Pages

Thursday, March 07, 2013

චාවේස් අපේ විප්ලවය අවසන්ද !

ඔහු, සිය රට තුළ අධිරාජ්‍යවාදීන්ගේ බල පරාක්‍රමය පැතිරවීමට කිසිවිටෙකත් ඉඩදුන්නේ නැත. සිය මවුබිමෙන් ඇරැඹී ලතින් අමෙරිකාව සිසාරා හමාගිය නව අධිරාජ්‍ය විරෝධී අරගලයේ නිදහස් සුළඟට ජීවය පිම්බේය. ධනවාදය විසින් තමා පාගාදැමීමට වෑයම් කළ කොතෙකුත් කුමන්ත්‍රණ පරදවා ඔහු අභීතව නැඟී සිටියේය.

අධිරාජ්‍යවාදීන්ට ඔහු පරාජය කළ නොහැකි විය. එහෙත්, මාරාන්තික පිළිකාවත් සමඟ කළ ධෛර්යය සම්පන්න අරගලයෙන් ඔහු පරාජය විය. ධනවාදයට එරෙහි අරගලය අත් නොහැරී වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස් අඟහරුවාදා දහවල් කැරතස් නුවර හමුදා රෝහලේදී ජීවිතය අත්හැරියේ 58 හැවිරිදිව සිටියදීය.

ඉකුත් සතියේදී ද, ඊට පෙරද චාවේස් මියගිය බවට වරින්වර නොයෙක් මාධ්‍ය හා අන්තර්ජාලය ඔස්සේ ආරංචි පැතිර ගියේය. එය හරියටම කියුබා නායක පිදෙල් කස්ත්‍රෝ තවමත් යහතින් සිටියදී ඔහුගේ මරණය පිළිබඳ පළවූ වාර්තාවලට සමානය.

මාස ගණනාවක් තිස්සේ පිළිකා මාරයා සමඟ සටන් කරමින් සිටියදී අධිරාජ්‍යවාදයේ සුරතලුන් කළේ චාවේස්ගේ් මරණය ප්‍රාර්ථනා කිරීමය. කොපමණ ඉක්මනින් එය ඉටුකරගැනීමට ඔවුන්ට වුවමනාවී ද කිවහොත් මියයන්නටත් පෙර ඔහු මියගිය බව කියමින් වෙනිසියුලාව තුළ අස්ථාවරත්වයක් ඇති කිරීමට වෑයම් කළහ.

අඟහරුවාදා දහවල් වෙනිසියුලා උප ජනාධිපති නිකොලාස් මදුරෝ මෙතරම් වේලාසනින් නොඇසිය යුතු ඒ දුක්මුසු ආරංචිය ජාතියට දැනුම් දුන්නේ චාවේස් අපේ මතකයේ සදා ජීවත්වන බව කියමින්. “අප අන් කවරදාටත් වඩා දැන් එකමුතු විය යුතුයි, සහෝදරත්වයෙන් නැඟී සිටිය යුතුයි...” ඔහු කීවේ ශෝකය මැඩ ගනිමිනි.

චාවේස්ගේ හදිසි අභාවය ඓතිහාසික ඛේදවාචකයක් බව ඔහුගේ අදහස විය. චාවේස් ලෙඩ ඇඳේ සිටි ආසන්න වකවානුව තුළ වෙනිසියුලා විපක්‍ෂ කණ්ඩායම් කළේ අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාව වෙනුවෙන් රට තුළ පෙනී සිටීමය. ඔවුහු පෙළපාලි ගියහ.

චාවේස් විරෝධී පාඨ කියමින් හඬ නැඟූහ. එතැනින් ද නොනැවතී දැනටමත් ඔහු මියගොස් ඇතැයි කියමින් වෙනිසියුලාවේ බලය තමන්ට නතු කරගත හැකිදැයි විපරම් කළහ. මේ නිසාම චාවේස්ගේ මරණයෙන් පසුව, මේ දුෂ්කර මොහොත තේරුම් ගන්නා ලෙසත්, වෙනිසියුලානු ජනතාවගේ ශෝකය විඳදරා ගන්නා ලෙසත් විපක්‍ෂයෙන් ඉල්ලා සිටීමට උප ජනාධිපතිවරයාට සිදුවිය.

මීට වසරකට පමණ ඉහතදී, වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් අධිරාජ්‍ය විරෝධී අරගලයට නායකත්වය දෙන නායකයන් තනතුරුවලින් පමණක් නොව ජීවිතයෙන්ම ඉවත්කරන බටහිර කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව් කළේය. ඔහුගේ ප්‍රකාශයෙන් හැඟුණේ තමා ද එහි ගොදුරක් වී ඇති බවයි.

ඒ වනවිට ඔහුට සිය රෝගී තත්ත්වය පිළිබඳ දැනගැනීමට ලැබී තිබිණි. අවස්ථා කිහිපයකදී කියුබාව බලා ගිය ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලැබීය. අවසන් වරට සිදුකළ බරපතළ ශල්‍යකර්මයෙන් පසු ඔහුගේ තත්ත්වය අයහපත් අතට හැරී තිබිණි. හුස්ම ගැනීම හා ආහාර ගැනීම ද අපහසු විය. එලෙස ගෙවීගිය සති කිහිපයක කාලය නිමාවූයේ මේ අයෝමය නායකයාගේ ජීවිතයට ඉඩක් නොදෙමිනි

හියුගෝ රෆායෙල් චාවේස්
වෙනිසියුලා ජනාධිපති
උපත - 1954.07.28 සබනෙට්හිදී
අභාවය - 2013.03.05 කැරකස්හිදී
ජනාධිපතිධුර කාලය - 1999 පෙබරවාරි - 2013 මාර්තු
දේශපාලන පක්‍ෂය - වෙනිසියුලා එක්සත් සමාජවාදී පක්‍ෂය
විවාහය - මරිසබෙල් රොඩ්රිග්වේස් ඩි චාවේස් (1997 - 2004), නැන්සි කොල් වෙනාරෙස් (1977 - 1995)
දරුවන් - රොසිනෙස් චාවේස්, මරියා ගේබ්‍රියෙලා චාවේස්, රෝසා වර්ජිනියා චාවේස්, හියුගෝ රෆායෙල් චාවේස්

මීට දශක 2කට ඉහතදී චාවේස් බොලිවේරියානු විප්ලවයේ ආභාෂයෙන් ආශ්වාදය ලැබූ තරුණ හමුදා නාලධාරියකුව සිටියේය. ජනාධිපති කාලෝස් අන්ද්‍රෙස් පෙරෙස්ගේ පාලනයට එරෙහිව 1992දී ඔහු ගැසූ කැරැල්ල පරාජය වුවද ඊට අවුරුදු 7කට පසු ජනතා ඡන්දයෙන් බලයට පත් ජනාධිපති ලෙස ඔහු වෙනිසියුලා ජනාධිපති මන්දිරයට ඇතුළු වූයේ ය.

ජීවන තතු

චාවේස්ගේ මවුපියෝ ගුරුවරු වූහ. බේස්බෝල් ක්‍රීඩාවට මහත් කැමැත්තක් දැක්වූ චාවේස් හමුදා ඇකඩමියට ඇතුළු වූයේ 17 හැවිරිදිව සිටියදීය. චාවේස්ගේ වැඩිමහල් සහෝදරයා වූ ඇඩන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු වූ අතර ගරිල්ලා නායකයන් සහ චාවේස් අතර සබඳතා ජාලයක් ගොඩනැගීමට ඔහු මුල්විය. අයුක්තිය - අසාධාරණය, අවනීතිය දැන දැන නිහඬව සිටීමට චාවේස්ට පුළුවන් වූයේ නැත. ඔහු ඉක්මන් විය. ඔහු තෝරාගත්තේ ඔහුට සුපුරුදු රටාවයි.

එහෙත්, හමුදා කඳවුරු ගණනාවක බලය පමණක් අල්ලාගෙන නතරවීමට ඔහුට සිදුවිය. ජනාධිපති මන්දිරය අත්කරගැනීමට නොහැකි විය. කැරැල්ලට සම්බන්ධ වූවන්ට දීර්ඝ සිර දඬුවම් ඬයම විණි. එහෙත් ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයකින් පසු බලයට පත් ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ රෆායෙල් කල්දේරා කැරැළිකරුවන්ට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග අත්හිටුවීය.

චාවේස් දේශපාලනයට අවතීර්ණ විය. දූෂණය අතුගා දමන්නටත්, ව්‍යවස්ථාව අලුතින් ලියන්නටත් ඔහු ප්‍රතිඥා දුන්නේය. ජනබලය ඔහු සමඟ රොද බැන්දේය. චාවේස් සිය පළමු මැතිවරණ ජයග්‍රහණය වාර්තා කළේ 56%ක ඡන්ද ප්‍රතිශතයක් ලබමිනි.

1999 දෙසැම්බරයේ පැවැති ජනමත විමසුමකින් ජනාධිපති ධුර කාලය වසර 6 කින් දීර්ඝ කෙරිණි. නැවත වරක් බලයට පත්වීමේ හැකියාවද ලැබිණි. සෙනෙටය විසුරුවා හැරුණ ද නව ව්‍යුහයක් ස්ථාපිත කෙරිණි. සන්නද්ධ හමුදාවන් හි භූමිකාව ව්‍යාප්ත විය. රටේ නාමය බොලිවේරියානු වෙනිසියුලා ජනරජය යනුවෙන් වෙනස් කෙරිණි. බොලිවේරියානු විප්ලවයේ නායකයා වූ සිමොන් ඩි බොලිවාර්ට ගරු කිරීම එහි තේරුම විය.

රට ජයග්‍රහණයේ මාවතට

ගංවතුර, භූමිකම්පා වැනි ස්වභාවික ආපදාවන් ද තර්ජනාත්මක ලෙස මතු වුවද චාවේස් වෙනිසියුලාව ජයග්‍රාහී මාවතක මෙහෙය වීය. 2000 වසරේ දී ඔහුට යළි ජනවරමක් ලැබිණි. 2002 මුල් භාගයේ දී, එරට තුළ පැවති තෙල් සමාගම් ජනසතු කිරීමට තීරණය කිරීමත් සමඟ චාවේස් පාලනයට එරෙහි මහජන විරෝධයක මුවාවෙන් අධිරාජ්‍යවාදී බලවේග කරළියට පිවිසියේ ය. එය ගැටුම්කාරීත්වයක් කරා වර්ධනය විණි.

බොලිවේරියානු විප්ලවය ආපසු හැරවීම විපක්‍ෂ බලවේගවල වෑයම වී තිබිණි. චාවේස් ගේ පාලනයට දැඩි අභියෝගයක් ඇති වුවද ජනතාව ඔහු සමඟ සිටියේ ය. වෙනිසියුලාවේ පාලන වෙනසක් ඇතිකිරීමේ බටහිර වුවමනාව ව්‍යර්ථ කෙරිණි.

ඛනිජ තෙල්, ජනමාධ්‍ය ආදී ක්‍ෂෙත්‍රයන් හි පැවැති බටහිර ආධිපත්‍ය බිඳ දැමූ චාවේස් ලතින් අමෙරිකාව යළිත් ජනසතුකරණ මාවත දෙසට හැරවීය. 2006 දී පැවැති මැතිවරණයෙන් චාවේස් යළිත් විශිෂ්ට ජනවරමක් ලැබුවේ ඔහුගේ දැක්ම ජනතාව පිළිගත් බැවිනි. මැතිවරණ දූෂණ පිළිබඳ සම්ප්‍රදායික අණ බෙරය වයමින් විපක්‍ෂ බලවේග බටහිර රටවල ආධාර ඇතිව කැරැල්ලක් ගැසීමට කළ වෑයම ද ජනතා බලය හමුවේ ව්‍යර්ථ කෙරිණි.

මුල් වකවානුවේ දී චාවේස් තමා වාමවාදියකු ලෙස හෝ දක්‍ෂිණාංශිකයකු ලෙස හඳුන්වා නොගත්තේ ය. එහෙත්, 2006 වන විට ඔහු පැහැදිළිව කීවේ, 21 වැනි සියවසේ සමාජවාදය අරමුණු කරමින් පෙරට යන බවයි. තමා නායකත්වය දෙන විප්ලවය සන්නද්ධ වුවද සාමකාමී බව චාවේස් වරින් වර කීවේය.

සමාජවාදය පිළිබඳ ඔහුගේ කියැවීම වෙනිසියුලාවට ඔබින ආකාරයෙන් ගලපාගත් එකකි. එහෙත්, “සමාජවාදය, මව්බිම නැත්නම් මරණය” යන කියුබානු ආදර්ශය චාවේස්ට ද විශාල ලෙස බලපෑ බව පෙනෙන්නට තිබිණි.

අවශ්‍ය අවස්්ථාවල දී දැඩි තීරණ ගැනීමට නායකයකු ලෙස ඔහු කිසිවිටෙකත් පැකිළුණේ නැත. එරට පැරැණිම රූපවාහිනී නාලිකාව වූ අඛ්ඊඍ වසා දැමීමට ගත් තීරණය ද එවැන්නකි. ඊට එරෙහිව ඇතැම් ශිෂ්‍ය කණ්ඩායම් හා විපක්‍ෂ බලවේග මතු කළ විරෝධය හමුවේ ඔහු නොසැළිණි. ඛනිජ තෙල් ඒකාධිකාරය බිඳ දමමින් ඔහු ‘පෙට්‍රොසර්’ නම් රාජ්‍ය ව්‍යවසාය ගොඩනැඟුවේ ය. තෙල් සම්පතින් පෙහොසත් වෙනිසියුලාවේ තෙල් අවශ්‍ය රටවලට සහනදායක ලෙස ලබා දීමට ද පියවර ගත්තේ ය.

ඔහු මාධ්‍ය ඒකාධිකාරය බිඳ දැමුවේ ‘මර්කොසර්’ නමින් එරට මාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ නව වෙනස්කම් ඇති කරමිනි. රාජ්‍ය රූපවාහිනී නාලිකාව ඔස්සේ ඔහු මහජනයා සමඟ දීර්ඝ සංවාදයනට ද යොමු විය. බොහෝ විට පැය ගණනක් ජනතාව අමතා කතා කළ ද ඒවා නීරස දේශන නොවූයේ ඔහු සතු චතුර කථිකත්වය මෙන් ම කලා හැකියාවන් ද නිසායි. මේ වැඩසටහන් ඇතැම් විට ප්‍රාසංගික ලක්‍ෂණවලින් ද යුතු විය.

සමාජවාදීන්ගේ වීරයා

ඔහු කිසි විටෙකත් වෙනිසියුලාව අමෙරිකානු ගැති පිළිවෙතක තැබුවේ නැත. එමෙන්ම අමෙරිකාව සමඟ වෛර දේ්ශපාලනයක යෙදෙන්නට ඔහුට ඕනෑ වූයේ ද නැත. වරෙක ජනාධිපති ඔබාමා හමු වූ අවස්ථාවක චාවේස් ඔහුට පොතක් තිළිණ කිරීම මාධ්‍ය ක්‍ෂේත්‍රයේ දැඩි අවධානයට ලක් විය. ඉකුත්, අමෙරිකා ජනාධිපතිවරණයේ දී චාවේස් කීවේ, තමන් අමෙරිකානුවකු නම් තමන් ගේ ඡන්දය ද ඔබාමා ට බවයි. ලෝක දේශපාලනය පිළිබඳ අමෙරිකාවේ අධිපතිවාදී කියැවීමෙන් වෙනස් තත්ත්වයක් ඔහු අපේක්‍ෂා කළ බව පෙණින.

2011 ජූලි මාසයේ දී කියුබාවේ සිට සිය ජනතාව ඇමතූ ඔහු තමා පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බව කියා සිටියේ ය. ඊට වසරකට පසු ප්‍රකාශයට පත් වූයේ ජනාධිපති චාවේස් සුවය ලබමින් සිටින බවයි.

2012 ඔක්තෝබරයේ පැවැති ජනාධිපතිවරණයෙන් යළිත් ඔහු බලයට පත් වූයේ විශිෂ්ට ජනවරමකිනි. එම මැතිවරණ ව්‍යාපාරයේ දී ඔහු රෝගී තත්ත්වය ප්‍රතිවාදීන්ගේ ප්‍රධාන අවියක් බවට පත්ව තිබිණි. එහෙත්, ජනතාව සිය නායකයා ප්‍රතික්ෂේප කළේ නැත. කෙසේ වුවද රෝගී තත්ත්වය මත ඊළඟ ධුර කාලය සඳහා දිව්රුම් දීම පමා කිරීමට ඔහු ට සිදු විය.






බටහිර ප්‍රජාතන්ත්‍රවාදීන්ට අනුව චාවේස් ආඥාදායකයෙකි. එහෙත්, ලොව පුරා සමාජවාදීන් ට ඔහු වීරයෙකි. දිළිඳු ජනයා වෙනුවෙන් ඔහු අරඹා ඇති සමාජ ආරක්‍ෂණ වැඩපිළිවෙළ ඔවුන් අතර මහත් පිළිගැනීමට ලක් වී ඇත. ධනපතින් සතු ඉඩම් හෙක්ටයාර් මිලියන ගණනින් ජනසතු කිරීමට ඔහු ගත් පියවර ද තේරුම්ගත යුත්තේ මේ පසුබිම මත තබමිනි.

වෙනිසියුලානු ජනයාට ඔහු සිය ආදරණීය නායකයා ය. පිදෙල් කස්ත්‍රෝ ගෙන් පසු ලතින් අමෙරිකාවේ දේ්ශපාලන නායකත්වය පිළිබඳ ඔහු කෙරෙහි මහත් අපේක්‍ෂා දැල් වී තිබිණි. කස්ත්‍රෝ පවා ඔහු ගේ ගති ලක්‍ෂණ හා නායකත්වය අගය කළේ ය. කස්ත්‍රෝ අසනීපයෙන් පෙළෙද්දී චාවේස් ඔහුගේ අතින් අල්ලාගෙන ඔහු ධෛර්යවත් කළේ ය. එහෙත්, සිය මිත්‍රයාගේ අනපේක්‍ෂිත සමුගැනීම දෙස වේදනාවෙන් බලා සිටීමට කස්ත්‍රෝ ට සිදු වී ඇත.

චාවේස් ජගත් දේශපාලන කරළියේ කැපී පෙණුනු චරිතයකි. එමෙන් ම පෙරළිකාරයෙකි. 2006 වසරේ දී එ.ජා. මහ සමුළුව අමතමින් ඔහු ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් යක්‍ෂයකු බව ලෝකයටම කීවේ ය. කිසිදු බාහිර තර්ජනයක් හමුවේ ඔහු සිය දේශපාලන ප්‍රතිපත්ති පාවා දුන්නේ නැත.

පිදෙල් ගෙන් පසු කියුබාව වෙනස් මඟක යනු ඇතැයි අධිරාජ්‍යවාදීන් සහ ඔවුන් ගේ ගැත්තෝ කල්පනා කළහ. එහෙත්, එය සිදු වූයේ නැත. චාවේස් ගේ මරණයෙන් පසු නොව චාවේස් ලෙඩ ඇඳේ සිටියදී ද අධිරාජ්‍යවාදීන් අපේක්‍ෂා කළේ පශ්චාත් චාවේස් වෙනිසියුලාව තමන්ට හැරවිය හැකි රූකඩයක් වනු ඇති බවයි. එහෙත්, කියුබාවේ බිඳ වැටුණාක් මෙන්ම වෙනිසියුලාවේදී ද ඔවුන් ගේ සිහින අධිරාජ්‍ය බිඳ වැටෙනු ඇත.

ලතින් අමෙරිකාවට ඉහළින් පෑවූ රතු හිරු වළා අතර සැඟව ගොසිනි. එහෙත් ඒ රත් පැහැය ගෙන හෙටත් හිරු පායනු ඇත. ලාහිරු රැස් මහපොළව සිඹින විට දහස් ගණන් මිනිසුන් ට ඔහු පිළිබඳ මතකය යළි යළිත් අලුත් වනු ඇත. මේ දිනවල වෙනිසියුලාව පුරා නිතර ඇසෙන අල් පි‍්‍රවෙරා ගේ ගීතයක් චාවේස් ගේ ජීවිතය හා මරණය ගැන ගැඹුරු අරුතක් සපයන බව අපට සිතේ. “ජීවිතය වෙනුවෙන් මියයාමේ දී ඊට මරණය කියා කිව නොහැකි යි...”

මිය යාමට මසකට පෙර









- ධම්මික සෙනෙවිරත්න - Dinamina

.