Pages

Saturday, March 02, 2013

වඩා බලගතු පාප් ද නැත්නම් රජුද?

දික්‌කසාදය වෙනුවෙන් පල්ලිය දෙකට කැඩූ අටවැනි හෙන්රි

වඩා බලගතු වන්නේ ආණ්‌ඩුව ද, නැතහොත් පාප් වහන්සේ ද යන ප්‍රශ්නය ඉතිහාසයේ සිට පැවත එයි. මධ්‍ය කාලීන යුගයේදී යුරෝපයේ කතෝලික ආණ්‌ඩු බලවත් වීමත් සමඟ පාප් වහන්සේගේ බලය, කතෝලික නොවන ආණ්‌ඩුවලට වඩා බලවත් විය. ඉන් පසු එංගලන්තයේදී කතෝලික සභාව දෙකට කැඩී ඇංග්ලිකන් පල්ලිය බිහි වූ පසු එරට සහ එරටට පක්‍ෂපාත රටවල ක්‍රිස්‌තු ධර්මයේ භාරකාරයා පාප්තුමා නොව රජතුමා බවට පත් විය. රජු තමන් හඳුන්වා ගත්තේ ලබ්ධියේ ආරක්‍ෂකයා (Protector of Faith) යනුවෙනි. පාප් තුමාගේ තනතුර වෙනුවට ආර්ච් බිෂොප් තනතුරක්‌ එංගලන්තයේ ඇති විය.

පාප් තනතුර සහ ආච් බිෂොප් තනතුර (කතෝලික ආගම දෙකඩ වීම සහ එංගලන්ත සභාව ඇති වීම.) සමග ක්‍රිස්‌තියානි ධර්මය ලෝක දේශ සීමා පසුකර මුල්වරට එංගලන්තයට ළඟා වන්නේ ක්‍රි. ව. 597 දී ය. ඒ අවස්‌ථාවේදී එංගලන්තයේ බිහිකරන ලද කතෝලික පල්ලිය පසුව විවිධ ආගමික මෙහෙවර සඳහා ප්‍රධාන සමිති තුනකට බෙදනු ලැබීය. එහෙත් එයට රෝමයේ වතිකානය සමඟ සම්බන්ධකම් තිබිණි. 1532 දී අටවැනි හෙන්රි රජුගේ පාලන සමයේදී එංගලන්ත පල්ලිය වතිකානයෙන් වෙන් විය. 'ටියුඩර්' නමැති රාජ වංශයට අයත් (මෙය බලගතු ගෝත්‍රයකි. රාජ වංශයක්‌ යනු පසු කාලයේදී සෙසු ගෝත්‍ර අභිබවා නැගී සිටි ගෝත්‍රිකය විසින් සාදා ගනු ලැබූ තත්ත්වයකි.) මේ රජුට පළමුවන බිරියගෙන් දික්‌කසාද වී දෙවැනි බිරිඳක සමඟ නීත්‍යනුකූලව විවාහ වීමට අවශ්‍ය විය. එහෙත් වතිකානය දික්‌කසාදය තහනම් කර තිබූ බැවින් හෙන්රි රජුට ඒ සඳහා නෛතික ඉඩක්‌ ලැබුණේ නැත. එතැන් පටන් හෙන්රි රජු වතිකානයේ සහ පාප් වහන්සේගේ අධිකාරිය පිළිගත්තේ නැත. ඔහු 1533 දී පළමු බිසවගෙන් දික්‌කසාද නොවී දෙවැනි බිසවක සමඟ විවාහ විය. ඒ දෙවන බිසව වූ කලී පළමු බිසවගේ පරිවාර කාන්තාවය. අනතුරුව වතිකානය හා පාප් වහන්සේ සම්පූර්ණයෙන් ම බැහැර කළ හෙන්රි රජු තමන්ට පක්‍ෂපාත පල්ලියක්‌ බිහි කළේය. ඒ පල්ලියේ තීන්දුවට අනුව දික්‌කසාදය නීත්‍යනුකූල ය.

වසර 1809 දෙසැම්බර් මුලදී හෙවත් ප්‍රංශයේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිශ්ඨාපනය කිරීම සඳහා වූ විප්ලවයේ අවසානයේදී එතෙක්‌ එරට කොන්සල්වරයා (රාජ්‍ය ප්‍රධානියා) ලෙස කටයුතු කළ නැපෝලියන් බොනපාට්‌ අධිරාජ්‍යයකුගේ තත්ත්වයට පත් කළ යුතු ද නැද්ද යන්න තීන්දු කිරීම සඳහා ජනමත විචාරණයක්‌ පැවැත්විණ. මෙහිදී නැපෝලියන් අධිරාජ්‍යයකු විය යුතු බවට පක්‍ෂව විශාල ජනවරමක්‌ ලැබිණ.

යුරෝපයේ එවකට පැවැති සම්ප්‍රදායට අනුව රජුට ඔටුනු පළඳවන ලද්දේ පාප්තුමා විසිනි. ඔටුනු පැළඳීමේ උත්සවයේදී පාප්තුමා ඉදිරිපිට රජතුමා දන ගසනු ලැබේ. එවිට පාප්තුමා ඔටුන්න ගෙන සිය දැතින් රජුගේ හිස මත පළඳවා ආශිර්වාද කර රාජාභිෂේකය සිදු කරයි. මේ කාලයේදී වතිකානයේ සිටියේ හත්වැනි පියුස්‌ පාප් වහන්සේ ය.

රාජාභිෂේකය සඳහා පියුස්‌ පාප්තුමා වතිකානයේ සිට ප්‍රංශයේ පැරිස්‌ නුවර තෝත්‍රද්‍රාවේ පල්ලියට වැඩියාහ. ඔටුනු පැළඳවීම සඳහා නැපෝලියන් බොනපාට්‌ පියුස්‌ පාප්තුමා ඉදිරියට ගිය නමුත් උන්වහන්සේ ඉදිරිපිට දන ගැසුවේ නැත. ඒ වෙනුවට පාප්තුමා අත තිබූ රාජකීය ඔටුන්න සියතින් ගත් නැපෝලියන් එය පල්ලිය ඉදිරිපිට රැස්‌ව සිටි ජනතාව අතට දී ආපසු ඔවුනතින් සියතට ගෙන තෙමේම ඔටුන්න පළඳවා ගත්තේය. වසර දහස්‌ ගණනක්‌ පැරැණි සම්ප්‍රදාය මේ මගින් කැඩූ නැපෝලියන් තම රාජාභිෂේකය කරන ලද්දේ ජනතාව විසිනැයි ප්‍රකාශ කළේය. ඊළඟට ඔහු සිය බිසවගේ ඔටුන්න ද ජනතාව අතට යවා ආපසු ගෙන්වා ගෙන ඇයට පැළඳවීය.

මෙය දේශපාලන උප්පරවැට්‌ටියකි. යුරෝපයේ එකල සිටි රජුන් සහ රදලයන් හැර සාමාන්‍ය ජනතාව කොහොමටත් පල්ලිය සමඟ විරසක විය. එය දෙවියන් වහන්සේ හෝ ෙ-සුස්‌ වහන්සේ සමඟ තිබූ ප්‍රශ්නයක්‌ නොව පූජකයන් සමඟ තිබූ ප්‍රශ්නයකි. පූජකයෝ තම පෞද්ගලික අරමුණ වෙනුවෙන් ජනතාව සූරාකමින් සිටියහ. ග්‍රෙගරි රස්‌පුටින් වැනි රුසියන් පූජකයෝ ස්‌ත්‍රී දූෂණ කළහ. ඒ නිසා ප්‍රායෝගික සහ තාත්වික ශක්‌තිය සහ ජන වරම ඇත්තේ පූජක පැලැන්තිය තුළ නොව ජනතාව තුළ බව නැපෝලියන් දැන සිටියේය. තව නොබෝ කාලයකින් එංගලන්තය ආක්‍රමණය කිරීම නැපෝලියන්ගේ අදහස විය. එයට ජනතාවගේ අනුමැතිය අවශ්‍යය. මේ නිසා ජනතාව සිය වසඟයට ගැනීම සඳහා 21 වැනි සියවසේ සිටින කූඨ දේශපාලනඥයකු කරන උප්පරවැට්‌ටිය නැපෝලියන් එදා කළේය.

නැපෝලියන් එදා කළ දෙයින් පසු යුරෝපයේ ජනතා බලය ආගමික බලයට වඩා බලගතු විය. යුරෝපයේ ආගමික බලය නැග ආවේ පහත සඳහන් ලෙසය. පෞර රාජ්‍ය තත්ත්වයෙහි තිබූ යුරෝපීය රටවල් ක්‍රමයෙන් මධ්‍යගත ආණ්‌ඩු ක්‍රමයට පරිවර්තනය විය. මේ ආරම්භක වකවානුවේදී එතෙක්‌ පෞර රාජ්‍ය ක්‍රමය තුළ පල්ලියේ අධිකාරයට නතුව සිටි ජනයා හවුල් ආණ්‌ඩු ක්‍රමය තුළද පල්ලියට නතු වූහ. ඒ නිසා රජුට සහ රජයට බලපෑම් කිරීමට පල්ලියට හැකි විය. මේ නිසා ආණ්‌ඩුව පල්aලියට බිය වී එය කියන පරිදි කටයුතු කළේය. මෙවිට පල්ලිය තවත් ශක්‌තිමත් විය. එහෙත් ඇතැම් අර්බුදකාරී අවස්‌ථාවලදී පාප්තුමා වංක විය. උදාහරණයක්‌ ලෙස දෙවැනි ලෝක යුද්ධයේදී හිට්‌ලර් කෝටි ගණන් කතෝලික යුදෙව්වන් ගෑස්‌ කාමර තුළ දමා මරණ විට එවකට සිටි දොළොස්‌වැනි පියුස්‌ පාප්තුමා ජර්මනියට විරුද්ධව කට ඇරියේ නැත. එයට හේතුව ජර්මනිය තුළ සිටි රෝමානු කතෝලික පූජකයන්ගේ ආරක්‍ෂාව පිණිසය. හිට්‌ලර් දෙවියන් සමඟ එතරම් සම්බන්ධයක්‌ තිබූ පුද්ගලයෙක්‌ නොවේ. ඒ නිසා පාප්තුමා, ඔහුට විරුද්ධ වී නම් යුදෙව් මූලයකින් පැවත එන ක්‍රිස්‌තු ධර්මයට සම්බන්ධ ජර්මන් පූජකයන් සියලුදෙනා ගෑස්‌ කාමරවලට යන්නේය.

1978 සිට 2005 දක්‌වා වතිකානයට නායකත්වය දුන් දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ ලෝක දේශපාලනයේ බලවතුන් සමඟ ඉතා හොඳ ගනුදෙනුවක්‌ කරමින් පාප් සංකල්පයට අලුත් මොඩලයක්‌ හඳුන්වා දුන්නේය. ඔහු පෝලන්තයේ උපන්නෙකි. පෝලන්තයේ සෝවියට්‌ පාලනය පෙරැළීම සඳහා එරට ඩෑන්ස්‌ක්‌ නැව් තටාකාංගනයේ කම්කරුවකු වූ ලෙක්‌ වැලේසාගේ නායකත්වයෙන් පටන් ගත් මහා වැඩ වර්ජන ව්‍යාපාරයේදී වැලේසාට නායකත්වය දෙන්නේ පාප් තුමා ය. අන්තිමේදී වැලේසා, පෝලන්තයේ ජනාධිපති විය. ජුවාම් පාවුළු පාප්තුමා කටයුතු කළේ කතෝලික සමයේ ගෝලීය තානාපති ලෙස ය. සෝවියට්‌ සංගමයේ බිඳ වැටීමට උන්වහන්සේ පූර්ණ වශයෙන් දායක වූහ.

එක බිසවක්‌ දික්‌කසාද කර තව බිසවක්‌ කසාද බැඳ ගැනීම සඳහා කතෝලික පල්ලිය දෙකට කැඩූ අටවැනි හෙන්රි රජු තම ජීවිතය කෙළවර කර ගත්තේ එක දීගයක්‌ නිම වන විට තව දීගයක්‌ යනාදී වශයෙන් කසාද 6 ක්‌ බැඳ ගැනීමෙනි. ඊට අමතරව ඔහු අන්තඃපුර කාන්තාවන් බොහොමයක්‌ සමඟ ද සම්බන්ධ විය. එක්‌තරා අවස්‌ථාවකදී හෙන්රි රජු තම බිරියගෙන් නිදහස්‌ වන්නේ ඇය මායාකාරියක්‌ බවත්, යකුන් ඇසුරු කරන්නියක බවත් ප්‍රකාශයට පත් කර වධකයා ලවා ඇගේ ගෙල සිඳ දැමීමෙනි. අපායේ තක්‌සේරුව කුමක්‌ නමුදු, සදාචාරය පැත්තෙන් නම් අටවැනි හෙන්රිට කිසිදු ඉදිරි ආත්මයකදී යන එන මං නැති බව පැහැදිලිය.

අනුර සොලමන්ස්‌ - Divaina