Pages

Saturday, October 08, 2011

මගෙ ජීවිතයට පැමිණි ලස්‌සනම සිහිනෙකි ඔයා

දුන්නු වේදනා මේ නෙතින් උතුරලා
මතක රැස්‌ වෙලා හිත අයාලේ ගියා
හිතෙන්නේම නෑ ඔබ මගේ නොව කියා
ජීවිතේම දැන් මාගේ හීනයක්‌ වෙලා

කෙටි කාලයකින් හමුවී
මගෙ ජීවිතයට පැමිණි
ලස්‌සනම සිහිනෙකි ඔයා...

මේ සීත වස්‌සානේ පාළුව ගලන්නේ
තනිකමයි හදවත සරන්නේ
මේ අන්ධ හිත්මානේ මතකය තැවෙන්නේ
සෝ සංකා හිරිහැර කරන්නේ...

කෙටි කාලයකින් හමුවී...

සඳනේන රෑ යාමේ සසලව හිඳින්නේ
කළුවරය දසතින් හමන්නේ
වැටෙන හුස්‌මක්‌ ගාණේ
ඔබවමයි සිහිවෙන්නේ
ඔබ කොහේදො හිඳින්නේ

කෙටි කාලයකින් හමුවී....

පද රචනය - ඩිලාන් ගමගේ
සංගීතය/තනුව - රදිෂ් වැන්දබෝනා
ගායනය - නිරෝෂා විරාජිනී
ලස්‌සනම ලස්‌සන හීන දකින්න ආසම කරන වයස තමයි යොවුන් විය... යෞවනය... උයනක්‌.. වසන්ත කාලෙට පාට පාට මල් පිපිලා... ඒ උයනේ පුංචිම පුංචි විලක අලුත පිපිනු පියුම්... පැණි වෑහෙනවා... ඒ පැණි උරාබොන්න එන බිඟුන්... පැණි රසයට මත්වෙලා... ඒ වගේ තමයි යොවුන්වියේ ආදරයේ මිහිර උරාබොන්න... හීන මවන යෞවනයට... ඒ හීනය හරිම ලස්‌සනට පෙනෙනවා....

ඒ ලස්‌සන හීනය හැබෑ වුණත්... විරහව... ඊට බාධාවක්‌ වෙන එක වළක්‌වන්න බැහැ...

බූට්‌ එකක්‌ නොකෑ කොල්ලෙක්‌... කෙල්ලෙක්‌ ඉන්නවා නම් ඒ ඉතාම කලාතුරකින්.... බූට්‌ එක ඒ තරමටම තරුණයන්ට සමීපයි.

නිර්මාණාත්මක සිතිවිලි උපදින හදවතක්‌ ඇති කෙනෙකුට නම් "බූට්‌" එකේ... වටිනාකම කියා නිම කරන්න බැහැ... බූට්‌ එක දුකක්‌ තමයි... ඒත් ඒ දුක තුළින් මෝදුවන කලාත්මක හැඟුම්.... කවියකට... ගීයකට... සාහිත්‍යයට මොනතරම් මෙහෙවරක්‌ කරනවද...

දුන්නු වේදනා මේ නෙතින් උතුරලා
මතක රැස්‌ වෙලා හිත අයාලේ ගියා
හිතෙන්නේම නෑ ඔබ මගේ නොවෙ කියා
ජීවිතේම දැන් මාගේ හීනයක්‌ වෙලා.

මේත් බූට්‌ එකක්‌ කාපු තරුණියකගේ හැඟුමක්‌...

වියෝව නිසා ඇය විඳින වේදනාව දෙනෙතින් පිටාර ගලනවා... ඒ කියන්නේ කඳුළු කැට කඩාවැටෙන තරමට ඇය විරහ වේදනාව විඳිනවා..ඒ සුන්දර අතීත මතකය වෙළාගත් හිත.... අයාලේ යනවා... ඒ වෙලාවට හිතෙන්නෙ නැහැ. ඔහු වෙන්ව ගිහිං කියලා... ඒත්... දැන්.. නම් ඇයට තමන්ගේ ජීවිතය හීනයක්‌ වෙලා...

කෙටි කාලයකින් හමුවී
මගෙ ජීවිතයට පැමිණි
ලස්‌සනම සිහිනෙකි ඔයා...

මේ ආදරයට එතරම් දිගු වයසක්‌ නැහැ... ඉතාම කෙටි කාලයක්‌ තුළදී තමයි ඔහු ඇයගේa ජීවිතයට ළං වුණේ... ඒ දවස්‌වල ඔහුව ඇයට පෙනුනේ ලස්‌සනම ලස්‌සන හීනයක්‌ වගේ....

මේ හැඟුම් පදපෙළකට ගෙතුවේ... ලස්‌සන හීන මවන තරුණයෙක්‌... ගීයේ තනු නිර්මාණයත්... ඒ වගේම යෞවන උයනේ සැරිසරන තවත් තරුණයෙක්‌ගේ... ඩිලාන් ගමගේ... පදරචකයා... රදිෂ් වැන්දබෝනා.. තනු රචකයා....

මේක මගේ පුද්ගලික අත්දැකීමක්‌ අවුරුදු තුනකට කලින් මට ගැහැණු ළමයෙක්‌ හමුවුණා... මම දුප්පත් කොල්ලෙක්‌... ඒත් එයාට සල්ලි තියෙනවා.. අපි දෙන්නා නොගැළපෙන බව හොඳින්ම දැනුනා... මට ඔයා ලස්‌සන හීනයක්‌ විතරයි... මම ඇයට නිතරම කියුවා... ඩිලාන්... ගීයේ නිමිත්ත ඒ විදිහට හෙළි කරන්න පටන්ගත්තා...

මේ සීත වස්‌සානේ පාළුව ගලන්නේ
තනිකමයි හදවත සරන්නේ
මේ අන්ධ හිත් මානේ මතකය තැවෙන්නේ
සෝ සංකා හිරිහැර කරන්නේ...

ඔහු නැති පාලුව වඩාත් තදින් දැනෙන්නේ වස්‌සානයට... උණුසුමක්‌ ගතට වුවමනාම වෙලාවක.. ඒත් හදවත පුරා තිබෙන්නේ තනිකම... හිත්මානයේ කිසිවක්‌ පෙනෙන්නේ නෑ... සෝ සුසුම්... සංකාව... හිරිහැර කරමින් මතකය හදවත රිදුම් දෙනවා...

රදිෂ් වැන්දබෝනා... මට මෙලඩි එකක්‌ ගෙනත් දුන්නා... ඒ වෙද්දී මම බූට්‌ එක කාලා... ආතක්‌ පාතක්‌ නැතුව... හිත අයාලේ යන වෙලාව.. මට මගේ හිතේ තිබුණු හැඟීම් ප්‍රකාශ කරගන්න බැරිව හිටියෙ... රදිෂ් මෙලඩි එක දුන්නා... විනාඩි දහයකින් මගේ හැඟුම් පදපෙළකට ගෙතුනා... අපි දෙන්නම කතා වුණා... නිරෝෂා අක්‌කාට මේ සිංදුව දෙන්න... නිරෝෂා අක්‌කාට විරහවට හරිම සමීප හඬක්‌ තියෙන්නේ අපේ ඉල්ලීම ඇය නිහතමානීව පිළිගත්තා. ඒ නිර්මාණය හොඳ නිසා වෙන්න ඇති.

සඳනේන රෑ යාමේ සසලව හිඳින්නේ
කළුවරයි දසතින් හමන්නේ
වැටෙන හුස්‌මක්‌ ගානේ ඔබවමයි සිහිවෙන්නේ
ඔබ කොහේදො හිඳින්නේ...

හාත්පස අඳුරින් වැහිලා... සඳ එළියක්‌ නොවැටෙන රෑ යාමේ... ඇයගේ හිත සසලවෙලා... නිහඬ නිමේෂයක්‌... හුස්‌ම වැටෙන සද්දය විතරයි ඇහෙන්නේ... ඒ වෙලාවේදි ඇයට සිහියට එන්නේත් ඔහුගේ රුවමයි... ඒත් ඒත්... ඔහු ඇය ඉදිරියේ නැහැ....

ඒ ගැහැනු ළමයා දැන්... ඉන්නේ පිටරටක... මම සිංදුව ලියල ඇයට යෑව්වා... එයා දන්නවා ඒක ලියුවේ එයාට කියලා... ලස්‌සනයි කියලා කිව්වා... දැන් ඇය මට කතා කරන්නෙ නැහැ...

ඒත් සිංදුව අහලා වෙන වෙන ගැහැනු ළමයින් නම් මට නිතර නිතර කතා කරනවා...

ගීය ගැන ඉතින් තවත් වදන් කුමටද... ඩිලාන් අවසානයට කී වචන කීපයෙන්... ගීයේ සාර්ථක බව තහවුරු වෙනවා.... රදිෂ්ගේ තනුවත්, නිරෝෂාගේ හඬත්... විරහ වේදනා විඳිමින් සිටි ඩිලාන්ගේ හදවතට තවත් ලස්‌සන හීනයක්‌ ගෙන එන්න... සමත් වෙලා...


අජිත් අලහකෝන් Divaina