Pages

Friday, December 25, 2015

අසිරිමත් නත්තල උදාවෙයි

ලොවපුරා කිතුනු බැතිමතුන් යේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උප්පත්තිය සිහි පත් කරමින් අද (25) නත්තල සමරති.

අසිරිමත් නත්තල මුලු ලොව පුරා වෙසෙන කිතුනු බැතිමතුන් මහත් භක්තියකින් සමරනු ලබන උත්සවයකි. වෙනත් ආගම් වල ජනතාව විසින් ද සංස්කෘතික උත්සවයක් ලෙස එය සමරනු ලබයි.

සෑම වසරකම දෙසැම්බර් 25ට පෙරදා මධ්‍යම රාත්‍රියේ සිට දේව මෙහෙයන්ට සහභාගි වෙමින් නත්තල උදාව පිළිගනියි.

නත්තල් සිරිත්

“නත්තල” යන වචනය සැදී ඇත්තේ “නතාල්” නම් පෘතුගීසි වචනයෙනි. නත්තල යන පෘතුගීසි වදනේ අරුත ‘‘උපත’’ යන්නයි. ඕලන්දයේ නත්තල හඳුන්වනු ලබන්නේ කර්සටමිස් යනුවෙනි. ඉංග්‍රීසියෙන් ක්‍රිස්මස් (Christmas)ය.

අප රටේ නත්තල පවත්වනු ලබන්නේ දෙසැම්බර් මස 25 වැනිදාය. ඒ 24 වැනිදා මධ්‍යම රාත්‍රී දේව මෙහෙයන් පැවැත්වීමෙන් අනතුරුව ය.

නෙදර්ලන්තයේ නත්තල් උත්සවය පවත්වනු ලබන්නෙ ශුද්ධවූ ශාන්ත නිකුලස්තුමාගේ මංගල්‍යය යී ඇති දෙසැම්බර් හයවැනිදාට ය. එහෙත් සියලු ආගමික වතාවත් දෙසැම්බර් මස 25 වැනිදා පැවැත්වේ.

බැසිලිකා දෙව්මැදුර

ඉතාලියේ රෝමයේ පිහිටා ඇති බැසිලිකා දෙව්මැදුර, ආගමික පිළිවෙත් මධ්‍යස්ථානය ලෙස සැළකේ. එහි, වතිකානුවේ ශුද්ධෝත්තම පාවුළු පාප්වහන්සේ වැඩවසති. දෙසැම්බර් 24 වැනිදා රාත්‍රී 12 ට පැවැත්වෙන විශේෂ දිව්‍ය පූජා හා 25 වැනි දින පැවැත්වෙන දේව මෙහෙය ද ලොව පුරා ප්‍රචාරය කෙරේ.

දේවස්ථානයේ නත්තල් මහා දිව්‍ය පූජාව පවත්වනු ලබන්නේ පාප්වහන්සේ විසිනි. පූජාවෙන් අනතුරුව පාප්වහන්සේ, ආශීර්වාද සුබ පණිවිඩය කියවයි.

නන්තල් ගවලෙන

බෙත්ලෙහෙමේ ගව ලෙනකදී සිදුවු ජේසු බිළිඳුගේ උපත සිහිපත් කිරීම සඳහා, කිතුනු බැතිමතුන් - ගවලෙනේ අනුරුවක් නිර්මාණය කරයි. සියලු දේවස්ථානවල ද ගවලෙන සකස් කරයි.

ගවලෙන නිර්මානාරම්භය 1223 දක්වා දිවෙයි.

නත්තල් ගස

නත්තල් ගසේ මූලාරම්භය ජර්මනියයි. නත්තල් ගස සාදා වල්ගා තරුවක්, සෙල්ලම් බඩු ද නත්තල් සීයාගේ අනුරුවක් ද එල්ලා, දිලිසෙන කොළවලින් එය අලංකාර කිරීමත් සිරිතකි.

නත්තල් සුබ පැතුම් පත

නත්තල් කාඩ්පතක් සුබ පැතුමක් ලෙස නිකුත් වූයේ 1843 දී. 1874 දී ජර්මන් ජාතිත ලුවිස් ෆ‍්‍රෑන්ක් - නත්තල් කාඩ්පත් අමෙරිකාවේදී මුද්‍රණය කර, ප්‍රසිද්ධ කර තිබේ. නත්තල් මුද්‍රාවක් පළමුවරට 1904 දී ඩෙන්මාර්කයේදී භාවිත වී ඇත. නත්තලට විශේෂිත වූ සුබ පැතුම් කාඩ්පතක් 1840 බ්‍රිතාන්‍ය තැපැල් සේවය ආරම්භ වීමත් සමඟ තැපෑලෙන් යැවීම ද ආරම්භ වී ඇත.

නත්තල් සීයා

නත්තලේ දී පොඩි දරුවන්ගේ ආදරය දිනාගත් තැනැත්තා නත්තල් සීයා නැතිනම් 'සැන්ටාක්ලෝස් '. නත්තල් සීයා, වර්ෂ 270 දී පමණ තුර්කියේ මයිරා නගරයෙන් බිහිවිය. කුඩා කල සිටම ආගමට දහමට ලැදිව කටයුතු කළ ශාන්ත නිකලස්, තම මිල මුදල් දුප්පතුන්ට බෙදා දෙමින් අනුන්ගේ දුකට පිහිට වූ කෙනෙකි.

පසු කලෙක දේවගැතිවරයෙකු වූ නිකුලස්තුමා ළමයින්ගේ දුකට පිහිට වූ අතර දුප්පතුන් සොය සොයා ගොස් උදව් උපකාර කර ඇත. නත්තල් සීයා නමින් ප්‍රකට වූ එතුමා, වර්ෂ 341 දෙසැම්බර් මාසයේදී ස්වර්ගස්ථ විය.

පසු කලෙක නිකුලස්තුමාගේ හැඩරුව ඇති අයකු රතු ලෝගුවත්, රතු උස් තොප්පියත්, සුදු රැවුලත් සහිත තෑගි පිරුණු දෑතත් සමඟ සිටීමෙන් නත්තල් සීයා බවට පත් විය.

ඉතාලියේ නත්තල් සීයා වන්නේ කාන්තාවකි. ශාන්ත බෙනානා නමින් හැඳින්වෙන ඇය, නත්තල් දිනට පෙර දින තෑගි භෝග රැගෙන ගෙන්ගෙට ගොස්, ළමයින්ට තෑගි බෙදා දෙයි.

ප්‍රංශයේ නත්තල් සීයා හඳුන්වනු ලබන්නේ, පිරිනොයෙන් යනුවෙනි. ස්විට්සර්ලන්තයේ නත්තල් සීයා බිෂොප්වරයකු මෙන් සැරසී තෑගි භෝග බෙදා දෙයි.

බ්‍රිතාන්‍ය

බ්‍රිතාන්‍යයන් නත්තල් දින රාත්‍රියේ ගෙමිදුලේ කෑම බන්දේසියක් තබයි. ඒ වෙහෙස වී පැමිණෙන මරියතුමියට සලකන ආකාරයෙනි.

ඉදිරි වසර තුළ ජීවිතය ආලෝකවත් වීම සඳහා ද නත්තල් දින රාත්‍රියේ විශාල ලී කොටයකට ගිනි තබයි. නත්තල් ඉටිපන්දම යනුවෙන් හැඳින්වෙන එහි අඟුරු නිවෙස්වල ඉතා සුරැකිව තබා ගනිති. ඒ ප්‍රේත උපද්‍රව, සතුරු උපද්‍රව හා අකුණුවලින් ගැලවීම සඳහාය.

එමෙන් ම නත්තල් දින රාත්‍රී කාලයේදී ඇපල් අනුභව කිරීමෙන් මුළු වසර පුරාම නිරෝගීව සිටිය හැකි බවටත් විශ්වාස කෙරේ.

ඔස්ට්‍රියාව

ඔස්ට්‍රියාවේ සෑම නිවෙසකම නත්තල් විශේෂ පාන් ගෙඩි දෙකක් සාදයි. සංකේතවත් කරන්නේ බයිබලයේ අඩංගු පුරාණ ගිවිසුම හා නව ගිවිසුමයි. නත්තල් භෝජන සංග්‍රහයෙන් පසු සියලුදෙනා එක්වී, මේ පාන් ගෙඩි දෙක අනුභව කරයි. එමෙන් ම සෑම නිවෙසකම ඉටිපන්දම් තුන බැගින් ද දල්වයි.

ඉන්දියාව

නිවෙස් අලංකාරය සඳහා කෙසෙල් ගස් හා අඹ ගස් භාවිත කරයි. නිවෙස් ඇතුළත අඹ අතු එල්ලා අලංකාර කරයි. ලබන අතර, නිවෙස ඉදිරිපිට පේළියට මැටි පහන් දල්වයි.

මෙක්සිකෝව

ජුසේතුමා හා මරියතුමී බෙත්ලෙහෙමේ නවාතැන් සොයමින් තැනින් තැන ගිය ආකාරයට නත්තල සමරයි. නත්තලට දින 9කට පෙර ඔවුන් උත්සවය ආරම්භ කරයි. ඒ ජුසේතුමා හා මරියතුමිය නාසරෙත් සිට ‍බෙත්ලෙහෙම දක්වා පැමිණි දින නමය සිහිපත් කිරීමටයි.

එංගලන්තය

පවුලේ අය එක්වී, දේව කතාවලට සවන් දී දී නත්තල සමරයි.

ග්‍රීසිය

නත්තල් සමයේදී ශාන්ත නිකුලස්තුමා මහත් ඉහළින් සැමරීම ග්‍රීක වැසියන්ගේ සිරිතයි. දරුවන්, කණ්ඩායම් ගැසී ගම්වැසියන්ට සුබ පතමින් ගමක් ගමක් පාසා යයි. දරුවන්ට වියළි පළතුරු හා රසකැවිලි තෑගි වශයෙන් ලබාදීමට නිවැසියන් සූදානම්ව සිටී.

රුසියාව

රුසියානු ජනතාව නත්තල් මේසයට මස් භාවිත නොකරයි. ඒ සඳහා ඔවුන් ධාන්‍යවලින් සැදූ කුත්යා නම් රොටි විශේෂයක් තබයි. එකම බඳුනක මේ රොටී දමා ඇත. සහභාගි වන සියලු දෙනා, බඳුනට අතපොවා, රොටි ගෙන අනුභව කරයි. එසේ අනුභව කිරීමෙන් සෞභාග්‍ය උදාවන බව විශ්වාසයයි.

පිලිපීනය

කැරොල් ගී ගායනා කරමින්, නිවෙස්වලට ගොස් කා බී විනෝද වෙයි. ඒ අතර නත්තල් සීයා ද තෑගි භෝග රැගෙන පැමිණේ.

ස්වීඩනය

ස්වීඩනයේ නත්තල් උත්සවය ආරම්භ වන්නේ දෙසැම්බර් 13 වැනිදාය. මෙදින රසවත් ආහාර පිළියෙළ කරන වැසියෝ, ඒවා අනුභව කරමින්, නත්තල් ගී ගයමින් ප්‍රීති වෙයි. නත්තල අවසන් වන තෙක්ම එසේ ප්‍රීති වීම ඔවුන්ගේ සිරිත යි.

නත්තල් දින උදේ පහට පැවැත්වෙන විශේෂ දේව මෙහෙයට යන මොවුන්, මඟදී හමුවන හැමටම සුබ නත්තලක් වේවායි පැතුම් එක කරයි. මෙදින දේවස්ථාන අල්තාරවල සහ කවුළුවල ඉටිපන්දම් දල්වා ආලෝකවත් කරන්නේ එම ආලෝකය තම ජීවිත ආලෝක කරන බවට ද විශ්වාස කරන බැවිනි.

ඉරානය

රජතුන් කට්ටුව වාසය කළ ප්‍රදේශය ලෙස සැලකෙන මෙහි නත්තල සැමරීම ආරම්භ කරනු ලබන්නේ දෙසැම්බර් පළමුවැනිදාය. එදින ආහාර අනුභව නොකරයි.

නත්තල් උත්සවය සියලුම කිතුනු බැතිමතුන් විසින් සමරනු ලබන අතර, වෙනත් ආගම් වල ජනතාව විසින් ද සංස්කෘතික උත්සවයක් ලෙස සමරනු ලබයි. අසිරිමත් නත්තල - මුලු ලොවපුරා පවත්වන උත්සවයකි.

ඔබ සැමට අසිරිමත් නත්තලක් වේවා...'ලොස්ට් 1982' ප්‍රාර්ථනයයි.