Pages

Saturday, October 01, 2011

මායාවකි ප්‍රේමය මා... හදවත රිදවූයේ...

තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ
සුවඳ මා ළඟින්...

සිව් වසරක පෙම් ගීතය
ගොළු වෙලා ගියාදො
අලුත් ලොවක ඔබ සතුටින්
කිරුළු පැළඳුවාදෝ...

මායාවකි ප්‍රේමය මා
හදවත රිදවූයේ
සෝ ගීයකි දුක්‌බර වූ
සැනසුම කොහි වේදො...

පද රචනය - බුද්ධදාස ගලප්පත්ති
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - වික්‌ටර් රත්නායක

ප්‍රේමයෙන් ජය ලැබුවෝ කී දෙනෙක්‌ ඇත්ද? ඒත් වැඩිපුරම ඉන්නේ පරාජිත පෙම්වතුන්. ඒක තමයි ඇත්ත. ප්‍රේම කරන එකත් සටනක්‌ වගේ. අවි ඔසවාගත් සතුරන් කී දෙනෙක්‌ පෙම්වතුන්ට එරෙහිව නැගී සිටිනවාද? මේ සටනින් ජය ගන්නා එක හරිම අමාරු දෙයක්‌.

තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ
සුවඳ මා ළඟින්

මේ පෙම්වතා පළමු ප්‍රේමය ගැන හඬා වැටෙනවා. පෙම්වතිය ඔහු හැර ගිහින්. දැන් ඉතින් උරුම පාළුව, තනිකම විතරයි. ඒ පුරුදු පාළුව සමඟ තනිවෙන්න ඔහුට වුවමනායි. ඒ නිසා ඇයගේ මතකය ඇගේ සුවඳ ඔහුට තවත් වුවමනා නෑ. මේ පෙම්වතා ඇයට කියනවා ඒ ආදරයේ මිහිරි මතකයත් ඒ සුවඳත් අරගෙන යන්න කියලා.

මේ ගීතය මීට අවුරුදු ගණනාවකට කලින් ලියෑවුණේ අපේ ප්‍රවීණ කවියකු අතින්. හේ බුද්ධදාස ගලප්පත්ති.

මේ ගීය ලියෑවුණේ අසූගණන්වල මැද. ප්‍රේමය ගැන අත්දැකීමක්‌. හැබැයි මගේම අත්දැකීමක්‌ කියා සම්පූර්ණයෙන්ම කියන්න බැහැ. කොටසක්‌ මගේ අත්දැකීමක්‌. සත්‍ය හා කල්පිතයන් අතර අත්දැකීම් පෙළක්‌ කියලා කිව්වොත් නිවැරැදියි.

සිව් වසරක පෙම් ගීතය
ගොළු වෙලා ගියාදො
අලුත් ලොවක ඔබ සතුටින්
කිරුළු පැළඳුවාදෝ

මේ සරසවි ප්‍රේමයක්‌. ඒ බව ගීත රචකයා කෙළින්ම හඟවන්නේaත් නැහැ. සිව් වසරක පෙම් ගීතය කියා කියන කොටසින් ඔහු ඒ බව හඟවනවා.

මේ පෙම්වතාගේ සරසවි ප්‍රේමය දැන් නතර වෙලා. ඇය අලුත් ලොවක කිරුළු පැළඳ සතුටින් ඉන්නවා. ඒ කියන්නේ ඔහුගෙන් වෙන් වූ ඈ වෙනකෙකු සමඟ අතිනZත් අරන්. කරකාර බැඳලා.

මේ සිංදුව විශ්වවිද්‍යාල සිසුන් අතර හරිම ජනප්‍රිය බව වික්‌ටර් දවසක්‌ මට කිව්වා. මර්වින්ගේ "මේ නගරය" වගේ "තනි වෙන්නට" ගීයත් ප්‍රසංගවලදී සිසුන් ඉල්ලනවාලු. පොදුවේ හැම පෙම්වතෙක්‌ ම මේ ගීතයට පෙම් කරනවා. වික්‌ටර්ගේ ජනප්‍රියම සිංදුවලින් එකක්‌ විදිහට ලැයිස්‌තුගත වූ සිංදුවක්‌. වසර තිහක්‌ විතර පරණ වුණත් එදා වගේම තවමත් ලැබෙන ප්‍රතිචාර එක වගේමයි. ගීත රචක බුද්ධදාස ගලප්පත්ති පැවසුවා.

මායාවකි ප්‍රේමය මා
හදවත රිදවූයේ...
සෝ ගීයකි දුක්‌ බර වූ
සැනසුම කොහි වේදෝ...

මේ ප්‍රේමය නම් මායාවක්‌මයි. ඒක මගේ හදවතට රිදුම් දුන්නා. වියෝ වෙනතුරු සුන්දර ලෙස දුටු ප්‍රේමය දැන් මේ පරාජිත පෙම්වතාට පෙනෙන්නේ මායාවක්‌ විදිහට. ඒත් ඔහු හැරගිය පෙම්වතිය කෙරෙහි සිත තුළ වෛරයක්‌ ඇති කරගන්නේ නැහැ. ද්වේෂයකුත් නැහැ. ආදරය කළ හිතකින් කොහොමද වෛර කරන්නේ. කොහොම වුණත් මේ සිව් වසරක සරසවි ආදරය අද දුක්‌බර වූ සෝ ගීයක්‌ වෙලා. ඈ අලුත් ලොවක කිරුළු පළඳලා. ඒත් තවමත් තනිකඩව ඉන්න පෙම්වතාගේ හිතට සැනසුමක්‌ නැහැ. ඇගේ ආදරණීය සුවඳ ඔහු සමඟ ඇතත් සැනසුම නම් පලා ගිහින්.

වික්‌ටර් රත්නායකයන් මේ ගීය ගයද්දී දැනෙන රසය, අසන්නාගේ හිතටත් ශෝකයක්‌ ගෙන දෙනවා. රෝහණ වීරසිංහත්, ඒ සඳහා වික්‌ටර්ට අනුබල දෙනවා. ඒ ශෝකී රසයට විරහව වඩාත් මතුවන ආකාරයේ තනුවක්‌ තමයි රෝහණ වීරසිංහ අතින් නිර්මාණය වී තිබෙන්නේ.


අජිත් අලහකෝන්