇති, අමරණීය යාන්ත්‍රික මනුෂ්‍යයකු බිහි කිරීමට හැකි බව ඔහු විශ්වාස කරනවා. එපමණක්‌ නොව ඒ සඳහා වන ව්‍යාපෘතියක්‌ සඳහා ඔහු විසින් ධනය ආයෝජනය කරනු ලැබ තිබෙනවා. මේ ව්‍යාපෘතියේ නම "2045 යෝජනා" ක්‍රමයයි. විද්‍යාගාර තුළ නිර්මාණය කරන ත්‍රිමාණ මනුෂ්‍ය ශරීරවලට කෘත්‍රිම මොළ ඇතුළත් කර ස්‌මරණ ශක්‌තිය, තීරණ ගැනීමේ ශක්‌තිය හා එම තීරණවලට අනුව කිs්‍රයා කිරීමේ හැකියාව එම මොළ තුළට කාවැද්දීමයි. පළමුවැනි පියවර වන්නේ කෘත්‍රිම ත්‍රිමාණ මනුෂ්‍යයන් බිහි කිරීමයි. දෙවැනි පියවර, එම සිරුරුවලට පණ ඇති මිනිසුන්ගේ මොළ බද්ධ කිරීමයි. ගතින් අප්‍රාණික වුවත් මොළය සප්‍රාණික මිනිසුන් ලොව සිටිනවා. උදාහරණයක්‌ ලෙස මහාචාර්ය ස්‌ටීවන් ගෝකින්ස්‌ගේ මොළය දැක්‌විය හැකියි. එය අදටත් 100% ක්‌ ක්‍රියා කරමින් නව සොයා ගැනීම්වල නිරතවන මොළයක්‌. එවැනි මොළ ත්‍රිමාණ රොබෝ ශරීරවලට බද්ධ කළ හැකියි. තුන්වැනි පියවර වන්නේ මනුෂ්‍ය මොළයේ අඩංගු සියලු දත්ත සහ නිර්මාණාත්මක හැකියාවන් කෘත්‍රිම මොළයකට කවා එම මොළය කෘත්‍රිම ත්‍රිමාණ ශරීරයේ තැන්පත් කිරීමයි. මෙවිට සිතීමට හැකි ක්‍රියා කිරීමට හැකි කෘත්‍රිම මිනිසුන් බිහි වනවා.

මෙය කියන තරම් ලෙහෙසි නැහැ. එහෙත් අද වන විට පර්යේෂකයන් මනුෂ්‍ය ශරීරයට බද්ධ කළ හැකි කෘත්‍රිම කොටස්‌ රාශියක්‌ නිපදවා තිබෙනවා. කෘත්‍රිම අත්, පා, ඇඟිලි, හදවත් පමණක්‌ නොව මොළයට ආලෝක සංඥ ගෙන යන දෘෂ්ඨි ස්‌නායුවට (Optic Nerve) සම්බන්ධ කළ හැකි විදුලියෙන් ක්‍රියා කරන කෘත්‍රිම ඇස්‌ පවා අද නිපදවී තිබෙනවා. තවමත් නිපදවීමට බැරි වූයේ මොළය විතරයි. එහෙත් මොළයේ ක්‍ෂමතාව මෙන් කෝටි ගුණයක ක්‍ෂමතාව ඇති කුඩා පරිගණක අද නිපදවා තිබෙනවා. දිමිත්‍රි ඉට්‌ස්‌කොව්ගේ අරමුණ මේ සියල්ල එකතු කර මිනිසකු තැනීමයි.

තම ඉලක්‌කය සපුරා ගැනීම සඳහා දිමිත්‍රි ඉට්‌ස්‌කොව් කාල සටහනක්‌ සාදා තිබෙනවා. ඒ අනුව වසර 2020 දී මිනිසකුගේ මොළයක්‌ රොබෝ ශරීරයකට බද්ධ කිරීම සිදුවනවා. වසර 2025 දී මනුෂ්‍ය මොළ බද්ධ කළ හැකි කෘත්‍රිම ශරීර වාණිජ මට්‌ටමෙන් නිෂ්පාදනය කෙරෙනවා. වසර 2030 දී පළමුවැනි කෘත්‍රිම මිනිස්‌ මොළය නිපදවනවා. වසර 2035 දී මනුෂ්‍ය සිතුවිලි එම මොළයට කැවීම සිදු කෙරෙනවා. වසර 2040 දී මනුෂ්‍ය ශරීරය හා සමාන යාන්ත්‍රික ත්‍රිමාණ ශරීරයක්‌ නිපදවනවා. වසර 2045 දී මනුෂ්‍ය සිතුවිලි සහිත කෘත්‍රිම මොළය ඒ ශරීරයේ තැන්පත් කර ක්‍රියා කරවීම සිදු කෙරෙනවා.

ලෝකයේ ධනපතියන්ගේ නම් ලැයිස්‌තු පළවන්නේ ඇමරිකාවේ Forbes සඟරාවේ. අමරණීය මිනිසා තැනීමේ නව ව්‍යාපෘතියට මුදල් පරිත්‍යාග කරන ලෙස ඉල්ලා දිමිත්‍රි ඉට්‌ස්‌කොව් දැනටමත් එම ධනවතුන්ට ලිපි යවා තිබෙනවා.
අනුර සොලමන්ස්‌ - Divaina