Pages

Tuesday, December 01, 2015

ඔය පර්මිට් ප්‍රශ්නය දීපං ළමයෙකුට

වාහන බලපත්‍රය නිසා වසරකට කෝටි 40 ක ආදායමක් රජයට අහිමි වන බව රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහුගේ ගණන් හැදිලි නම් තඹ දොයිතුවකට විශ්වාස කළ නොහැකිය. අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිත්යෙන් 5.4% ක් වෙන් කළ බව ඔහු පැවසීය. පසුව හෙළි වූයේ කාලයක් පුරා පැවති පාසල් ගොඩනැගිලි හා ඉඩම් වල වටිනාකමද (ඒවා පවතින වසර ගණනට බෙදා) එකතු කර මේ ඉලක්කම ඔහු සාදා ගත් බවයි. ඒ අනුව ඔහුගේ කිසිදු ඉලක්කමක් විශ්වාස නැතත්, මේ කෝටි හතළිහ හදා ගන්නට ඇත්තේ වසරකට නිකුත් කරන බලපත්‍ර ගණනට සමාන ප්‍රමාණයක් බලපත්‍ර රහිතව වාහන ගෙන්වූවා නම් දළ වශයෙන් කීයක් බදු වශයෙන් රජයට වැඩිපුර ලැබෙනවාදැයි බැලීමෙන් විය හැකිය. නමුත් සත්‍යය වශයෙන්ම බලපත්‍ර නොතිබුනා නම් එම වාහන ප්‍රමාණය හා ගෙන්වන වාහනවල වටිනාකමද අඩුවනවා ඇත. ඒ නිසා බලපත්‍ර දීමෙන් රජය මඟින් අඩු කරන බදු මුදලම බලපත්‍රය නොදීම මඟින් රජයට ලැබෙන්නේ නැත. එනිසා එම සම්පූර්ණ බඳු මුදල රජයේ පාඩුව ලෙස හැඳින්වීම දෝෂ සහගතය.

අපගේ අවධානය යොමු වන්නේ රවීගේ මේ ඉලක්කම් ගැන නොවේ. බලපත්‍ර අහෝසි කිරීම නිසා නැග ආ විරෝධයට රවීලා ඇතුළු ආර්ථික ඔස්තාර්ලා තොගයක් ඉන්නවා යැයි කියූ නළුවෙක් නොවේ මොළයක් අගමැති වී තිබෙන රජය මඟින් ලබා දෙන්නට යන මහදැන මුත්තා පන්නයේ තීන්දුවටය. පහත දැක්වෙන්නේ මේ පිලිබද හර්ෂ ද සිල්වා මහතා සිය මුහුණු පොතේ තබා තිබූ සටහනකි.

මේ පර්මිට් ප්‍රශ්නය ළමයෙකුට දී බලමු.

1). වාහන බලපත්‍ර ලබා දීම සදහා රජයට වැයවන මුදල කීයද? (කඩදාසි සහ මුද්‍රණ වියදම් ආදිය නොසළකා හරින්න)
ළමයා : බිංදුවයි.

2). අළුතෙන් යෝජනා වී ඇති පරිදි බලපත්‍රය වෙනුවට රජයේ නිලධාරීන්ට මුදල් ලබා දීමට රජයට මුදලක් වැය වේද?
ළමයා: නැතුව. මුදල් දෙන්න මුදල් වැය වෙනවා නේන්නම්. ගොන් ප්‍රශ්නයක්නේ.

3) වාහන බලපත්‍ර ලබා දීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් කීයක් වෙන් කළ යුතුද?
ළමයා: ඒ මොකටද? කීයක් වත් වෙන් කරන්න ඕනා නෑ. බලපත්‍රය අච්චු ගහලා දෙන එකනේ.

4) නව ක්‍රමයට මුදල් ලබා දීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කළ යුතුද?
ළමයා: නැතුව. සල්ලි දෙන්නේ පොලීසියෙන්ද?

5) ඒ මුදල සොයා ගත යුත්තේ කෙසේද?
ළමයා: අපේ අම්මලා තාත්තලා කඩෙන් ගන්න බඩු ටිකට බදු ගහලා තමා ඉතින්. ලංකාවේ වක්‍ර බදුනේ වැඩි.

6) කොහොමද රවීල හර්ෂල මලික්ල රනිල්ල එකතු වෙලා රාජ්‍යය වියදම අඩු කරපු හැටි?
ළමයා: වෙනස සැපද?

මහදැන මුත්තා එලුවාගේ බෙල්ල කැපුවා මිස එළුවාගේ අයිතිකාරයාගේ (ගමරාළගේ) බෙල්ල කපා ගත්තේ නැත. නමුත් මේ ආර්ථික ඔස්තාර්ලා එළුවාගේ බෙල්ල කපා නවතින්නේ නැත. එළුවාට අහිමි කළ හිස සවි කරන්නට උත්සාහ කරන්නේ ගමරාළගේ බෙල්ල කපාගෙනවිත්ය.

සත්‍ය වශයෙන්ම වාහන බලපත්‍ර අහෝසි කිරීමට තීරණය කරන්නේ රවී කරුණානායක මහතා පැවසූ පරිදි රාජ්‍ය ආදායමේ ගැටළුවකට විසඳුමක් ලෙස නොවේ. මෙය ගෙවුම් ශේෂය හා බැදුනු ප්‍රශ්නයකි. එනම් මේ රට තුළින් පිටට ඇදී යන මුදල සහ පිට රටින් මෙරටට ඇදී එන මුදල අතර වෙනස වැඩි වීමේ ගැටලුවයි. ප්‍රශ්නය වන්නේ පසු ගිය රජයට මෙය ගැටළුවක් නොවූයේද යන්නයි. සැබවින්ම එවැනි අර්බුදයකට ඔවුනට නොතිබිනි. එකල රට තුළ විසල් ව්‍යාපෘති ක්‍රියාත්මක විය. එම ව්‍යාපෘති සඳහා ණය සහ ප්‍රාග්ධනය වශයෙන් විදෙස් මුදල් රට තුළට පැමිණියේය. එනිසා ගෙවුම් ශේෂය පාලනය කර ගත හැකි මට්ටමක පැවතීය. මේ රජය පත් වූ විගස හොරු අල්ලා ගැනීම සඳහා රාජ්‍ය ව්‍යාපෘති නතර කළේය. චීන ආයෝජකයන් හා චීන රජය අධෛර්යමත් කරමින් ඔවුන් මින් පිටමං වන තැනට කටයුතු කළේය. රටට විදේශ විනිමය ගෙනා ඇවන්ට්ගාඩ් වැනි ආයතන රණ විරුවන් හොරුන් කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් බිලි ගත්තේය. මොවුනට හොරු ඇල්ලීමේ නාටකය මිස ආර්ථිකය මතක් වූයේ නැත. ආර්ථිකය මතක් වූයේ අය වැය එන විටය.

එකල රංජන් රාමනායක නම් අයෙක් මැදපෙරදිග දුක් විදින කාන්තාවන් ගැන හැඬූ කදුළින් පසු වූවා ඔබට මතකද? දැන් අර කොමඩ් උස්සා රත්තරං ඇත්දැයි බලන්නේ ඒ රංජන්ම දැයි සැකය. මොකද මේ රංජන්ට මැදපෙරදිග යන කාන්තාවන් ගැන වගේ වගක් නැත. මේ ඒ රංජන්ම නම් ගෙවුම් ශේෂය පියවන්නට වැඩියෙන්ම දායක වන්නේ මේ කාන්තාවන් බැවින් රනිල් ඔහුට ඒ ප්‍රශ්නය අමතක කර දමන ලෙස අවවාද කළා විය හැකිය.

රට තුළට එන මුදල අඩු වන නිසා රටින් පිටවන මුදලද දැන් අඩු කළ යුතුය. වාහන බලපත්‍රය අහෝසි කරන්නේ මෙරටින් ජපානයට යන මුදල අඩු කරන්න මිස රාජ්‍ය වියදම අඩු කරන්න නොවේ. වාහනවල බදු වැඩි කරන්නේද ආනයනය අධෛර්යමත් කරමින් පිට යන මුදල අඩු කරන්න මිස මේ මුසාබස් කාරයන් පවසන පරිදි පාරේ වාහන තදබදය අඩු කිරීමට නොවේ. මේ සියල්ල ගෙවුම් ශේෂය පාලනය කර ගැනීමටය. විරෝධය හමුවේ වාහන බලපත්‍රය යළි නොදී මුදල් ලබා දීමෙන් හෝ වැඩේ ගොඩ දාගන්න උත්සාහ දරන්නේ ඒ නිසාය. ඒ මුදල් දැන් දෙන්න වෙන්නේ මහජනයාටය. වාහන බලපත්‍රය දෙන විට මහජනයා පිට ඒ බර නොපැටවිනි. මහජනයා මේ ගෙවන්නේ හොරු ඇල්ලීමේ වියදමය. අවසානයේ අල්ලපු හොරෙකුත් නැත.
www.yuthukama.com