Pages

Monday, September 21, 2015

සුළු දේටත් ඉක්මණින් කේන්ති යනවද ?

සුළු දෙයකට පවා ඉතා ආවේගශීලිව උස් හඬින් කෑ ගසමින් නිතරම දොස් පවරමින් චෝදනා කරමින් කලහකාරී ලෙස හැසිරෙන අය ඔබ අතරත් සිටිනවාද ?මෙවැන්නෝ බොහෝ විට කිසිවෙකුට දොස් පවරමින් කලබලකාරී ලෙස හැසිරෙන්නේ බැණ වදින්නට තරම් බරපතළ වරදක් අන් අයගෙන් සිදුවූ නිසා නොවේ .බොහෝවිට වරද හෝ අඩුපාඩුව තිබෙන්නේ තමා තුළමය .තමා අතින් සිදු වූ වරද යටපත් කරගැනීමට උපක්‍රමයක් ලෙස බැණ වදිමින් අන් අය යටපත් කරගැනීමට උත්සහ කිරීම මොවුන්ගේ සිරිත වේ.මෙවැන්නෝ සමීපයේ සිටින අය වරදක් නොමැති වුවද අසාධාරණ ලෙස පිඩාවට පත් වන්නේය .මෙය මානසික රෝගයක්ද නැතහොත් පෞරුෂ ඌනතාවයක්ද යන්න විමසා බලමු .

බොහෝවිට එසේ කටයුතු කරන්නේ පෞරුෂ ඌනතාවයක් නිසාය .කාර්යාලවල ප්‍රධාන නිලධාරීන් සුළු සේවක පිරිසට බැණ වදිමින් චෝදනා එල්ල කරමින් අප්‍රසන්න ලෙස හැසිරෙන්නේ නම් සමහර විට පෞද්ගලික ප්‍රශ්නයක් හේතුව විය හැකිය .නමුත් කිසිවෙකුගේ පුද්ගලික ප්‍රශ්නයක් නිසා ඇතිවූ මානසික අවුල් සහගත තත්වයක් හේතු කොටගෙන අන් අයට බැනීම නුසුදුසු ක්‍රියාවකි .එය එම පුද්ගලයාගේ පෞරුෂ ඌනතාවයකි.නිවසක වුවද සැමියා තම බිරිඳට දරුවන්ට උස් හඬින් බැණ වදින්නට පුරුදුවී තිබෙන්නේ නම් සුළු සුළු අතපසුවීම් පවා ලොකු වරදක් ලෙස දකිමින් චෝදනා කරමින් කලහකාරී ලෙස හැසිරෙන්නේ නම් එය ද පෞරුෂ ඌනතාවයක් ලෙස පෙන්වා දිය හැකිය .

මනා පෞරුෂය යනු පෙනුම නොවේ .ඇතැම් ය පෞරුෂය යනු ප්‍රසන්න වූ පෙනුම යැයි වැරදි අවබෝධයක් ඇති කරගෙන තිබේ .නමුත් මනා පෞරුෂය යනු සුළු දෙයකටත් කෝප වීම ,නොහික්මුණු ගතිය ,ආවේගශීලි බව ,ඊර්ෂ්‍යාව ,ද්වේශය ආදී පහත් සිතුවිලින් තොර වූ යහපත් ලෙස ගොඩනගාගත් කරුණාව ,සංවේදී බව ආදී ගුණාංගවලින්පෝෂණය වූ නිරෝගී මානසිකත්වයයි .එසේ නිරෝගී මානසිකත්වයකින් හෙබිවූ මනා පෞරුෂයක් ගොඩ නැගෙන්නට ජානමය හේතූන් සහ විශේෂයෙන්ම කුඩා අවධියේ සිට හැදෙන වැඩෙන පරිසරය ( පවුල් පරිසරය ) පුද්ගලයෙකුට ඍජුවම බලපාන්නේය .තමා හැදෙන වැඩෙන පවුල් පරිසරය අනුව ඒ ඒ පුද්ගලයාගේ පෞරුෂත්වය ගොඩනැගේ .

පෞරුෂ ඌනතාවයකින් යුක්ත වූ පුද්ගලයෙකු තමා අතින් සිදු වූ වරද යටපත් කරගෙන තම වරද පිළිගැනීමට තරම් ශක්තියක් නොමැති බැවින් බැණ වදිමින් උස් හඬින් කතාකරමින් අන් අය බියගැන්වීමට උත්සහ දරන්නේ තමා ආරක්ෂා වීම පිණිසය .මෙය තම ආරක්ෂාව සඳහා යොදා ගන්නා ආරක්‍ෂිත පියවරකි .නමුත් ඔහුගේ හෝ ඇයගේ පෞරුෂ ඌනතාවය නිසා ඉන් තමාට සිදුවන හානිය මොවුනට වැටහෙන්නේ නැත .එම නොහික්මුණු ගතිය නිසා තමාට සිදුවන හානිය දන්නවා නම් මොවුන් නොවරදවා තම පෞරුෂය නිසි ලෙස ගොඩනගා ගැනීම සඳහා සිය කැමැත්තෙන්ම උනන්දු වෙනවා ඇත .ප්‍රශ්නයක් විසඳා ගැනීමේදී අන අය යටපත් කර ගැනීමට වෙර දැරීම අන් අය බියගැන්වීම උස හඬින් බැන වදිමින් පරුෂ වචන පවා භාවිතා කරමින් අවමන් කිරීම චෝදනා කිරීම ආදී නොහික්මුණු හැසිරීම් නිසා මෙවැනි අයගේ ජිවිත බිඳ වැටීමට එය මොනතරම් දුරට බලපානවාද යන්න මෙහි සඳහන් කරුණු අනුව ඔබට වැටහෙනු ඇත .

කෝපයෙන් කෑ ගසමින් අශිෂ්ට ලෙස හැසිරෙන එවැනි පුද්ගලයින් හමුවේ අන් අය ඒ බැන වදින මොහොතේදී නිහඬව සිටිනු ඇත .නමුත් පසුව ඒ අය ඔහුට හෝ ඇයට විරුද්ධව කටයුතු කිරීමට සැලසුම් කරන්නේය .උදාහරණයක් වශයෙන් යම් කාර්යාලයක නිලධාරියෙකු සෙසු අයට යුතු ලෙස චෝදනා කරමින් අකාරුණික ලෙස කටයුතු කරන්නේ නම් සෙසු පිරිස කල්ලි ගැසෙමින් නිතර දෝෂාරෝපණය කරන පුද්ගලයාට වඩා ශක්තිමත් වූ බලවේගයක් ගොඩ නගා ගැනීමට පෙළඹෙනු ඇත .එවිට අන් අය යටත් කර ගැනීමට කෑගසමින් උත්සහ කල පුද්ගලයාට සෑහෙන දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදුවේ .මෙවැනි පරිසරයක් පවුල් ජිවිතයක් තුල තිබේනම් සැමියා හෝ බිරිඳ අනියම් සම්බන්දතා ඇති කරගැනීමටද පෙළඹිය හැකිය .

දැන් ඔබට වැටහෙනවා නේද පුදගලයෙකු තුල පෞරුෂ ඌනතාවයක් තිබීමෙන් ලැබෙන ප්‍රතිඵල භයානක බව .එසේනම් කුඩා අවධියේ සිටම දරුවෙකු තුල යහපත් පෞරුෂයක් ගොඩනැගීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමේ වැදගත්කම ඔබට් දැනෙනවා ඇත .තම සමීපතම පුද්ගලයෙකු කෝපයෙන් කලහකාරී ලෙස හැසිරීම තමාට හිරිහැරයක් වුවද ඔවුන් එසේ හැසිරෙන්නේ ඇයිද යන්න සොයා බැලීමට තරම් කිසිවෙකු උනන්දුවක් නොදක්වයි .එය එම පුද්ගලයාගේ ස්වභාවය යැයි සිතයි .එය ස්වභාවය විය හැක .නමුත් එවැනි දුර්වල වූ පෞරුෂයක් ගොඩනැගුනේ කෙසේද යන්න සොයා බලා කටයුතු කිරීම වඩා වැදගත්ය .බොහෝ විට මෙය සිදුවන්නේ හැදෙන වැඩෙන පරිසරය තුලින්ය .පවුලක පියා නිතරම මව යටත් කරගැනීමට සිය අණසක පතුරුවමින් කටයුතු කරන්නේනම් එම පවුලේ පිරිමි දරුවන් සිතන්නේ එය කල යුත්තක් ලෙසය .ඔවුන් ද අනාගතයේදී බිරිඳට අනිසි බලපෑම් කිරීමට යාමෙන් විවාහය අසාර්ථක කරගත හැක .

බිඳුණු පවුල් ඒකක තුල හැදෙන දරුවන් සමාජයට වැඩිහිටියෙකු වී පිවිසුණු විට නිතරම අන් අය විවේචනය කරමින් දෝෂ දකිමින් වරදක් ඇතිව හෝ නැතිව චෝදනා කරමින් කටයුතු කරන්නේය .කුඩා අවධියේ සිට ඇගැයීමකට ලක් නොවූ මව්පියන් විසින් කිසිවිටෙක අගය නොකළ දරුවෝද මෙලෙස කටයුතු කරති .කුඩා අවදියේ සිට ලබන අත්දැකීම් තැන්පත් වී තිබෙන්නේ යටි සිත තුලය .අධ්‍යාපනය ලබන්නේ උඩ සිත භාවිතයෙනි.සිය පවුල තුලදී කුඩා කල සිට ලැබුණු අකාරුණික අත්දැකීම් යටි සිතේ තැන්පත් වී තිබෙන පුද්ගලයෙකු උසස් අධ්‍යාපනයක් ලබා උසස් සමාජයක ජීවත්වීමට අවස්ථාව උදාකරගත් උගත් කෙනෙකු බවට විය හැකිය .නමුත් යටි සිත ක්‍රියාත්මක වී ඔහු නිතර අන් අයට බැණවදිමින් ජිවත්වන ද්වේශ සහගත චරිතයක් විය හැක .සමහර උගත් පුද්ගලයින් පවා අශිලාචාර ලෙස කෑගසන අයුරු ඔබද දැක තිබිය හැක .

ඇතැම් විට කුඩා කාලයේදී පීඩනයකට ලක්වීම නිසා ගොඩනැගුණු දුර්වල පෞරුෂයක් නිසා මෙලෙස හැසිරෙන්නේ නම් එය විෂාදය දක්වා යෑමටද ඉඩ තිබේ.මේ නිසා මෙවැනි ලක්ෂණ ඔබ තුළද ඒවා නිවැරදිව හැඩගස්වා ගැනීම ඉතාමත් වැදගත්ය