Pages

Saturday, May 04, 2013

කැම්පස් + Facebook

Facebook මගින් ඇති කරන අහිතකර ප්‍රතිඵල බොහෝය. මෙරට විශ්වවිද්‍යාල ආශ්‍රයෙන් විශ්වවිද්‍යාල Facebook මඟින් සිදු කර තිබෙන්නා වූ ඛේදජනක තත්ත්වය කාගේත් අවධානයට යොමු විය යුත්තකි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයා සෑම අතින් ම පරිණත විය යුතුය. එය තාක්ෂණික අතින් ද විය යුතුය. නමුත් එය අර්ථාන්විත විය යුතු නොවන්නේ ද?

විශ්ව විද්‍යාලයක පරිගණක මධ්‍යස්ථානයකට ගියහොත් එහි සිටින විද්‍යාර්ථීන්ගෙන් සියයට 90 කට වඩා වැඩි පිරිසක් එහි පැමිණ තිබෙන්නේ Facebook සමාජ ජාලයට සම්බන්ධ වීමටයි. මෙය සෑම විශ්වවිද්‍යාලයකම දැක ගත හැකි තත්වයකි.

එහෙත් මීට වසර පහ හයකට පෙර විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් තම විවේකී කාලයන් යොදා ගනු ලැබුවේ සංවාද, විවාද සඳහා මෙන්ම නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය කර ගැනීම සඳහායි. ඒ මඟින් විශ්වවිද්‍යාල තුළ ප්‍රබෝධවත් බවක් පැවතුනි.

අද තත්වය ඊට හාත්පසින් ම වෙනස්ය. දේශනයක් අවසන් වූ සැණින් විද්‍යාර්ථින් දුවන්නේ FB පැත්තේ යනවා” යැයි පවසමිනි. එනම් Facebook විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ද ආක්‍රමණය කර ඇති බවයි.

මීට වසර පහ හයකට පෙර සිටි විද්‍යාර්ථීන් තරම් පර්යේෂණශීලී, විචාරශීලී, විවාදශීලී විද්‍යාර්ථීන් විශ්වවිද්‍යාලයන්ගෙන් බිහි නොවීමට මෙය ප්‍රධාන හේතුවකි. තව ද රටේ උගතුන් යැයි පිළිගනු ලබන මෙම බුද්ධිමතුන් තම වටිනා කාලය මෙලෙසින් අර්ථ විරහිත දෙයකට යොමු කිරීම රටේ ම අභාග්‍යයකි.

වර්තමානය වන විට සෑම විශ්වවිද්‍යාලයකම පරිගණක මධ්‍යස්ථාන අඩු තරමින් දෙක තුනක්වත් දක්නට ලැබෙයි. මේවායින් විද්‍යාර්ථීන්ට නොමිලේ ම අන්තර්ජාල පහසුකම් සලසා දී තිබෙන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා විශ්වයටම විවෘත වූ, විශ්වයම පිළිබඳව දැනුවත් පුද්ගලයෙකු විය යුතු බැවිනි. එමෙන් ම ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවලදී අන්තර්ජාලය අත්‍යවශ්‍ය වන බැවිනි.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය එම බලාපොරොත්තුව පෙරදැරි කරගෙන මෙම පහසුකම් විද්‍යාර්ථීන්ට සපයා දුන්න ද ඒවායෙහි සාර්ථක අසාර්ථකභාවය පිළිබඳව පසු විපරමක් සිදුකරන්නේ ද යන්න ගැටලුවකි.

ඇතැම් විද්‍යාර්ථීන්ට අන්තර්ජාලය යනු අන් කිසිවක් නොව Facebook ය. මෙහි ඇති ඛේදජනක තත්වය නම් ඇතමුන් අධ්‍යයන කටයුතුවලට අන්තර්ජාලය කිසිසේත් ම උපයෝගී කර නොගන්නා මුත් පැය ගණන් Facebook යාමයි. මෙය එක්තරා ආකාරයකට නිදහස් අධ්‍යාපනයෙන් අනිටු ප්‍රතිඵල භුක්ති විඳීමකි.

මේ ආකාරයට Facebook හි ගත කරන පැය ගණන් කාලය අර්ථවත් කාර්යයක් වෙනුවෙන් යෙදවීම විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේත්, සමස්ත විශ්වවිද්‍යාලයන්ගේත් මෙන් ම රටේත් අනාගතය යහපත්වීමට බලපානු ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ නලින් ද බණ්ඩාර - silumina.lk