Pages

Saturday, March 30, 2013

ඒ තමයි කපුගේ

දිගු ඇඟිලි අග රැඳුන - මියුරු සත්සර නොඑන

සංගීත කාමරය පාළුයි...

බණ්ඩාර ඇහැලිගොඩ ගීත රචකයා විසින් රචිත ගී පද වැලකින්ම මෙම සටහන තැබීමට මම අදහස් කළෙමි. ස්වර පොවරුවේ දිගු ඇඟිලි තබමින් සත්සර නිර්මාණය කරමින් කොළොම් පුරවරයට පැමිණි ගුණදාස කපුගේ ශූරීන් නුවර කලාවියේ වැව් සිඳී පුපුරා ගිය රජරටට දඬුවම් මාරුවක් සමඟ පැමිණීම බොල් පොළොවට වන් පොද වැස්සක් බවට පත් විය.

ඔහු උතුරු මැද පළාතේ කළා වැව පැරකුම් සමුදුර ජලයෙන් පිරි ගියා සේ සාහිත්‍ය ගුණ පිරි ගීත රචකයින් සංගීතවේදීන් මෙන්ම ගායන ශිල්පීන් බිහි කිරීමට ද කපුගේ මහත් වෙහෙසක් ගත් අතර මා ද පුලතිසි පුරවරයෙන් බිහිවූ එක් ගායන ශිල්පියෙකි. මානව දයාවෙන් පිරිපුන් මේ මහා කලාකරුවා සිය සහෘදයින් සමඟ රජරට ගුවන් විදුලි සේවය ඔස්සේ උසස් රසකාමීන් පිරිසක් බිහිකිරීමේ දී සිය අව්‍යාජත්වය මනාව පිළිබිඹු කළේය.

ඒ තමයි කපුගේ

ඉදි කඩින් පැන එන්න - මග බලාගෙන ඉන්න

අම්මාගේ ඇස් වලත් කඳුළුයි...

තවමත් ඉදිකඩ පැන අම්මාගේ තුරුලට කොයි මොහොතේ ඒ දැයි කපුගේ මහතාගේ අම්මා කඳුළු පිරි දෑසින් මග බලා සිටිනු ඇතැයි මාගේ හැඟීමයි. එතුමා මවට මෙන්ම මව කපුගේ මහතාට ද ආදරය කළ අතර එතුමාගේ අකල් වියෝව ප්‍රේමා කපුගේ මිත්‍ර කපුගේ හා දූවරුන් දෙදෙනාට මෙන්ම කලාකරුවන් ලෙසින් මෙතෙක් දුර ආ මා මෙන්ම තවත් පිරිසකට ද දරාගත නොහැකි වේදනාවකි. එතුමා සමඟ අවසන් වසර 10 ක පමණ ඉතා ළඟින් ඇසුරු කළ මා ඒ ඇසුරේ දී ගුණදාස කපුගේ යනු කෙතරම් නිහතමානී මානව හිතවාදියෙක් ද යනු පසක් කරලීම උදෙසා සිදු වූ අපූරු සිදුවීම් කිහිපයක් මේ සමඟ සටහන් කිරීමට කැමැත්තෙමි.

මින් වසර 12 කට පෙර පොලොන්නරුව විජය රාජ විද්‍යාලයේ ගුරුතුමියකගේ දියණියක අසාධ්‍ය හදවත් රෝගයකින් පෙළුණ අතර එම විද්‍යාලයීය ගුරුවරුන්ගේ අදහස වූයේ මාගේ ගීත ප්‍රසංගයක් පවත්වා ඉන් ලැබෙන මුදලින් දැරියගේ හදවත් සැත්කම සිදු කිරීමයි. ඒ අවස්ථාවේ මේ පණිවිඩය දුරකථනයෙන් පොලොන්නරුවේ සිට මා කපුගේ මහතාට දැනුම් දුන් අතර එවෙලේම එතුමා පවසා සිටියේ ප්‍රසංගය සඳහා ගීත ගායනා කිරීමට දායක වනවා පමණක් නොව සංගීත කණ්ඩායම සඳහා යන වියදම ද තමා විසින් දරන බවයි.

කෙසේ හෝ මෙම ප්‍රසංගය පවත්වා එතුමාගේත් මගේත් දායකත්වයෙන් දැරියගේ හදවත් සැත්කම වෙනුවෙන් සැලකිය යුතු මුදලක් ලබා දීමට හැකි විය. මාස 02 කට පමණ පෙර මා මීරිගම ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයකට සහභාගි වූ අතර, ඒ අවස්ථාවේ අවුරුදු 17 ක පමණ දියණියක් මාගේ දෙකකුල් අල්ලා වැඳ වැටෙමින් පවසා සිටියේ, “මාමෙ ඔයයි කපුගේ මාමයි උදව් කරල බේරගත්තෙ මා තමයි” කියල. ඒ මොහොතේ මට ඇතිවූ සතුට නිම්හිම් නැතිවූ අතර, මේ මොහොතේ කපුගේ මහතා සිටියා නම් ඔහු කොතරම් සතුටු කඳුළු වගුරාදැයි සිතුණු විට ;දනෙතට ඉනු කඳුළු මා සඟවා ගත්තේ අපහසුවෙනි.

ඒ තමයි කපුගේ

තවත් වරෙක මාතලේ ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයකට කපුගේ මහතා සමඟ සහභාගි වුවද මධ්‍යම රාත්‍රී 12 පසුවීත් අප දෙදෙනා ප්‍රසංගයට ඉදිරිපත් නොකර සංගීත කණ්ඩායම දිගින් දිගටම ප්‍රසංගය ඉදිරිපත් කරනු ලැබිණ. මේ පිළිබඳව මා සංගීත කණ්ඩායමෙන් විමසා සිටි අතර, සංවිධායක වරයා සංගීත කණ්ඩායමට මුදල් නොගෙවා පලාගොස් ඇති බවත් අප දෙදෙනා ගීත ගායනා කළහොත් එකී ඉතිරි මුදල් කෙසේවත් ලබාගත නොහැකි වන බවත් මා සමඟ පැවැසීය.

මා මේ පිළිබඳව කපුගේ මහතාට දැන්වූ අවස්ථාවේ කිසිදු කලබලයකින් තොරව “මල්ලි උඹේ ගාව සල්ලි කීයක් තියෙනව ද?” මගෙන් විමසා අප දෙදෙනාගෙන්ම මුදල් එකතු කොට සංගීත කණ්ඩායමේ හිඟ මුදල ලබා දී අප දෙදෙනා වේදිකාගත කරන ලෙස ඉල්ලීය. සිදුවූ දෙය පිළිබඳව සංවිධායකවරයා සමඟ තරමක් කෝපයෙන් සිටි මා එක ගීතයක් පමණක් ගායනා කරන ලෙස කපුගේ මහතාගෙන් ඉල්ලා සිටියෙමි. නමුත් ගීත 07 ක් පමණ ගායනා කර වේදිකාවෙන් බැස මා අසලට විත් “මල්ලි මේ අහිංසක මිනිස්සු ඇවිත් ඉන්නෙ අපේ සිංදු අහන්න. උඹත් සිංදු හතරක් පහක් කියලම බැහැපන්.”

ඒ තමයි කපුගේ

දිනක් කපුගේ මහතා පොලොන්නරුවේ රැඳී සිටි මා හට දුරකථනයෙන් අමතා ටෙලි නාට්‍යයක ගීතයක් ගැයීමට වහාම කොළඹ පැමිණෙන ලෙස දැන්වීය. මේ වන විට මා ටෙලිනාට්‍ය සඳහා ගීත ගායනා කර නොතිබිණ. ගීතය පටිගත කිරීම සඳහා ශබ්දාගාරයට ගිය මාව කපුගේ මහතා විසින් එම ටෙලි නාට්‍යයේ නිෂ්පාදකවරයාට හා අධ්‍යක්ෂවරයාට හඳුන්වා දුන් අතර එතුමා සංගීතවත් කරන එම ටෙලි නාට්‍යයේ ගීත ගායනය මා විසින් සිදු කරන බව ද පැවැසීය.

මේ ටෙලි නාට්‍යයේ අදාළ ගීතය කපුගේ මහතා විසින් ගායනා කළ යුතු බව අධ්‍යක්ෂවරයාගේ දැඩි තීරණය විය. එහෙත්, කපුගේ මහතා පවසා සිටියේ, මෙයා හරියට ගීතය ගායනා නොකළොත් ඒ වගකීම තමන් බාරගන්නා බවයි. ගීතය ගායනා කිරීමෙන් පසු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයා සතුටින් ඉහවහා ගොස් මා වැලඳ ගත් අතර, ඒ මොහොතේ කපුගේ මහතාගේ දීප්තිමත් ඇස්වල තිබූ සතුටු කඳුළු බිඳු දෙකොපොල් දිගේ ගලා ගිය හැටි මට තාම මතකය.

ඒ තමයි කපුගේ

ගම් නියම්ගම් පුරා - ඇවිද අපි දැන හැඳින

අපට මග කියාදුන් - මහා ඇදුරිදු ඔබය...

වත්මන් උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා මේ ගමන් මඟ දක්වා පැමිණීමේදී මහඟු මෙහෙයක් කපුගේ මහතා සතුවී යැයි මාගේ හැඟීමයි. එමතු ද නොව පල්ලේගම හේමරතන නායක හිමි, මහින්ද දිසානායක, මහින්ද චන්ද්‍රසේකර, රෝහණ දන්දෙණිය, වසන්ත ජයතිලක බණ්ඩාර, රංජිත් රූපසිංහ, කේ. එම්. ස්වර්ණසිංහ, පොඩිරත්න, අඟමලේ වැනි ගීත රචකයන් ද නාලක අංජන කුමාර, ප්‍රේම් රංජිත් විජේවික්‍රම, උපාලි ජයලත්, කුමාර එප්පාවල වැනි සංගීතඥයන් ද සේනානායක වේරලියද්ද, ක්‍රිශාන්ත එරන්දක, කුසුම් රේණු, චාමික එදිරිසිංහ, ජානකී දිසානායක සහ මම ඇතුළු ශිල්පීන් විශාල පිරිසකට, මැනවින් යා යුතු නිවැරැදි මග කියා දුන් මහා ඇදුරා කපුගේ මහතාමය.

අපේ දුක ගැන අසන - අපට වැඩියෙන් හඬන

තමන්ටම ආදරය - නොකළ මිනිසා ඔබය...

අපේ දුක සැප අසන අප වෙනුවෙන් කඳුළු සැලු බව කපුගේ මහතා ළඟින් ඇසුරු කළ කවුරුත් හොඳින් දන්නා කරුණකි. මේ අපූරු මිනිසා මුළු මහත් සමාජයටම හදවතින්ම ආදරය කළ ද, එතුමා එතුමාට මොන තරම් ආදරය කළාදැයි අපට සිතාගත නොහැකිය.

ඒ තමයි කපුගේ

“සන්ෆ්ලවර් සමඟ කපුගේ” ගීත ගායනා කිරීම මහත් ආන්දෝලනයකට මෙන්ම නොමඳ විවේචනයන්ට ද බඳුන් විය. කපුගේ මහතා ඉන් ලද මුදල් තවත් කළමනාකරුවකුගේ යහපත උදෙසා වැය කළ බව දන්නේ ප්‍රේමා කපුගේ මහත්මිය හා ළඟින් ඇසුරු කළ අතළොස්සක් පමණි.

අපට යා නොහැකි මග - පහසුවෙන් ඇවිද ගිය

වරෙක සුළි සුළඟ වූ - සොඳුරු මද නල ඔබය

අපේ පපු කුහර තුළ - නහර ඇට මිදුලු වල

නින් නද දී ඇසෙන - ගැඹුරු කටහඬ ඔබය

කොටස් වශයෙන් මෙහි සටහන් තබන මෙම ගීතය එතුමාගේ අභාවය වෙනුවෙන් බණ්ඩාර ඇහැලියගොඩ හා රංජිත් බාලසූරිය සමඟ පටිගත කිරීමට ගිය ද ඒ මොහොතේ අප තුළ වූ කම්පනය මත ගීතය නිසි පරිදි පටිගත කිරීමට පැය 6 ක පමණ කාලයක් ගත විය. එහෙත් කපුගේ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා කලාභවනේ තබා තිබු අවස්ථාවේ යම්කිසි දේශපාලන පක්ෂයක් විසින් අවසන් මොහොතේ ගීතය ප්‍රචාරය කිරීමට අවස්ථාවක් නොදීම කනගාටුවට කරුණකි. විශාරද ගුණදාස කපුගේ යනු දේශපාලන ගැත්තකු නොව අහිංසක ජනතා හදවත් තුළ සදා ජීවත්වූ මානව හිතවාදියකු බව කවුරුත් දන්නා කරුණකි.

ජානක වික්‍රමසිංහ

ගුණදාස කපුගේ 10 වැනි ගුණ සමරුව නිමිත්තෙනි