Pages

Sunday, August 05, 2012

ඔබෙ දිවි අරණේ පැතුම් විජිතයේ මැණික්‌ පහන් වැට දැල්වේවා...

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ...

හිතේ කඳුලු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා...

තනිකම රජයන පාළු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබෙ දිවි අරණේ පැතුම් විජිතයේ
මැණික්‌ පහන් වැට දැල්වේවා...

පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගායනය - පණ්‌ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව 

යෞවන සමය... ආදරය විඳින කල වයස... සිහින ලෝකයක තනිවන කාලය... පාට පාට හීන... දකින මල් සමය... හරියට සමනළයින් වගේ... මල්පැණි සොයා ඉගිල යන ජීවිතයේ සුන්දරම කාලය.

මේ කාලයේදී ඇතිවන ආදර සම්බන්ධතා බොහෝමයන් තාවකාලිකයි. ගැළපීම් නොගැළපීම් තැකීමක්‌ නැහැ. හිත ගිය තැන මාළිගාව... බරක්‌ පතළක්‌ හිතන්නේ නැති කාලය...

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පති කුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ...

හරි අපූරු පෙම්වතෙක්‌... කාලයක්‌ ආදරය කළ පෙම්වතිය මේ පෙම්වතාව හැර දමා ගිහින්.... ඔහු දැන් ප්‍රේම පරාජිතයෙක්‌... ඔහු හැර ගිය ඇය තවකෙකු සමග විවාපත් වන මොහොත... පරාජිත පෙම්වතා ඇයට වෛර කරන්නේ නැහැ. ඇය මා දමා ගියේ අපි දෙදෙනා නොගැළපෙන නිසානේ... ඔහු හිතන්නේ එහෙමයි.

මගේ ප්‍රිය සුන්දරිය... අද ඔබ මා දමා ඔහු හා යනවා. ඔබ නිසා මගේ සිත් මල් යායේ පිපී විකසිත වූ ආදර මල් පොකුරු... පතිකුලයට පිය නඟා ඔබ යන මාවතේ අසුරන්නම්... ඒ පෙම් මල් පොකුරු ඔබේ පයට පෑගී... තැලී පොඩිවී යාදෙන්...

පණ්‌ඩිත් අමරදේවයන්ගේ භාව පූර්ණ හඬින් ගැයෙන මේ ගීයේ පද රචකයා... ආචාර්ය අජන්තා රණසිංහ... ගීය ගැන මෙහෙම කියනවා.

අපේ දේශීය කාන්තාවන්, පිරිමින් හැදියාව... සහ චර්යාවන් අනුව උසස්‌ තැනක ඉන්නේ. කිසි විටෙක ඊර්ෂ්‍යාවක්‌ ඇතිකර ගන්නේ නැහැ. මේ ගීයේ සඳහන් පෙම්වතාත් එහෙමයි. ඇය තමාව අතැර දැමුවේ නොගැළපෙන නිසානේ. බැරි වෙලාවත් විවාහ වුණා නම් දෙදෙනාගේම ජීවිත අඳුරට ගමන් කරන්න තිබුණා. මේ පෙම්වතා හිතුවේ එහෙමයි.

හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා

ඔබ නැති සොවින් මම රෑට තනි යහනේ ඉඳන් ඉකිබිඳිනවා... හිතේ උපන් කඳුළු බිඳු නෙතින් පිටවෙන්න ඔන්න මෙන්න. ඒත් කමක්‌ නැහැ... අපේ ආදරණීය සැමරුම් ගැන හිතමින් මම දුක්‌වෙන්නම්. ඒත් එවන් විරහ දුකක්‌ ඔබට නම් නොදැනේවා.

ඔහු ඇය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. හිතේ කිසිම කහටක්‌ නෑ. හිතින් දුක්‌ වින්දත් මේ පරාජිත පෙම්වතා ප්‍රාර්ථනා කරන්නේ ඇයට සුබ දිවියක්‌. පෙම්වතකුගෙන් විය යුත්තේ ඒක තමයි... හිතේ වේදනාවක්‌ ඇති නොවෙනවා නොවේ. ඒත් ඉතිං තමන්ට නොගැළපෙනවා නම් අතහරින එකනේ හොඳ... පෙම්වතා සහ පෙම්වතිය කෲර ලෙස හෝ ආදරණීය ලෙස දෙදෙනාගෙන් වෙන් වුණාට කමක්‌ නැහැ. විවාහය කියන්නේ ප්‍රේමය නොවෙයිනේ. විවාහය ඊට වඩා ගැඹුරු බැඳීමක්‌. ඒ නිසා වෙන්වෙන එක හොඳයි. අතැර දැමූ පසුව ඇතිවන සිත් වේදනාව සදාකාලික නැහැ. හදවත පළලා උණු ලේ දහරින් කියලා සිංදු ලිව්වාට එහෙම වෙන්නේ නැහැ. ආචාර්ය අජන්තා යළි තමන්ගේ ගීයෙන් කියෑවෙන ගැඹුරු අර්ථය පහදා දුන්නා.

තනිකම රජයන පාළු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබෙ දිවි අරණේ පැතුම් විජිතයේ
මැණික්‌ පහන් වැට දැල්වේවා

ගොම්මන් කළුවර වැටෙද්දී තනිකම වැඩියෙන් දැනෙනවා. පුදුමාකාර පාළුවක්‌ දැනෙන්නේ. ගොම්මනේ උපදින තනියත් එක්‌ක මේ පරාජිත පෙම්වතාගේ හදවත හඬා වැටෙනවා. ඒත් ඔහු තුළ ඇය කෙරෙහි තරහක්‌, වෛරයක්‌ නෑ. ඒ නිසා තමයි ඔහු ඇයගේ අනාගතයට සුබ පතන්නේ අනාගත ජීවිතය ආලෝකවත් වේවා යෑයි පතන්නේ...

අජිත් අලහකෝන් - Divaina