Pages

Wednesday, October 26, 2011

ලිබියාවේ කැරලිකාරයන්ට දෙවියන්ගෙන් සමාවක් නෑ

දෙවියන්ගේ කැමැත්තට අනුව දීප්තිමත් උදෑසනක; ශුද්ධ වූ ස්ථානයක දී ඔව්හු මුණ ගැසෙති. එක් පසෙකින් ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන් මහතා ය. අනෙක් පසෙන් ලිබියාවේ හිටපු ජනාධිපති කර්නල් මුවම්මර් ගඩාෆි මහතා ය.

සදාම් :- අස්සලාම් අලෙක්කුම්!
කර්නල් මං ඔහේ ව වීරයෙක්
විදිහට පිළිගන්නවා! ඒත් මං
දැක්කා තමන්ගෙ රුධිරය රත්තරන්
වැල්ල දිගේ ගලාගෙන යනවා!

ගඩාෆි - අල්ලාහ් අක්බර්!
අපි දෙන්න එක අත්තක එක
පොකුරෙ ඇෆ්‍රිකට් ගෙඩි දෙකක්
වාගෙ; වැල්ල දිගේ ගලාගෙන ගියේ
රුධිරය නෙමෙයි තෙල්! සුපිරි බොර
තෙල්! තෙල් කියන්නෙ දෙවියො
අපට දුන්නු තෑග්ග! ඒකෙ වටිනාකම
අලුත් කොල්ලො දන්නෙ නෑ!

සදාම්- කර්නල්ට කියන්ට;
උන් අපේ ශුද්ධ භූමිය වනසනවා!...
ශිෂ්ටාචාරය විකුණනවා...!

ගඩාෆි - මං අපේ මෝඩ
කැරලිකාරයන්ට හිනා වෙනවා!
උන් ආයෙමත් ගෝත්‍රික යුගයට
ගියා. ඊළඟට මං ලිබියාව
වෙනුවෙන් අඬනවා! මින් පස්සෙ
ලිබියාවට බඩගින්න දැනෙයි.
පිපාසය දැනෙයි. තෙල් ටික
කොල්ලකයි. දුප්පත්කම ඉහළ යයි.
අන්තිමට ඉතුරු වෙන්නෙ;
කාන්තාරෙ මිරිඟුව විතරයි!

සදාම් - ඉරාකෙට ඒ දේ සිද්ධ වුණා.
ගොඩඒමක්
පේන තෙක් මානෙක නෑ!
මිනිස්සු ශිෂ්ටාචාරය පටන් ගත්තෙ
ටයිග්‍රීස් ගංගාවෙ ඉවුරෙන් කියන
එක උන්ට අමතකයි!
මට ඔය ගංගාවෙ එගොඩ -
මෙගොඩ පීනන්ඩ පුළුවන්!
ලෝකෙට කැලැන්ඩරයක් තියෙන
බව සුද්ද දන්නෙ නෑ. ශිෂ්ටාචාරෙට
තොටිල්ලක් තියෙන බව ප්‍රංශකාරය
දන්නෙ නෑ. අමෙරිකාව රතු
ඉන්දියන්කාරයන් ට අයිති බව
පෙන්ටගනේට අමතකයි!.

ගඩාෆි - ඒ වුණාට කාන්තාරෙ
තෙල් තියෙන බව උන් දන්නවා!
ලෝකෙ දුවන්නෙ බොර තෙල්වලින්
කියලත් උන් දන්නවා! ඇයි තව
එකක්? අරාබිකාරයො කුළල් කා
ගන්න බවත් උන් හොඳට දන්නවා!


සදාම් - (හිනා) කර්නල්ට මතක ද
2003 දී ඉරාකෙට ගහන්ට ගත්තා!
හොඳට හිතටගන්ට මං ඩොලර්
වලින් යුරෝ එකට යන්ට හිතුවා!
එතකොට අපේ තෙල්වලින් උන්ගෙ
කොම්පැනිවලට ලැබෙන ලාභෙ
අඩුවෙනවා!
එතකොට ඉරාකෙට
ප්‍රජාතන්ත්‍රවාදෙ මතක් වුණා!.
මං ඒකාධිපතියෙක් කිව්වා!

ගඩාෆි - ඇයි සදාම්ට මතක නැද්ද
මගෙ පනත? ඒකෙන් ඔය
ඔක්කෝටම කෙළවෙනවා!
උන්ට ප්‍රජාතන්ත්‍රවාදෙ කියන්නෙ
කොම්පැනියක්!

සදාම්- ඒක නෙමෙයි මං
ඔහේගෙන් අහන්ට කියලමයි
උන්නෙ අර රයිස් නෝනා!
එයා තවම ඉන්නව ද?
හුඟ කාලෙකින් දැක්කෙ නෑ!

ගඩාෆි - (කට කොනකින් සිනා සෙයි)
ඔහ්! තමුසෙටත් ඕනෑ නැති දෙයක්
නෑ... හැබැයි ඔහේටත් හොඳ ඇහැක්
තියෙනවා! (රහසින්) තමුසෙට
කියන්ට රයිස් නෝන එච්චර ම
නරක නෑ! (හිනා)

සදාම්- තමුසෙ යකාගෙ මිනිහෙක්
නොවැ; එතකොට මගෙ බෙල්ලට
තොණ්ඩුව දාපු උන් තමුසෙට
හොඳා...!?

ගඩාෆි - (හිනා) කේන්ති ගන්ට එපා
අපට එක – එක තේරීම් තියෙනවා.
ඔහේගෙ රත්තරන් කඩුව වාගෙ
මගෙ රත්තරන් පිස්තෝලෙත්
දැන් නෑ.

සදාම් - ඔහේ අල්ල ගත්තට පස්සෙ
හිලරි නෝන ඩාන්ස් කෙරුවලු!

ගඩාෆි - ඕක මොකද්ද හලෝ!?
මගේ සල්ලිවලින් ඉගෙනගත්තු උන්;
මාව බිම දිගේ ඇදගෙන ගියා.
උන් මට පයින් ගැහුවා!
මගේ ඇඟට සපත්තුව තිබ්බා!
ඔහේ දන්නවා කුරානයේ ශුද්ධ වූ
පාඨය; නායකයාට කීකරුවෙනු!
ඔහුට සවන් දෙනුූ! මේ එකක්වත්
උන් ළඟ නෑ! මේ කැරලිකාරයන්ට
දෙවියන්ගෙන් සමාවක් නෑ!

සදාම්- ඩොලර් සීයට බැබිලෝනියන්
ශිෂ්ටාචාරය විකුණපු බල්ලො
බැග්ඩෑඩ්වල හිටියා! උන්ට තමන්ගෙ
නායකයා විකුණන එක සුළු දෙයක්!

ගඩාෆි - (හැඬුම්බරව) මට එක
හීනයක් තිබුණ සාදම් මං ඒ හීනෙ
වෙනුවෙන් බොහෝ කාලයක් බලා
සිටියා.
අප්‍රිකා එක්සත් ජනපදය!
ඒත් අප්‍රිකාවෙ මිනිස්සු ඒක
තේරුම්ගත්තෙ නෑ!

සදාම් - මටත් එක හීනයක් තිබුණ
කර්නල්! අරාබි එක්සත් ජනපදය!
ඒක තේරුම් ගත්තෙ නසාර්
මහත්තයා විතරයි.

ගඩාෆි - ඔහේට මතක ද?
කුමේනිතුමා කිව්වා ඉස්ලාම්
ලෝකයට බුද්ධිමතුන් ඕනෑ කියලා!

සදාම්- මට මතක නෑ එහෙම
එකක්! අනික ඉරානෙන් එන හුළඟට
මට නිව්මෝනියාව හැදෙනවා!

ගඩාෆි- (හිනා) ඕකනෙ කියන්නේ
සදාම්! අපි අපි දිහා ම ආපහු බලන්ට
ඕනෑ!

සදාම්- බලන්ට දෙයක් නෑ මේ
කැරැල්ල ආපහු බටහිරට යනවා!...
ඒකට වැඩි කාලයක්
ගත වෙන්නෙ නෑ!
ඔහේ එහෙම හිතනවද?

ගඩාෆි- (හිනා) උන් ලිබියාව විනාශ
කරන්ට සැලැසුම හැදුවේ මීට
අවුරුදු විස්සකට කලින්!

සදාම්- ඉරාකෙට, ලිබියාවට,
සිරියාවට, යේමන් රාජ්‍යයට,
ටියුනීෂියාවට, ඊජිප්තුවට නියම
ප්‍රජාතන්ත්‍රවාදෙ ඕනැ කියල සුද්දෝ
බෙරිහන් දෙනවා! එතකොට අපේ
මෝඩයෝ කුලප්පු වෙනවා!

ගඩාෆි- පුහ්! ප්‍රජාතන්ත්‍රවාදෙ
කියන්නේ බහු ජාතික සමාගමක්;
ඒකට කරන්ට පුළුවන් වැඩ දෙකයි;
එකක් තමා සවුදි අරාබියෙ ගෑනුන්ට
ඡන්ද අයිතිය දෙන එක. අනික තමා
පර්දාව ගලවන එක (හිනා)
මිනිස්සු ඡන්දෙ දෙන්නෙ ගෑනි
කැමැති කෙනාට තමා; පර්දාව අපි
අතින් කොහොමත් ගැලවෙන
එකනෙ!
ඕකට ප්‍රජාතන්ත්‍රවාදයක් ඕනැද?

සදාම්- (හිනා) තමුසෙ හරි
විචාරකයෙක් වෙලානෙ, අපරාදෙ
ඒ කාලෙ අපි දෙන්න ඈත් වෙලා
හිටියෙ! තමුසෙ හොඳ සමාජවාදී
බාත් පක්ෂෙට!

ගඩාෆි- පුහ්! සමාජවාදෙ?
මතක් කරන්ට එපා!
ඒකට කරන්ට පුළුවන් දෙයක් නෑ!
අපට ඕනෑ රටටගැළපෙන
දේශපාලන ධර්මයක්!

සදාම්- ඕව කරන්ට ගිහින් තමා
තමුසෙ; මැරුම් කෑවේ!
බලනව උන් තමුසෙට පයින් ගැහුවා!
ඇඟ උඩ නැග්ගා!
ඇදගෙන ගියා! අන්තිමේ
ඔළුවට වෙඩි තිබ්බා!

ගඩාෆි- හිතට ගන්නවා සදාම්;
මං මරල දැම්මට මගෙ දේශපාලනේ
මැරුණෙ නෑ! ලිබියාවෙ මිනිස්සු
දුප්පත් වෙනකොට මගෙ
දේශපාලනේ එතනින් පටන් ගනී.
කැරලිකාරයො කියන්නේ
මෝඩ ජාතියක්!
කැරලිකාරයන්ට පවතින්ට බෑ!

සදාම්- දැන් වෙලාව හරි!
අපි නැවත හමුවන තෙක්
අර සිංදුව කියමු.
දෙදෙනා ම:-
තෙල්වලට කෙළ හලා
බටහිරෙන් එන යකා
අපේ වළ ඉහින කොට
උඹ දෑස් ලොකු කරන්
වළ ගැඹුර දැ’යි අහනවා
ඒ යකා හෙට දිනේ
නුඹේ වළ ඉහින කොට
අපිත් දෑස් ලොකු කරන්
හොඳ වැඩේ;
කෙළවෙයන්
කෙළවෙයන් කියනවා!

රන්ජන් අමරරත්න - Dinamina