Pages

Sunday, September 02, 2012

එදත් මගේ දුක් ආයාචනයට මේ ලෙස මට හිනැහෙන්න ඇති

මේ පේ‍්‍රමයේ පරාජය විඳගන්නට පුරුදු විය යුතු කාලයකි. පේ‍්‍රමයේ නාමයෙන් කෙරෙන පළිගැනීම්, මිනීමැරීම්, තර්ජන, සියදිවි නසාගැනීම් පිළිබඳ ආරංචි වැඩි වැඩියෙන් ලැබෙයි. ඒ තොරතුරු තාක්ෂණයේ දියුණුව නිසා ද නැතිනම් සංඛ්‍යාත්මක වැඩි දියුණුවක් නිසා ද යන්න සොයා බැලිය යුත්තෙකි.

ගීතය අද ප්‍රබල සන්නිවේදන මාධ්‍යයකි. ඒ නිසා එයින් සමාජයට සිදුවන හා සිදුකළ හැකි බලපෑම විශාල ය. එබැවින් චිත්ත ආවේග පාලනය කළ හැකි ගීත සාහිත්‍යයක අවශ්‍යතාව තවදුරටත් වැඩි වැඩියෙන් දැනේ. අජන්තා රණසිංහයන්ගේ මේ පදමාලාව ඒ සඳහා කදිම මානසික ඖෂධයකි.
මෙහි අන්තර්ගතය වන්නේ ද ආදරණිය හමුවීමක් හා ශෝචනීය වෙන්වීමකි. විරහ වේදනාවෙන් තැවෙන්නේ තරුණයා ය. මේ වෙන්වීම සංසාරගත උරුමයක් සේ ඔහු දකියි. ඒ නිසාම ඔහු දැන් ඒ වේදනාව අත්විඳීමට සූදානම් වෙයි.

මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවන්න ඇති
මේ අයුරින් අපි දවසක් දා
සසර මගදි වෙන්වන්න ඇති

සාලිය අශෝකමාලා, පේ‍්‍රමයේ දිග්විජය ලැබු අතීතයක පවා තමා පරාජිතයකු වන්නට ඇති බව පෙම්වතා සිතයි. ඔවුන් ඔවුන් ඉදිරියේ තිබු කුල ප්‍රශ්නය පේ‍්‍රමයේ නාමයෙන් ජයග්‍රහණය කරද්දී සිටු කුලයක ඉපදුණු තමාට තමන්ගේ පේ‍්‍රමය ජයගන්නට නොහැකි වූ බව ඔහු සිතයි. අද තමා විඳින වේදනාව එදා ද විඳින්නට ඇති බව ඔහු කල්පනා කරයි. එහෙත් කිසි විටෙක මේ පෙම්වතාට ඇය කෙරෙහි වෛරී හැඟීමක් හටගෙන ඇති බවක් නොහැඟේ.

සාලිය මාලා පෙම් බැඳි දා මා
සිටු කුමරෙක් වී ඉන්න ඇතී
ඒ සිටු කුලයේ කුමරිය වී ඔබ
මේ ලෙස මට රිදවන්න ඇතී

මේ ආකාරයෙන් ආත්මයෙන් ආත්මයට ඇය ඉදිරියේ පරාජිතයකු වෙද්දී දෑසින් හා හදවතින් ගැලු කඳුළු එක්වී මහා සාගර හැදෙන්නට ඇත. එහෙත් මේ අහිමි පේ‍්‍රමය වෙනුවෙන් හඬා වැටෙන්නට ඔහුගේ දෑසේ තවත් කඳුළු ඇත. එහෙත් ඒ වගක් ඇය නොදනී. ඔහුගේ ආදරයේ තරම, ඇය කවදාවත් හඳුනා ගෙන නොමැත. ඒ නිසාම සංසාරයෙන් සංසාරයට විරහ වේදනාව ඔහුගේ උරුමය වී තිබේ. ආදර පූජාසනය මත පුදන පේ‍්‍රමයේ අසෙනිය කුසුම් සදාකල් මිලාන වන්නේ එබැවිනි.

අපරාජිත යැයි ඔබ පිදු පේ‍්‍රමය
පුදසුන මත පරවෙන්න ඇති
සාගර ජලයත් මදි හඬුවා මම
ඔබ හින්දා ඔබ දන්නෙ නැති

යොවුන් ආදරයේ ආත්මාර්ථය පවතී. තමා අනෙකාට ආදරය කරන්නේ අනිකා තමාට ආදරය කරන තෙක් පමණි. අනිකා දුරස් වූ විට වෛර කරන්නේ ඒ ආත්මාර්ථයත්, අභිමානයත් හේතුවෙනි. මේ හැඟීම් නිසා ඇතැම් විට අනෙකා මරා දැමීමට තරම් ප්‍රබල වන අවස්ථා අනන්ත ය. විරහ ගී මඟින් මේ මානසික රෝගීන්ට ප්‍රතිකාර කළ හැකිය. එහෙත් ඒ ප්‍රාතිහාර්යය කළ හැක්කේ සංයමශීලී ගී පද රචකයන්ට හා සංගීතඥයන්ට පමණි. අපේ ජන සාහිත්‍යයෙන් පෝෂිත කවි සිතක් ඇති අජන්තා රණසිංහයන්ගේ බොහෝ පද මාලාවන්හි මේ සංයමශීලී ගුණය නොඅඩුව පවතී.

තමාට අහිමි ආදරය නැවත යදින විට ඇය ඔහු දෙස බලා ඇත්තේ උපහාසයෙනි. සංසාරයෙන් සංසාරයට ඔහු ඇගේ සිනහවට ලක්වන්නට ඇත. එහෙත් වෛරයක පළිගැනීමක සේයාවකුදු මේ පෙම්වතාගේ මනසේ නොමැති. එවැනි වෛරී පදමාලාවක් අජන්තා රණසිංහයන් අතින් කිසි තැනක හෝ ලියැවී තිබෙනු මා දැක නොමැත.

“ආත්ම ගණනේ ඔබ පය පා මුල
මගෙ කඳුළින් සේ දෙන්න ඇති
එදත් මගේ දුක් ආයාචනයට
මේ ලෙස ඔබ හිනැහෙන්න ඇති

ශෝකය වුවද කලා කෘතියක් බවට පත්වූ විට එහි රසයක් පවතී. ඒ රසය නිවැරැදි ව ස්පර්ශ කරන විට චිත්තාවේග පහ වී මනස නිවී සැනසී යයි. මේ එබඳු නිර්මාණයක් සඳහා නිදසුනකි. පේ‍්‍රමයෙන් පරාජිතයන්ට හිත හදා ගත හැකි නිර්මාණයකි. අනුන්ගේ දුක් බාර ගැනීමකි. තමා ජීවිතයේ ලද සංවේදනා නැවත ඉපැද්දීමකි.

කේමදාසයන්ගේ සංගීතය හැම විටම සුවිශේෂය. මිනිසාගේ හද ස්පර්ශ කළ හැකි තත් සොයා ඔහුගේ සිතැඟි මෙන්ම අතැඟිලි ද නිබඳව ගමන් කරයි. පද මාලාව තුළ ඇති ශෝකී භාවයන් ඔහුගේ තත්සර තුළින් ප්‍රතිරාව නංවයි. එම තත්සර සුගායනයක් සමඟ මිශ්‍ර වූ විට එහි රසය රසිකයා ගේ රුධිර නාළ පුරා ගමන් කරයි.

මම ද මේ ගීතයට වරින් වර සවන් දෙමි. සසර පුරා හමුවූ අය වෙන්වූ අය කොතෙක් සිටින්නට ඇති ද? සිත සැනසු අය මෙන්ම සිත රිද වූ අය කොතෙක් සිටින්නට ඇද්ද? මේ ආත්මය තවම මම ගෙවමින් සිටිමි. වෙන් වෙන අය නොව ආදරයෙන් හමුවන අය පමණක් සොයමි. ඒ සඳහා මම නවතිමි.

ධම්මික බණ්ඩාර - Silumina