Pages

Monday, September 24, 2012

To You.........30

මං ගොඩක් ආදරය කරන, ආදරණීය ඔයාට
මං ඔයා ළඟ ඉන්නව කියලා
ඔයා දැනගන්නෙ කොහොමද?
හැමදේම රස්නෙ. හැමදේම ගල්වෙලා වගේ තියෙන
හුළං පොදක් නැති ආස නැති රැයක
ඉස්සෙල්ලම එන සීතල හුළඟක්
ඔයාගේ කම්මුල් ඉඹගෙන යනව නේද?
ඒ මං ඔයා බලා ගන්නවා.
මා ගැන හිතන්න.
බඩ පිරිලා බඩගින්නෙ වේදනාව නැතිවෙන කොට
සතුට ඇවිත් තනිකම බිඳල දානකොට
මා ගැන හිතන්න.
මං පොද වැස්සක් ඔබේ මූණට ඉහින කොට
ඒ වැස්සෙන් පොළොවත්
වේළිච්ච දුඹුරු පාට ගහ කොළත් තෙමන කොට
ඉස්සෙල්ලාම එන පිරිසිදු වැස්සක සුවඳ
මං ඔයාව සෝදලා පිරිසිදු කරනවා.
මා ගැන හිතන්න.
ජීවිතයේ නපුරුකම්වලින් ඔයාගේ ඇස් බයවෙන කොට
බැහැගෙන යන ඉරේ ඉස්සෙල්ලම එන
මඳ බැල්ම වගේ මං ඔයාව සනසනවා.
එතකොට ඔයා මගෙන් අසාවි
ඔයා කොහොමද දන්නෙ ඔයා මං ළඟ ඉන්නවා කියලා?
ඒ මෙහෙමයි.
ගිනිගෙන දැවෙන ඉර
ඔයාවත් පොළොවත් පුච්චන කොටත්
වැලිවලිනුත් දුවිල්ලෙනුත්
ඔයාගේ ඇස් වැහිල යනකොටත්
ඔයා මට ආදරේ කරනව නම්
තනිකම බඩගින්නත් එක්ක එකතු වෙලා එනකොටත්
හිතේ සතුටක් නැතිකොටත් ඔයා මට ආදරේ කරනව නම්
තොල් පැලෙනකොට, දිව ඇලෙනකොට, උගුර හිරවෙනකොට,
වතුර තියා මිරිඟුවක සේයාවක්වත් නැතිකොටත්
ඔයා මට ආදරේ කරනව නම්
උහුලන්න බැරි වේදනාව දරාගෙනත් හිනාවෙවී
ඔයා මට ආදරේ කරනව නම්
ඔයා හුඟක් ආදරෙන් රැක බලාගත් වස්තුව මං ගත්තමත්
ඔයාගේ ඇස් පෙනීම නැතුව ගිහිං අන්ධකාරයේ ගිලිලත්
ඔයා මට ආදරේ කරනව නම්
මං ඔයා ළඟ ඉන්නව කියල මට දැනගන්න පුළුවන්.
ඔයා දකින හැම දේම
ඔයාගේ කනට ඇහෙන දිවට නහයට, ඇඟට දැනෙන හැම දේම
අයිති මටයි.
ඉතිං දැනටමත් මට අයිති ඒ දේ
ඔයා මට දෙන්නෙ කොහොමද?
නමුත්
ඔයාගෙ ආදරය කාලය පටන් ගන්නත් කලින්
ඔයාගේ ආත්මයේ අයිතියක් හැටියට මං ඔයාට දුන්නු ආදරය?
ඒක මට ආපහු දෙනකොට
එතකොට මට දැනෙයි ඇත්තටම ඔයා මගේ කියල.
මං ඔයා ළඟ තියෙන දුක නැති කරල
සතුට එතනින් ගෙනත් තියන්නම්.
ඒ තමයි මම.
මං ඔයාව සතුට පිරුණු තැනක තියන්නම්
හැමදාටම.
මං හැම තිස්සෙම ඔයා ගැන හිතනව.
මං ඔයාට ආදරෙයි!